Print this Article


වැරැදි පෙන්වා දීමට පෙර පුද්ගලයා හඳුනාගන්න

වැරැදි පෙන්වා දීමට පෙර පුද්ගලයා හඳුනාගන්න

අතීතයේ දඹදිව බ්‍රහ්මදත්ත නම් රජ කෙනකු රාජ්‍ය කරන කාලයේ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගිරා ආත්මයක උපත ලබලා මහා වනාන්තරයක ජීවත් වුණා. මේ ගිරවාට හිටියා මල්ලී කෙනෙක්. මව්පියන් එක්ක සතුටින් මේ ගිරා අයියයි, මල්ලියි ජීවත් වෙන කොට දවසක් මේ මහා කැලෑවට ආවා දඩයමේ යන, මීපැණි හොයන වැද්දෙක්.

ගිරා අම්මයි, තාත්තයි මෙදින කෑම හොයන්න ගිහින් හිටියා. මහා ගහක බෙනයක පුංචි ගිරා පැටව් දෙන්නෙක් ඉන්නවා දැකපු මේ වැද්දා ගහට නැඟලා ඒ පැටව් දෙන්නා අල්ලා ගත්තා. පරිස්සමින් අතින් අරගෙන මේ ගිරා පැටව් ගෙදරට අරගෙන ගියා. මීපැණි වගේ ම දඩමස් විකුණලා මුදල් ලබපු මේ වැද්දා කල්පනා කළා අමතර ආදායමක් විදිහට මේ ගිරා පැටව් දෙන්නත් කාට හරි විකුණන්න ඕන කියලා. ඉතින් මේ කාරණය තමන් ඇසුරු කරන අනෙක් යහළුවන්ටත් කිව්වා. කොහොම හරි මේ ආරංචිය ටිකෙන් ටික බමුණන් අතරටත් ගියා. එක් තරුණ බමුණෙක් විවාහ වෙලා දරුවන් අපේක්ෂාවෙන් හිටියා. ඒ නිසා ම මේ පුංචි ගිරා පැටවුන්ගේ පුවත අහලා ඒ පැටව් දෙන්නා හුරතලයට ඇති කරන්න තීරණය කළා. වැද්දා මුණ ගැහිලා මුදල් දීලා ගිරා පැටව් දෙන්නා මිල දී ගත්තා. දෙන්නාගේ හැඩහුරුව වගේම වයස සලකලා වැඩිමහලු ගිරවාට නම දුන්නා රාධ කියලා, අනෙක් පුංචි ගිරා පැටියාට නම් දුන්නා පොට්ඨපාද කියලා. මේ තරුණ බමුණත් ආදරයෙන් කෑම බීම දීලා ගිරා පැටව් දෙන්නා පෝෂණය කළා. ටිකෙන් ටික වැඩිවියට පත් වුණා. මේ දෙන්නට ම හොඳට කතා කරන්නත් පුළුවන් වුණා.

මෙහෙම කාලය ගත වෙන කොට මේ බමුණට යෙදුණා නිවසින් බැහැර වෙලා කළ යුතු රාජකාරි කටයුත්තක්. ඒ නිසා බිරිඳ ව තනි කරලා බැහැරවෙන එක ගැන බොහොම දුක් වුණා. ඒ ගැන වඩ වඩාත් කල්පනා කළා. නිවසේ නතර කරන්න අහළ පහළ ඥාතියෙක්වත් නැති නිසා අදහසක් පහළ වුණා තමන් දරු දෙදෙනකු මෙන් ඇති කරන ගිරා පැටවුන් දෙන්නා ගැන. ඒ නිසා ගමන පිටත් වන දවසේ ගිරවුන් දෙන්නා ළඟට කැඳවලා කිව්වා.

‘පුතේ රාධ, පුතේ පොට්ඨපාද මම දින කිහිපයකට නිවසින් පිටවෙලා යනවා දුර පළාතකට. මම ගිහින් එනකම් මගේ බිරිඳ ව ආරක්ෂා කරන්න. විපතක් වෙන්න දෙන්න එපා. වැරැදි කරනවා නම් ඒවගෙන් වළක්වන්න‘යි කියලා කිව්වා. ගිරවු දෙන්නත් තමන්ගේ ස්වාමියාට යටහත් පහත් වෙලා ‘හොඳයි අපි දෙන්නා එම කටයුත්ත බාර ගන්නම්. ඒ පිළිබඳ ව හොයලා බලලා කටයුතු කරන්නම්‘කියලා පොරොන්දු වුණා. බමුණා ගිය දවසේ රාත්‍රියේ ඉදලා ම මේ බැමිණිය තමන්ගේ හොර සැමියා එක්ක වාසය කරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි. සිත් ගිය ගිය අය නිවසට ගෙන්වා ගන්නත් පුරුදු වුණා. බැමිණියගේ මේ අසම්මත ක්‍රියාව දිහා බලාගෙන හිටිය මේ ගිරා අයියයි, මල්ලියි ඒ ගැන නිතර කතා බස් කළා. අයියා මේ අසම්මත කටයුත්ත දැක දැකත් එයට පියවර නො ගැනීම නිසා පොට්ඨපාද නම් කනිටු ගිරවා දවසක් අයියාට කතා කරලා

‘අයියේ, අපගේ පියාණන් අපට කියලා ගියේ මෑණියන් වැරැදි කරනවා නම් ඒක වළක්වන්න කියලා නේද?

