Print this Article


සුවපත් මනසක් සුවබර දිවියක් - 31 කොටස: අලසබවේ තරාතිරම සනිටුහන් කර ගන්න

සුවපත් මනසක් සුවබර දිවියක් - 31 කොටස:

අලසබවේ තරාතිරම සනිටුහන් කර ගන්න

ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමියන් විසින් රචිත Mindfulness in plain English (සතිමත් බව වැඩීම) කෘතියෙනි.

අලස බව ඇතිවන විට එහි ස්වභාවය, තරාතිරම සනිටුහන් කරන්න. එය ඇතිවන වේලාවත්, කොපමණ කාලයක් එය රැඳී තිබුණා ද හා එය ඉවත්ව ගියේ කුමන වේලාවේ ද යන්න දැක ගන්න. මෙහිදී එකම විශේෂත්වය වන්නේ, මෙම සංසිද්ධිය කල්වේලා ඇතිව අල්ලා ගැනීමයි. එය පිළිසිඳ ගන්නා මොහොතේ ම දැක ගෙන, සිහිය නොමසුරුව ගැල්වීම කළ යුතු ව ඇත. අලසකම, එයට ඉඩ දුන් විට ඔබගේ එළැඹි සිහිය ඉක්මවා ශීඝ්‍රයෙන් වර්ධනය වනු ඇත. එය ජයගත් විට ප්‍රතිඵලය වන්නේ ගිලෙන මනස හෝ නින්ද ඇතිවීමයි.

කැළඹීම : උද්ධච්ච කුක්කුච්ච

කලබලකාරි බව හා කනස්සල්ල මානසික නොසන්සුන්තාව ප්‍රකාශ වීමකි. එක අරමුණක තැන්පත් නොවන මනස දසත විහිදී යයි. එකම ගැටලුව සම්බන්ධ ව නැවත නැවතත් සිතා බලනු ඇත. මෙහිදී පවා චංචල බව ප්‍රබල අංගයක් වනු ඇත. නිරතුරුවම ඔබමොබ දුවන මනස තැන්පත්වීම ප්‍රතික්ෂේප කරයි. මෙවන් ස්වභාවයක් සඳහා පිළියම ද මූලික ක්‍රියා පිළිවෙත ම ය. නොසන්සුන්තාවය, එක්තරා හැගීමක් විඥානයට (උඩුසිතට) මුදා හරියි. රසයක් හෝ දැනීමක් ලෙස ඔබ එයට අර්ථ දක්වනු ඇත. කුමන නමකින් හැඳීන් වූව ද මෙම චංචල හැඟීම් හඳුනාගත හැකි ලක්ෂණයක් ලෙස සහතිකවම පවතියි. එය සොයාගන්න. දුටුවිට එය කොතරම් ප්‍රමාණයකින් පවතියි ද බලන්න. එහි මතුවීම සනිටුහන් කර ගන්න. කොපමණ වේලාවක් එය පවතී ද හා එය ඉවත්ව යන වේලාව දැක ගන්න. පසුව, ඔබගේ අවධානය, හුස්ම වෙත ආපසු රැගෙන එන්න.

සැකය : විචිකිච්ඡා

විඥානය තුළ සුවිශේෂී වූ හැඟීමක් සැකයට අයත් වේ. පාලි පාඨ ග්‍රන්ථවල එය කදිමට විස්තර කර ඇත. කාන්තාරයක ඇදවැටෙමින් ගමන් කර, සලකුණු නොකළ මංසන්ධියකට අවතීර්ණ වූ මිනිසෙකුට ඇතිවන හැඟීමට එය සමාන ය. කුමන මාර්ගයේ යා යුතු ද? එය නිශ්චිතව දැන ගැනීමට ක්‍රමයක් නැත. එම නිසා ඔහු එම මංසන්ධියේ නැවතී දෙගිඩියාවෙන් යුතුව සිටියි. භාවනාවේ දී සාමාන්‍යයෙන් අභ්‍යන්තර දෙබසක් ලෙස මෙවැනි ප්‍රශ්නකිරීම් ඔබ අත්විඳීනු ඇත.

“මෙලෙස වාඩි වී මම මේ කුමක් කරම් ද? මෙයින් මට සිදුවන ප්‍රයෝජනයක් තිබේ ද? ඇත්තවශයෙන් නම් මෙය යහපත් දෙයකි. පොතේ එසේ සඳහන් ව ඇත. නැහැ. එය පිස්සු වැඩක්. මෙය කාලය කා දැමීමක්. නැහැ. මම මෙය අත්නොහරිමි. මෙය කරන බව මා පැවසුවා සේ ම, මම එය කරන්නට යමි. එසේ නැතිව මා හිතුවක්කාර වී දැයි මම නොදනිමි” මෙවන් උගුලකට හසුනොවන්න. මෙය තවත් බාධාවක් ම පමණි. සිදුවන දෙය පිළිබඳ ව දැනීමෙන් ඔබව වළක්වන අටියෙන් ඇතිකරන දුම් පටලයකි මෙය. මෙම දෙගිඩියාව දනවන තත්ත්වය දෙස විමසුම් සහගත වීම තුළින් ඉතා සරලව එය හසුරුවා ගත හැකි ය. ඒ උගුලට හසුනොවන්න. එය මඟහැර ඒ දෙස හොඳීන් බලන්න. එය කොතරම් ශක්තිමත් දැයි දකින්න. එය පැමිණි වේලාව සහ කොපමණ වේලාවක් එය පවතී ද කියා දකින්න. එය ඉවත්ව යනු දැක හුස්ම වෙත නැවත පැමිණෙන්න.

