Print this Article


ආධ්‍යාත්මික ගුණ කැටිකළ බුද්ධ ප්‍රතිමා කලාවේ විශිෂ්ටත්වය

ආධ්‍යාත්මික ගුණ කැටිකළ බුද්ධ ප්‍රතිමා කලාවේ විශිෂ්ටත්වය

බුදු පිළිම සඳහා පාරුපනය යොදා ඇති ආකාරය අනුව ද ගන්ධාර මථුරා සම්ප්‍රදායද්වයෙහි පැහැදිලි වෙනසක් දක්නට ලැබේ. දෙවුරම නොවැසෙන සේ සිවුර දක්වා ඇත. එහි වම් උරහිස වැසෙන අයුරින් සිවුර දක්වා සිවුරෙහි රැළි උඩුකය මත පමණක් පෙන්වා ඇත.

ඇතැම්විට දෙවුර වැසූ ප්‍රතිමා ද දක්නට නැතුවා නොවේ. ශරීරයේ පහළ කොටසෙහි පෙනෙන නොපෙනෙන අයුරින් ඉතා සියුම් ව සිවුර නිර්මාණය කොට ඇත. අඳනය පටියකින් සිරකොට බැඳ තිබෙන ආකාරය පෙන්නුම් කරයි. බුදුරදුන් සිවුර හැඳ පොරවා සිටි ආකාරය ගැන ගන්ධාර ශිල්පියාට වඩා වැඩි අවබෝධයක් මථුරා ශිල්පියාට තිබුණු බව මේ අනුව පෙන්වා දිය හැකි සාධකයකි.

බුදු පිළිමය සඳහා මුද්‍රා භාවිතය ද මථුරා ශිල්පියා ගේ තවත් විශේෂ ලක්‍ෂණයකි. බුදු සිරිතෙහි විවිධ අවස්ථා නිරූපණය කිරීමට මථුරා කලා ශිල්පියා මුද්‍රා භාවිතය යොදාගෙන ඇත. බුදු පිළිම නිර්මාණයේ දී පරිමාණ ලක්‍ෂණ ගැන ද මථුරා ශිල්පියා ගේ අවධානය යොමු වී ඇත. නළලේ සිට නිකට දක්වා ඇති ප්‍රමාණය එක් ඒකකයක් ලෙස ගෙන එවැනි කොටස් අටකින් හෝ නවයකින් යුක්ත වන සේ ශරීරය නිර්මාණය කොට ඇති ප්‍රතිමා මථුරා සම්ප්‍රදායෙහි වෙයි. බොහෝ විට මෙම ක්‍රමය හිටි පිළිම සඳහා යොදාගෙන ඇත. මථුරා කලා සම්ප්‍රදායට අයත් බුද්ධ ප්‍රතිමා අතර අද්විතීය කලා නිර්මාණයක් ලෙස ලෝක ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ගුප්ත යුගය තුළ ඉදිකෙරුණු හිටි පිළිම යි. ඉතා චමත්කාරජනක මෙම ප්‍රතිමා ශතවර්ෂ ගණනාවක අත්දැකීම් අනුසාරයෙන් හැඩගැසුණු නිර්මාණ බව පෙනේ. ගුප්ත යුගයේ නිර්මාණය වූ එකී බුද්ධ ප්‍රතිමා අපරදිග කලා සම්ප්‍රදායේ හා දේශීය සම්ප්‍රදායේ සම්මිශ්‍රණයෙන් බිහි වූ පරිසමාප්ත කෘතීන් වේ. ස්ථිරසාර ගුණය, ගාම්භීරත්වය, ප්‍රසන්න පෙනුම, මහා කරුණාව හා වීතරාගීත්වය එම ප්‍රතිමා තුළින් මනාව මූර්තිමත් වේ.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය දැක්වෙන සාරානාත් හි ප්‍රතිමාව ද මථුරා කලා සම්ප්‍රදායේ තවත් ශ්‍රේෂ්ඨතම නිර්මාණයකි.