මෙහෙම නිහඬව ඉන්නේ ඇයි? දැයි ඇහුව්වා. එතකොට වැඩිමහලු රාධ ගිරවා කිව්වා

‘මල්ලී, නුඹට ඒකෙන් වැඩක් නෑ. නිශ්ශබ්දව ඉන්න‘යි අවවාද කළා. ඒත් නැවත නැවතත් කනිටු පොට්ඨපාද ගිරවා මේ ගැන විමසුවා. ප්‍රශ්න කළා. අවසානයේ ඉවසන්න ම බැරි තැන බැමිණිය ඉදිරියට ගිහින් මේ පොට්ඨපාද ගිරවා කියනවා

‘මෑණියනි, පියාණන් නැති තැන මෙහෙම නරක විදිහට හැසිරෙන්නේ ඇයි? මින් පස්සේ මෙහෙම හැසිරෙන්න එපා.‘යි අවවාද කළා. බැමිණිය කල්පනා කළා ‘මම එකපාරම මූට දොස් කිව්වොත් මේ පොට්ඨපාදයා ඉගිලිලා යන්න පුළුවන්. ඒ නිසා දැන්ම කේන්ති ගන්න හොඳ නෑ. අපි දෙන දෙයින් කකා බිබී මට උපදෙස් දෙන්න එනවා මෙ තැන. හොඳවැඩක් මම කරන්නම් මේ උපදෙස්කාරයට’ කියලා සිතලා ආදරයෙන් මෙහෙම කිව්වා.

‘පුතේ පොට්ඨපාද, මට දුන්න අවවාදයට බොහොම ස්තූතියි. නැවතත් එවැනි වරදක් වෙන්නේ නෑ. ඔබ බොහොම හොඳ කෙනෙක් නේද? කිය කියා ළඟට ම ළං වෙලා බෙල්ලෙන් අල්ලා ගත්තා. ඒ විගසම බෙල්ල අනෙක් පැත්තට කරකවලා බෙල්ල කඩලා දැම්මා. පිහාටු ගලවලා ලිපට දැම්මා. ඊට පස්සේ බඩ පලලා කසළ අයින් කරලා පුච්චලා කෑවා. මේ සියල්ල දිහා රාධ ගිරවා බලාගෙන හිටියා. බැමිණියට උපදෙස් දෙන්න ගියේවත්, මේ ගැන කාටවත් කියන්නවත් ගියේ නෑ.

දවස් කිහිපයකින් පස්සේ බමුණා නිවසට ගොඩ වුණා. රාධ ගිරවා ඉන්නවා දැක්කා. ඒත් මල්ලි

පොට්ඨපාද ගිරවා ළඟ පහතකවත් නැති නිසා ඒ ගැන රාධ ගිරවාගෙන් විමසුවා. ඒත් පිළිතුරු ලැබුණේ නෑ. දෙවැනි වතාවේ ‘පුතේ රාධ, නුඹලාගේ මෑණියෝ මේ දින ටිකේ වරදක් එහෙම කළා ද? හොඳීන් සතුටින් හිටියා ද? කියලා ඇහුවා. එතකොට රාධ ගිරවා ‘පියාණෙනි, ප්‍රඥාවන්තයෝ නම් යම් කෙනෙකුගේ වරදක් දුටුවත්, ඒ වරද කියන්න සුදුසු අවස්ථාව එනකම් කියන්නේ නෑ. එහෙම අවස්ථාවක් උදාවෙන්න ඉස්සෙල්ලා වරද පෙන්වලා දෙන්න ගිහින් මගේ මල්ලී පොට්ඨපාද විපතට පත් වුණා. මටත් ඒ අවස්ථාව උදාවෙනවට මම කැමැති නෑ‘යි කියලා කිව්වා. තවදුරටත් මම මෙතැන හිටියොත් මෑණියන් වහන්සේ මාත් එක්ක වෛර බැඳගෙන මට විපතක් කරන්න පුළුවනි‘යි තීරණය කරලා බමුණාගෙන් අවසර අරගෙන නැවතත් වනාන්තරයට පියාඹලා ගියාය‘යි කථා පුවතක් පන්සියපනස් ජාතක පොතේ රාධ ජාතකයේ සඳහන් වෙනවා.

‘පින්වතුනි, යම්කිසිවකුගේ කිසියම් වරදක් දුටුවත් ඒ වරද නිවැරැදි කරලා පෙන්වා දෙන්න පෙර ප්‍රඥාවෙන් ඒ ගැන හිතලා බලන්න ඕන. එහෙම නොවුණහොත් පොට්ඨපාද ගිරවාට වුණු විපත ම තමන්ටත් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හොඳ උපදේශයක් වුණත් එය ලබා දෙන්න පෙර වරක් දෙවරක් නොව සියවරක් හිතලා තීරණය කළ යුතු වෙනවා.

විශේෂයෙන් ම උපදෙස් ලබන්නා සත්පුරුෂයෙක් ද, අසත්පුරුෂයෙක් ද, ප්‍රඥාවන්තයෙක් ද, අඥානයෙක් ද යන්න තීරණය කළ යුතු වෙනවා. ප්‍රඥාවන්ත, සත්පුරුෂ අයට උපදෙස් දීමෙන් යහපතක් ම සිද්ධ වෙනවා. ඒ

වගේම අඥාන, අසත්පුරුෂ අයට උපදෙස් දීමෙන් ප්‍රඥාවන්තයෙක් වුණත් දැඩි පීඩාවට හා විපතට පත් වෙනවා. මේ කාරණය අවබෝධ කරගෙන කටයුතු කිරීම ජීවිතයේ සාර්ථක බවට බොහෝ සෙයින් හේතු වෙන බව මේ කථා පුවතින් අපට උපදෙස් ලබා දෙනවා.