නැඟෙන සෑම බාධාවක් සඳහා ම ඔබට මෙම රටාව පාවිච්චි කිරීමට පිළිවන. ඔබගේ භාවනාවට අකුල් හෙලමින් නැඟෙන ඕනෑම චිත්ත ස්වභාවයක් බාධාවක් ලෙස අප සලකන බව මතක තබා ගන්න. මේවා සමහරක් ඉතා සියුම් ස්වභාවයක් දරයි.

බාධාවන් විය හැකි දේ ඇතුළත් ලැයිස්තුවක් පිළියෙල කිරීම ඔබට ප්‍රයෝජනවත් වීමට පිළිවන. අනාරක්ෂිත බව, බිය, කෝපය, මානසික පීඩනය, නොරිස්සනසුලු බව හා ඉච්ඡාභංගත්වය වැනි ඍණාත්මක ස්වභාවයන් ඉතා පහසුවෙන් හඳුනාගත හැකි ය.

අප සාමාන්‍යයෙන් යහපත් සේ සලකන හෝ ගරුකරන හෝ කරුණුවලට ද අදාළ බැවින්, ආශාව සහ තණ්හාව දැක ගැනීම තරමක් අපහසුවනු ඇත. පරිපූර්ණත්වයට පත්වීමේ ආශාව ඔබට අත්දකින්නට ලැබෙනු ඇත. විශාල යහපතක් කිරීමේ තෘෂ්ණාව ඔබට දැනෙනු ඇත. භාවනාවේ දී අත්දකින ආනන්දජනක ස්වභාවය කෙරෙහි පවා මහත් ළැදියාවක් ඔබ තුළ ගොඩ නැගෙනු ඇත. එවන් පරහිතකාමී හැඟීම්ලින් ඈත්වීම තරමක් අසීරු කටයුත්තකි. නමුත් අවසානයේ දී එය තවත් තෘෂ්ණාවක් පමණක් ම ය. එය තෘප්තිකර ආශාවක් හා යථාර්ථය මඟහරවන කූට උපක්‍රමයකි.

මේවායින් වඩාත් ම උපක්‍රමශීලී වන්නේ ඔබගේ භාවනාවට රිංගාගන්නා ධනාත්මක මානසික ස්වභාවයන් ය. සෑම සත්ත්වයකු කෙරෙහි ම හටගන්නා කරුණාව, සාමය, ඇතුළාන්ත තෘප්තිය, අනුකම්පාව හා දයාව වැනි දේවලින් ඔබව මුදවා ගැනීමට අපහසු වන අන්දමට මෙම ස්වභාවයන් රසවත් වෙයි. ඔබ මනුෂ්‍යත්වයට ද්‍රෝහි වූවා සේ දැනෙනු ඇත. මෙවන් ස්වභාවයන් ප්‍රතික්ෂේප කර, සිත්පිත් නැති රොබෝවක් වන්න කියා අපි ඔබට අවවාද නොකරමු. ඒවා තිබෙන ආකාරයට ම දකින ලෙස පමණක් පවසමු. ඒවා පැමිණ පහව යයි. නොකඩවා භාවනාවේ යෙදෙන ඔබට නිරන්තරයෙන් ම මෙවන් ස්වභාවයන් හමුවනු ඇත. ඒවාට හසු නොවීම මෙහි උපායයි. හුදෙක් ම ඒවායේ පැමිණීම දැක ගැනීමයි. එය කුමක් ද? කොතරම් බලවත් ද හා කොපමණ කාලයක් රැඳෙයි ද යන්න දකින්න. එය හුදෙක්ම ඔබගේ මානසික විශ්වය තුළ ඇතිවී නැතිවී යන සංදර්ශනයක් ම පමණකි.

හුස්ම මෙන් ම මානසික ස්වභාවයන් ද පියවරෙන් පියවර සිදුවෙයි. සෑම හුස්මක් ම පටන් ගැනීමක්, මැද කොටසක් හා අවසානයකින් යුක්ත ය. සෑම මානසික ස්වභාවයක ම ද උපතක්, වර්ධනයන් හා දිරායෑමක් ඇත. මේ අවස්ථාවන් පැහැදිලිව දැකීමට ඔබ උත්සාහ ගත යුතුයි. කෙසේ වෙතත් මෙය ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. සෑම සිතිවිල්ලක් හා සංවේදනයක්ම මනසේ අවිඥාන කලාපයේ (යටිසිතේ) ඉපදී පසුව උඩුසිතට පිවිසෙන අයුරු අපි දැනටමත් දැක අත්තෙමු. සාමාන්‍යයෙන් අප මේ බව දැන ගන්නේ ඒවා සවිඥානයේ මතුවී මඳ වේලාවක් එහි රැඳුණු පසුවයි. අපගේ බාධාවන් පිළිබඳව අප දැනගන්නේ ඒවායේ බැඳීමෙන් නිදහස් කර ඉවත්ව යන අවස්ථාවේදී විය හැකියි.

මීළඟ කොටස වප් අමාවක (20) පෝදා අන්තර්ජාල කලාපයේ