මථුරා සම්ප්‍රදායට අයත් බුද්ධ ප්‍රතිමා අතර විශේෂ අවධානයක් යොමුවිය යුතු තවත් ප්‍රතිමාවක් ලෙස මථුරා මියුනික් කෞතුකාගාරයේ ඇති කත්‍රා බුදු පිළිමය (ක්‍රි.ව. 02 වන ශතවර්ෂය) දැක්විය හැකි ය. අඩි 02 අඟල් 3 1/4 ක් පමණ උස ඇති රතු වැලිවලින් නිම වූ ඒකාංශ පාරුපනය සහිත මෙය අභය මුද්‍රාවෙන් යුක්ත ය. බද්ධ පර්යංකයෙන් වැඩසිටින මෙහි සිරිපතුල්වල ත්‍රිරත්න චක්‍ර ආදී මංගල ලක්‍ෂණ පිහිටුවා ඇත. පා ඇඟිලිවල ස්වස්තික ලක්‍ෂණ කොටා ඇත. ඌර්ණ රෝම ධාතුව හා උෂ්ණීෂය දක්වා තිබුණ ද හිසෙහි කෙස් රැළි දක්වා නැත.

ප්‍රතිමාවෙහි පසුබිමෙහි දක්වා ඇත්තේ බෝධි වෘක්ෂයකි. දෙපසින් ද්වාර පාලකයෝ ද, ඉහළ අහසෙහි දෙපස විද්‍යාධරයෝ ද වෙති. ආසනය යට සිංහරූප තුනක් ද පවතී. ආසනයෙහි සංක්ෂිප්ත ප්‍රාකෘත ලිපියක් දක්නට ලැබෙන අතර, එහි “බුද්ධ රෂිතගේ දෙමාපියනට පින් පිණිස මේ බෝධිසත්ත්ව රූපය කරවන ලදී.” යැයි, සඳහන් වන බව මහාචාර්ය කඹුරුපිටියේ වනරතන මහනාහිමියෝ පෙන්වා දෙති.

තව දුරටත් මෙම මථුරා පිළිම අධ්‍යයනය කරන විට ඒවායෙහි ප්‍රමුඛ ලක්‍ෂණ 10 ක් මෙසේ ගොනු කොට පෙන්වා දිය හැකි ය.

1. රතු වැලිගලින් බුදු පිළිම නෙළා තිබීම.

2. දකුණු උරය විවෘත ව තිබීම හා බද්ධ පර්යංකයෙන් සිටින විට දෙපා සිවුරට නොවැසී විවෘත ව තිබීම.

3. පාරුපනයෙහි සිහින් රැල්ලක් පැවතීම.

4. සිරුරට චීවරය ඇලී තිබීම.

5. හිස මුඩුවුව ද හිසමත වූ උෂ්ණීෂය කෙස් වැටියෙන් මතුව පෙනීම හා ඌර්ණ රෝම ධාතුව.

6. වෘත්තාකාර ප්‍රභා මණ්ඩලය

7. සිද්ධාසන හෝ වජ්‍රාසන ක්‍රමය අනුව තැබූ පාදයන් හි දෙපතුල් මංගල ලක්‍ෂණයන්ගෙන් යුක්තව පැවතීම.

8. දකුණත අභය මුද්‍රාවෙන් සිටින සේ උරහිස තෙක් ඔසවා වමත දණහිස මත තැබීම.

9. සිංහාසනයක් මත වැඩසිටීම හා දෙපස ද්වාරපාලක දේවතා රූපයන්ගෙන් යුක්තවීම.

10. වැඩසිටින පිළිම බහුල වීම.

යථෝක්ත ලක්‍ෂණ පොදු වශයෙන් දක්නට ලැබෙන්නේ මථුරාවේ කත්‍රා පෙදෙසින් ලැබුණ ඉපැරණි බුදු පිළිමයන් හි ය. උත්තුංග දේහධාරී මහා පුරුෂයකු ගේ ලක්‍ෂණ විදහා දැක්වෙන පරිදි මෙම ප්‍රතිමා නිර්මාණය කොට තිබේ.

මෙසේ මථුරා බුදු පිළිම ගැන අධ්‍යයනය කිරීමේ දී ශරීර අලංකාරය මෙන්ම ආධ්‍යාත්මික ගුණයන් ද ඊට ඇතුළත් කිරීමට මථුරා කලාකරුවා දැක් වූ සාර්ථක උත්සාහයක් ඒ තුළින් පිළිබිඹු වේ.

පොදුවේ ගත්කල භාරතීය දේශීය කලා සම්ප්‍රදායේ තවත් දියුණු පියවරක් ලෙස මථුරා බෞද්ධ කලාව හඳුන්වා දිය හැකි ය. මථුරා බෞද්ධ කලාව ගන්ධාර කලාවට වඩා වැදගත් වන්නේ ගුප්ත යුගයේ දී සම්පූර්ණත්වයට පැමිණි භාරතීය බෞද්ධ කලාවේ මුල් පියවර එමගින් සනිටුහන් වන බැවිනි.

අමරාවතී සම්ප්‍රදාය

දකුණු ඉන්දියාවේ ක්‍රිෂ්ණා-ගෝදාවරී ගංගා ආශ්‍රිතව ගොඩනැගුණු ප්‍රබලතම රාජ්‍යය ලෙස ආන්ධ්‍ර රාජ්‍යය හඳුන්වා දිය හැකි ය. මෙම ආන්ධ්‍ර රාජ්‍යයට අයත් අමරාවතියෙහි ක්‍රි.පූ. 3 වන ශත වර්ෂයේ පමණ ථෙරවාද බුදුදහම ප්‍රචලිත ව පැවතිණ. ක්‍රි.ව. 2 වැනි ශත වර්ෂය වනවිට අමරාවතිය මහායාන බුදු සමයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට ද පත්ව තිබිණ. ධර්මාශෝක රාජ්‍ය සමයේ ඉතා හොඳීන් බුදු දහම ව්‍යාප්ත වූ මෙහි ආන්ධ්‍ර රජවරුන් යටතේ බොහෝ බෞද්ධ සිද්ධස්ථාන ඇති විය. එයින් දැනට ශේෂ ව ඇති නෂ්ටාවශේෂ වැඩිපුර ම දක්නට ලැබෙන්නේ අමරාවතී සහ නාගාර්ජුන කොණ්ඩ යන ස්ථාන දෙකෙහි ය.

අමරාවතිය වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ එහි ගොඩනැඟුණු මහා චෛත්‍යය හේතුකොට ගෙන ය. එනිසා අමරාවතී සම්ප්‍රදායක් ගැන ද ප්‍රසිද්ධියක් ඇති විය. මෙය මහා සංඝිකයන්ගේ ශාඛාවක් වූ චෛත්‍යවාදීන්ගේ මධ්‍යස්ථානයක් විය. “ජග්ගයියපෙට” නම් ස්ථානයේ ඉදිකරවූ මෙම චෛත්‍යය ක්‍රි.ව. 2 වන සියවසේ දී මාධ්‍යමික දර්ශනවාදියෙකු වූ නාගාර්ජුන පාදයන් විසින් විශාල කරවන ලදී. නාගාර්ජුන කොණ්ඩ නමින් ප්‍රකට වූයේ එකී නාගාර්ජුන පාදයන් විසූ ස්ථානය යි.

මෙම ස්ථානය සිය ගණනක් ආරාමවලින් යුක්ත විය. එසේම නොයෙක් රටවලින් පැමිණි නා නා නිකායික භික්ෂූන් වහන්සේගෙන් ද පිරී පැවතිණ.

බුද්ධ ප්‍රතිමාවේ විකාශනය පිළිබඳ පර්යේෂණයන් හි යෙදුණු බොහෝ විද්වත්හු බුද්ධ ප්‍රතිමා කලාවෙහි පරිණත අවස්ථාවක් ලෙස අමරාවතී සම්ප්‍රදායට අයත් බුදු පිළිම පිළිබඳ විග්‍රහ කරති. මෙම යුගයේ බොහෝ ප්‍රතිමා හුණු ගලෙන් හා කිරි ගරුඬවලින් නිම කළ ඒවා වූ අතර, වඩාත් ජනප්‍රියව පැවතියේ අභය මුද්‍රාවෙන් යුත් හිටි පිළිම යි. අමරාවතී ස්තූපය හා ඒ අවට ඇති බුද්ධ ප්‍රතිමාවල ගන්ධාර හා මථුරා සම්ප්‍රදායන් ගේ ලක්‍ෂණ සම්මිශ්‍රව දක්නට ලැබෙන අතර ඊට වෙනස් ලක්‍ෂණ ද ප්‍රකටව පෙනෙන්නට තිබේ.

වර්තමාන ක්‍රිෂ්ණ නදී සංවර්ධන සැලසුම් යටතේ මෙම වැදගත් පෞරාණික ස්ථාන ජලයෙන් යට වී ගියේ ය. එහෙත් ඉන්දීය ආණ්ඩුව මෙහි තිබූ වැදගත් නටබුන් මදුරාසි කල්කටා කෞතුකාගාරයන්ට යවා මැනවින් ආරක්‍ෂා කර තබා තිබේ. ඇතැම් ස්තූප හා ආරාම තිබූ ආකාරය දක්වන සැලසුම් ද තනා මදුරාසි කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ.

අමරාවතී ස්තූපය ඉදිකරවූයේ ක්‍රි.පූ. 2 වන ශත වර්ෂයේ දී ය. එහෙත් ස්තූපය වටා ගරාදි වැටක් සහිත ව කැටයම් රාමු කරවා ඇත්තේ ක්‍රි.ව. 150-200 ත් අතර කාලයේ දී බව ශිලා ලිපිවලින් පැහැදිලි වෙයි. අමරාවතී කැටයම්වල පවත්නා විශේෂත්වයක් නම් බුදුරදුන් දැක්වීමට අවශ්‍ය වූ තැන බෝධිය, ධර්ම චක්‍රය, ශ්‍රී පාදය වැනි සංකේත මෙන් ම බුද්ධ ප්‍රතිමා ද නිරූපණය කර තිබීම ය. එයට හේතුව බුදු රදුන් සංකේතවලින් පමණක් දැක්වීමේ සම්ප්‍රදාය ක්‍රි.ව. 1 වන ශත වර්ෂය වන විට වෙනස්ව මනුෂ්‍ය ස්වරූපයෙන් නිර්මාණය කිරීම ආරම්භ වීම යි. මේ වනවිට සංකේත දැක්වීමේ පුරාණ සම්ප්‍රදාය වෙනස් ව ගොස් තිබුණ ද එම ක්‍රමය භාරතීය කලාකරුවන් අතර යම් තරමකට හෝ ශේෂව පැවති බවට ද මෙය සාධකයකි. මේ අනුව තත්කාලීන අමරාවතී කැටයම් කොටස් දෙකකට වර්ග කළ හැකි ය. එයින් පළමු අවධියේ නිර්මිත කැටයම්වල මනුෂ්‍ය ස්වභාවයෙන් යුක්ත ව නිරූපිත බුද්ධ ප්‍රතිමා දක්නට නො ලැබෙන අතර, පසුකාලීන කැටයම්වල මනුෂ්‍ය ස්වභාවයෙන් යුත් බුදුරදුන් දක්වා ඇත. මථුරා සම්ප්‍රදාය ගුරුකොට ගත් බවක් මෙම බුද්ධ ප්‍රතිමා තුළින් ප්‍රකට වේ.

අමරාවතී චෛත්‍යය වටා ඇති කිරිගරුඬ කැටයම් රාමුවලින් අමරාවතී ගුරු කුලයට අයත් බුද්ධ ප්‍රතිමා රාශියක් හමුවේ. බුද්ධ චරිතය හා සබැඳී සිදුවීම් පදනම් වූ විවිධ ආසනයන්ගෙන් හා මුද්‍රාවලින් යුත් බුද්ධ ප්‍රතිමා විවිධ රූප රාමුවල නොගැඹුරු ආකාරයෙන් කැටයම් කර ඇත.

අමරාවතී කැටයම්වල මානව රූප දැක්වීමේ දී ක්‍රියාශීලිත්වය පෙන්නුම් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කොට ඇති බව පෙනේ. පාත්‍රා ධාතුව පිදීම දැක්වෙන කැටයමෙහි දෙවියන්ගේ ක්‍රියාශීලිත්වය මෙයට හොඳ උදාහරණයකි. භාවමය හැඟීම් දනවන අයුරින් ඉරියව් පෙන්වීමටත්, ඉන්ද්‍රියයන් නිරූපණයටත් දක්වා ඇති දක්‍ෂතාව නාලාගිරි දමනය දැක්වෙන කැටයමෙන් පෙනේ.

අමරාවතී බුද්ධ ප්‍රතිමා අතර පැරණිතම කෘතිවල කේශ කලාපය සුවිශේෂ ක්‍රමයකට සකස් කර ඇත. එනම් හිසෙහි මිටි කේතුරූපාකාර වශයෙන් කුඩා කොට උෂ්ණීෂය වැසී යන ලෙස දහර ආකාරයට එකට වෙළුණු ඉතා කොට කෙස් කැරළි යොදා තිබීමයි. වැඩි වශයෙන් සිවුර ඒකාංශ කොට පොරවා ඇති අතර ක්‍රමානුකූල සියුම් රැළි ඊට යොදා ඇත. බොහෝ විට සිවුරේ ශෛලිය මථුරා සම්ප්‍රදායෙන් නිපදවා ගත් බවක් පෙනෙන අතර එහි සෑහෙන වෙනස්කම් ද දක්නට තිබේ. එනම් මථුරාවේ ලක්‍ෂණයක් වූ විනිවිද පෙනෙන ස්වභාවය නැතිවාක් මෙන් ම චීවරය ඉතා සමීපව ශරීරයෙහි ඇලී යාම නිසා ඉඟ, දණහිස් හා ශරීර අංග පැහැදිලි ව ප්‍රදර්ශනය වන ලකුණක් ද නොමැතිවීම යි. එමෙන්ම මථුරාවේ ලක්‍ෂණයක් වූ කාය බන්ධනය (සිවුරු පටිය) පෙනෙන්නට තිබීම ද මෙම ප්‍රතිමාවන් හි දක්නට නොලැබේ. අමරාවතී සම්ප්‍රදායට අයත් පසුකාලීන සමහර ප්‍රතිමාවක උභයාංශ පාරුපනය ද දක්නට ලැබීම විශේෂත්වයකි.

අමරාවතී කැටයම්වල ඇඳුම් අඩුවෙන් යොදා ඇති බව පෙනේ. මානව දේහයේ හැඩය මනා සේ මතුකර දැක්වීමට එසේ කරන්නට ඇතැ යි, සිතිය හැකි ය. අමරාවතියෙන් හමුවන හැම කැටයමක ම අධික ජීවශක්තිය නිරූපණය වේ. සෑම කැටයමක ම සිද්ධිය සජීවී ව ක්‍රියාකාරී අන්දමින් දැක්වීමට ශිල්පියා උත්සාහ දරා ඇත. මෙකී අමරාවතී සම්ප්‍රදායේ ආභාෂයන් ලංකාවට ද බලපා ඇති බවට සාධක තිබේ. ලංකාවෙන් හමු වූ මහාමායා දේවියගේ සිහිනය දක්වන කැටයම මෙයට නිදසුනකි. මෙය අමරාවතියෙන් මෙහි ගෙනෙන්නට ඇතැ යි, විශ්වාස කළ හැකි ය. මෙම පාෂාණ වර්ගය මෙරට නොමැතිවීම එයට හේතුවයි. ලංකාවේ වෙනත් කලා නිර්මාණ කෙරෙහි ද අමරාවතී ලක්‍ෂණ බලපා ඇති අවස්ථා හමු වේ. අනුරාධපුර ස්තූපවල වාහල්කඩ කැටයම්වලට ද, මිහින්තලයේ කණ්ඨක චේතියේ වාහල්කඩ තුළ ටැම් කැටයම්වල දක්නට ලැබෙන කල්ප වෘක්ෂ, කල්ප ලතා ආදී කැටයම් කෙරෙහි ද අමරාවතී කලා සම්ප්‍රදායේ ආභාෂය ලැබෙන්නට ඇතැ යි සැලකිය හැකි ය.

එමතු නොව රුවන්වැලි මහා සෑය සහ මහඉලුප්පල්ලම අසලින් සොයාගත් බුදු පිළිම අතර අමරාවතී ශෛලියට අයත් ලක්‍ෂණ බෙහෙවින් දක්නට ලැබෙන හෙයින් ලංකාවේ පැරැණි බුදු පිළිම පිළිබඳ අධ්‍යයනයේ දී මෙම සම්ප්‍රදාය බෙහෙවින් ම වැදගත් වේ. පොදුවේ සලකන විට මෙම අමරාවතී සම්ප්‍රදායේ බුද්ධ ප්‍රතිමා මථුරා සම්ප්‍රදායේ ප්‍රතිමාවන්ට වඩා දියුණු වූ නිර්මාණ කෞශල්‍යයක් පෙන්නුම් කරයි.

ගුප්ත සම්ප්‍රදාය

ක්‍රි.ව. 230 සිට 600 දක්වා ශත වර්ෂ කිහිපයක් භාරතයේ ගුප්ත රජදරුවන් රාජ්‍යය කළ සමය “ගුප්ත යුගය” ලෙස හැඳීන්වේ. ගුප්ත අධිරාජ්‍යය භාරතීය හින්දු ආගමේ ස්වර්ණමය යුගය විය. එහෙත් බුදු දහම හා බ්‍රාහ්මණ ආගම යන දෙකට ම අයත් මූර්ති මෙම යුගයේ බිහි වුණි. මෙම ගුප්ත කලා ශිල්ප ක්‍රමය එතෙක් පැවැති ගන්ධාර හා මථුරා සම්ප්‍රදායද්වයෙහි සංකලන අවස්ථාවක් හෙවත් පරිසමාප්ත අවස්ථාව පෙන්නුම් කරන්නකි. එකී සම්ප්‍රදායද්වය ඒ ඒ ප්‍රදේශවලට සීමා වී පැවතුණ ද ගුප්ත ප්‍රතිමා සම්ප්‍රදාය භාරතයේ සෑම ප්‍රදේශයක ම ව්‍යාප්තව පැවතිණ. ගුප්ත සම්ප්‍රදාය මථුරා සම්ප්‍රදායේ ඉතා දියුණු පියවරක් ලෙස ගිණිය හැකි බව මහාචාර්ය කඹුරුපිටියේ වනරතන මහනාහිමියෝ පෙන්වා දෙති.

නැගෙනහිර ආසියාවේ විශාල ලෙස පැතිරීගිය මෙම ක්‍රමයට ගන්ධාර මූලික ලක්‍ෂණ ද අයත් විය.

ගුප්ත කලාකරුවා බුද්ධ ප්‍රතිමාකරණය සිදුකර ඇත්තේ ත්‍රිපිටකාගත කරුණු අනුව බුදුරදුන්ගේ ප්‍රතිරූපය හැකිතාක් දුරට නිවැරැදිව වටහාගෙන ය. එබැවින් ගුප්ත බුද්ධ ප්‍රතිමා වූ කලී බුදුරදුන්ගේ ආධ්‍යාත්මික ගුණාංගයන් සමග සෞන්දර්යය ද ප්‍රකට කරවන නිර්මාණ වශයෙන් හඳුන්වා දිය හැකි ය. භාරතීය ඉතිහාසය හා සංස්කෘතිය පිළිබඳ ප්‍රාමාණික වියතෙකු වූ ඒ.එල්. බෂාම් “අසිරිමත් ඉන්දියාව” ග්‍රන්ථයේ මෙසේ සඳහන් කරයි. “ඉන්ද්‍රියයන් පිළිබඳ ලෞකිකභාවය භාරුත්, සාංචි හා මථුරා සම්ප්‍රදායෙහි ද ජීවශක්තියෙන් යුක්තවීම හා කැලඹුණු අංග චලනය අමරාවතියෙහි ද ප්‍රධාන ලක්‍ෂණය වී නම් ගුප්ත කැටයම් ශිල්පයෙන් පිළිබිඹු වන්නේ උපශාන්තබව නියතබව හා සියුම් බවත් ය.”

මේ අනුව මෙතෙක් කළ නිර්මාණ තුළින් භාරතීය ශිල්පීන් ලබා සිටි පරිණතභාවය හා ගුප්ත රජවරුන්ගෙන් කලාවට ලැබුණු අනුග්‍රහය ගුප්ත යුගයේ උසස් නිර්මාණ බිහිවීමට හේතු විය.

ගන්ධාර හා මථුරා ප්‍රතිමාවල තිබූ ලක්‍ෂණ ගුප්ත ශිල්පියා වැඩිදියුණු කෙළේ ය. ගන්ධාර ප්‍රතිමාවල තිබූ ස්ථූලභාවය, ස්වාභාවිකත්වයට නැඹුරුවීම හා රළුගතිය ගුප්ත යුගයේ දී ඉවත්විණ. ඒ වෙනුවට බුදුරදුන් ගේ දෙතිස්මහා පුරුෂ ලක්‍ෂණ දැක්වීමට හා ආධ්‍යාත්මික ගුණ දැක්වීමට උත්සාහ කර ඇත. ගුප්ත ප්‍රතිමාවල ඇස් පද්මාකාර ය. තොල්වල යටිතොල මතුකර දක්වා ඇත. අමරාවතී පිළිමවල දක්නට ලැබුණු හිස කෙස් රැළි මෙහි ද ඇත. උෂ්ණීෂය දැක්වීමේ දී සිරසෙන් මතු වූ ආකාරයක් දැක්වීමට උත්සාහ දරා තිබේ.

බුදුරදුන්ගේ චර්යාවේ විවිධ අවස්ථා දැක්වීම සඳහා මුද්‍රා භාවිතය ද ගුප්ත කලා නිර්මාණවල තවත් විශේෂ ලක්‍ෂණයකි. ගුප්ත ප්‍රතිමා වැඩි වශයෙන් වැලි ගල්වලින් නිමවා ඇති අතර ගඩොල් සහ ලෝහයෙන් කළ ප්‍රතිමා ද ඇත. හිටි පිළිම හා හිඳී පිළිම ද එක හා සමාන ව ජනප්‍රිය ව ඇත. ගුප්ත සම්ප්‍රදාය තුළ ප්‍රතිමාකරණයේ දී අනුගමනය කළ යුතු පරිමාණය, දිග, පළල, මුද්‍රා, ආසන ආදී නියමයන් කිසියම් ශාස්ත්‍රානුකූල ක්‍රමයකට සකස් වෙමින් පැවතිණැයි සිතිය හැකි ය. එමනිසා ගන්ධාර හා මථුරා ප්‍රතිමාවන්ට වඩා ගුප්ත සම්ප්‍රදායේ ප්‍රතිමාවන් හි ශිල්පීය නිපුණතාවක් ද දැකිය හැකි ය.

ගුප්ත ප්‍රතිමා කලාවේ විශිෂ්ටත්වය පෙන්වීමට දැක්විය හැකි හොඳම උදාහරණ ලෙස සාරානාත් හි ධර්මචක්‍ර මුද්‍රා හිඳී පිළිමය, මථුරා පුරාවිද්‍යා කෞතුකාගාරයේ ඇති ජමල්පූර් හිටි පිළිමය, මන්කුවාර් අභය මුද්‍රා හිඳී පිළිමය සහ සුල්තාන් ගුන්ජි ප්‍රදේශයෙන් සොයාගත් තඹවලින් කර වූ හිටි පිළිමය යනාදිය පෙන්වා දිය හැකි ය. මෙම ප්‍රතිමාවන් තුළින් ගුප්ත කලාකරුවෝ ධ්‍යාන ලක්‍ෂණ අනුසාරයෙන් ස්වභාවය ඉක්මවා ගිය සුන්දරත්වයක් ඒවාට ආරෝපණය කළ හ. සිවුර විනිවිද යන ප්‍රභාස්වර මාලාවෙන් යුත් බුදුරදුන්ගේ දේහ කාන්තිය පිළිබිඹු කර දැක්වීමට ගුප්ත ප්‍රතිමාවන් හි ස්වර්ණාලේප කිරීම සිදු කොට තිබේ. ගුප්ත යුගයේ බුදු පිළිම සමස්තයක් වශයෙන් ගෙන බලන විට තවත් විශේෂ ලක්‍ෂණ කිහිපයක් පෙන්වා දිය හැකි ය. එහි ඇති චාම් බව ඉන් පළමුවැන්නයි. බුදුරදුන්ගේ ආධ්‍යාත්මික ලක්‍ෂණ මතු කිරීමට මිස රාජකීය ශෝභාවක් පෙන්වීමට උත්සාහ දරා නැත. පශ්චාත් කාලීන මහායාන සංකල්ප මත පදනම් වූ පිළිමවල දැකිය හැකි සැරසිලි සහ අලංකාර දෙස බලන විට ගුප්ත ප්‍රතිමාවල ඇති චාම් බව වඩාත් හොඳීන් අවබෝධ කරගත හැකි ය. මෙම චාම්බව හුදෙක් ප්‍රතිමාවෙහි කලාත්මක ගුණය වැඩිවීමට ද හේතු වී ඇතැ යි, සිතිය හැකි ය.

වෙනත් සම්ප්‍රදායන් හි බුද්ධ ප්‍රතිමා අභිබවා යන භාව ප්‍රකාශන ශක්තිය ගුප්ත ප්‍රතිමාවන් හි දක්නට ලැබෙන අනෙක් විශිෂ්ටතම ලක්‍ෂණය යි. එබැවින් ප්‍රතිමාවේ ඒකාබද්ධතාව සමග සෑම අංගයකින් ම බුදුරදුන් ගේ ජීවමාන ස්වරූපය, කාරුණිකත්වය, විරාගීචරණය සහ ප්‍රඥා මහිමය ද ප්‍රකට කෙරේ.

ගුප්ත සම්ප්‍රදාය මෑතකාලීන ව ඉන්දුනීසියාවේ සහ ඉන්දු චීනයේ පැතිරගොස් තිබේ. එයිනුදු ඉන්දු චීනයේ “ද්වාරවතී නුවර” බුද්ධ ප්‍රතිමා ගුප්ත සම්ප්‍රදායෙන් ඔප්නැගී අමුතු මුහුණුවරක් ගෙන තිබේ. එමනිසා ද්වාරවතී සම්ප්‍රදාය ගුප්ත සම්ප්‍රදායේ ම ක්‍රමික විකාශයක් ලෙස හැඳීන්විය හැකි ය. ගුප්ත යුගයෙන් පසු ඉන්දියාවේ බෞද්ධ කලා ශිල්පවල පරිහානියක් දක්නට ලැබේ. බුදු සමය උතුරු ඉන්දියාවෙන් තුරන්ව ගිය අතර, අටවැනි ශත වර්ෂය වන විට බෙංගාලය ඇතුළු ප්‍රදේශවල විවිධ ඇදහිලික්‍රම හා මිශ්‍ර ව මහායාන සහ තන්ත්‍රයානික බුදු සමය තව දුරටත් ඉතිරි ව පැවතිණ. පාල හා සේන රාජවංශිකයන්ගේ අනුග්‍රහය නිසා ක්‍රි.ව. 8 සහ 12 ශත වර්ෂ අතර කාලය තුළ මෙම ප්‍රදේශයෙහි බෞද්ධ කලා ශිල්පවල සංවර්ධනයක් ඇති විය. එහෙත් එය සහමුලින් ම බුදු සමයේ තාන්ත්‍රික ආභාෂයෙන් නිර්මාණය වූවක් විය.

ක්‍රි.පූ. 3 වැනි සියවසේ දී ලංකාවට බුදු සමය පැමිණීමත් සමගම හෝ එයට තරමක පසු කාලයක දී බුද්ධ ප්‍රතිමා කලාව ද ලක්දිවට ආවේණික කලාවක් වූ බව සිතිය හැකි ය. ඓතිහාසික හා සාහිත්‍යමය සාධකවලට අනුව ඉන්දියාවේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීමටත් පෙර සිට ම ලංකාවේ බුද්ධ ප්‍රතිමා කලාව පැවතිණැ යි, ඇතැම් විද්වත්හු තර්ක කරති.

මහාවංසයේ සඳහන් වන තොරතුරු පාදක කොටගෙන කඹුරුපිටියේ වනරතන මහනාහිමි, ඩී.ටී. දේවේන්ද්‍ර, නන්දදේව විජේසේකර, සිරි ගුණසිංහ යන විද්වත්හු ප්‍රථමයෙන් ම මෙරට බුදු පිළිමය නිර්මාණය වූ බව සඳහන් කරති. කෙසේ වෙතත් පුරාවිද්‍යාත්මක සාධකවලට අනුව නම් ක්‍රි.ව. 4 වන සියවසේ දී නිර්මාණය වූ බව පෙනේ. දැනට ලැබී ඇති සාධකවලට අනුව ලක්දිව බුදු පිළිමය ඉන්දියානු බුදු පිළිමය සෘජුව අනුකරණය කළ බවක් නොපෙනේ. අනුරාධපුරයේ සමාධි බුදු පිළිමයත්, තොලුවිල බුදු පිළිමයත් ලක්දිව නිර්මාණය කෙරුණු සුවිශේෂ කලාකෘති දෙකකි. ආධ්‍යාත්මික නිර්මලත්වයත්, නොසැලෙන ශාන්ත භාවයත්, ආත්ම සංයමයත් මෙම ප්‍රතිමා තුළ ගැබ්ව පවතියි. එපමණක් නො ව ඉන්දියාවේ බුදු පිළිම මෙන් පද්මාසනයෙන් වැඩහිඳීන ආකාරයක් නොපෙන්වා මෙරට කලාකරුවා ගේ නිර්මාණයක් වන වීරාසනය බුදු පිළිමය සඳහා උපයෝගී කරගෙන ඇත. එමනිසා මෙරට බුදු පිළිම නිර්මාණයේ දී කලාකරුවා තුළ බුද්ධ ප්‍රතිමා නිර්මාණ සංකල්පය කෙරෙහි අමුතුම දෘෂ්ටියක් පැවැති බව පෙන්වා දිය හැකි ය.

විවිධ යුගවල දී ඉන්දියාවේ ඇති වූ බුද්ධ ප්‍රතිමා සම්ප්‍රදායන් ගේ ආභාෂයෙන් ලංකාවේ බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වී යැයි, යන අදහස විද්වතුන් බොහෝ දෙනකු තුළ පැවතිය ද ලක්දිව කලාකරුවා බුදුරදුන් පිළිබඳ යථාර්ථවාදී ව අවබෝධ කොටගෙන බුද්ධ ප්‍රතිමාව නිර්මාණකරණයට පෙළඹුණ බව නිසැකව ම සඳහන් කළ හැකි ය. ඒ නිසා බුදුරදුන් ගේ මහාපුරුෂ ලක්‍ෂණත්, මහා ප්‍රඥාව හා මහා කරුණාව ආදී ගුණාංගත් පදනම් කරගෙන බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කොට ඇති බව පැහැදිලි ව පෙනේ. මෙ රට බුද්ධ ප්‍රතිමාවට මූලාශ්‍රය වූයේ කුමක් ද? යන්න පිළිබඳව නිශ්චිත නිගමනයක් දීම අපහසු වුවත් නිශ්චිත ගුණාංගවලින් යුත් අග්‍රගණ්‍ය ප්‍රතිමා නිර්මාණය කිරීමට හැකි වී තිබෙන බව සඳහන් කළ හැකි ය.