ජාතියේ සාරධර්ම දරුවන්ට කියාදෙන්න
කථිකාචාර්යය, ශාස්ත්‍රපති,
අධ්‍යාපනපති
විල්ඔය පඤ්ඤාතිලක හිමි
අංගුත්තර නිකායෙහි චතුත්ථ නිපාතයෙහි කේසි නම් සූත්‍රයක් වෙයි. මෙම සූත්‍රය දේශනා
කරනු ලැබුවේ කේසි නම් පුද්ගලයකුටයි. කේසි යනු එදා එම ප්‍රදේශයේ වු දක්ෂ අශ්වයන්
හික්මවෙන්නකි. බුදුරජාණන් වහන්සේ මුණ ගැසීම සඳහා ඔහු පැමිණෙයි. එසේ අවා වූ ඔහු සමඟ
බුදුරජාණන් වහන්සේ පිළිසදරක නිරත වෙයි. ඔබ දක්ෂ අශ්වයින් දමනය කරන්නෙකි. කොහොම ද ඔබ
ඒ දමනය කිරීම කරන්නේ.
“ස්වාමීනී මම මෘදු ලෙස කියමි, එසේ දමනය නොවේ නම් රළු ලෙස කියමි, එසේ දමනය නොවේ නම්
මෘදු හා රළු දෙයාකාරයෙන් කියමි, එසේත් කොට දමනය නොවේ නම් මා අශ්වයන් දමනය කිරීමේ
කීර්තියක් ඇත්තෙකි. මගේ කීර්තියට අවමන් වන බැවින් එම අශ්වයා මරා දමමි”
මේ අවස්ථාවේ දී කේසි බුදුරජාණන් වහන්සේ අමතමින් “මා අශ්වයන් දමනය කරන්නෙක්, ඔබ
වහන්සේත් භික්ෂූන් දමනය කරයි. ඒ සඳහා ඔබ වහන්සේ අනුගමනය කරන ක්‍රමවේදය කුමක් දැයි
විමසීය.
“මම ද ඔබ මෙන් ම මෘදුව කියමි, රළුව කියමි, මෘදු හා රළු යන දෙ අයුරින් ම කියමි., එසේ
දමනය නොවූ කල මම ඔහු මරමි.”
මෙයින් විස්මයට පත් කේසි ස්වාමිණී, ඔබ වහන්සේ මරනවා යැයි කීම ඔබ වහන්සේගේ දහමට අනුව
කිසිසේත් ම නොගැළපෙන්නකි. එය කෙසේ විශ්වාස කරන්න දැ”යි විමසීය.
එවිට බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේගේ මෘදු රළු ක්‍රමවල ඇති ලක්ෂණ පැහැදිලි කළහ.
මෘදු බවින් දමනය කිරීම යනු සුචරිත කාය කර්ම, සුචරිත වචී කර්ම, සුචරිත මනෝ කර්ම
හඳුන්වා දී ඒ අනුව කටයුතු කිරීම තුළින් ලද සතුටු සහගත ප්‍රති විපාක දැක්වීමයි.
රළු බවින් දමනය කිරීම යන්නෙන් බුදු දහම දක්වන්නේ කාය දුශ්චරිත, වචී දුශ්චරිත, මනෝ
දුශ්චරිත හඳුන්වා දීම හා ඒ තුළින් ලද හැකි ප්‍රතිවිපාක දැක්වීමයි. ඒ තුළින් හික්ම
වන්නේ නැති නම් යට දැක්වූ ක්‍රමවේද දෙකම භාවිත කරයි. එයිනුත් හික්මීමක් නො ලබන විට
යළි අවවාද කළ යුතු යැයි නො සිතයි. අවවාද කිරීමෙන් වැළකෙයි. එය බුදුරජාණන් වහන්සේගේ
මරා දැමීම වෙයි.
දරුවෝ දඟ වැඩ කරති. ඒ ඔවුන්ගේ දැනුවත් භාවය අඩු බව විය හැකි ය. වර්තමානය ගත් විට
දරුවන්ව මනා හික්මවීමට සුදුසු සමාජ වටාපිටාවක් නො පවතී. දුප්පත්කම, මත්පැන්,
මත්ද්‍රව්‍ය බහුල වීම, අනීතිකව පරිහරණය කළ හැකි තාක්ෂණික මෙවලම්, සමාජ මාධ්‍ය ජාල,
දරුවන් කුට්ටනය සඳහා යොදා ගන්නා ධන වැද්දන්, දරුවා අපහසුවට පත් වන විභාග තරගය,
දරාගත නොහැකි විෂය මාලාව, බාහිර පන්ති, අධ්‍යාපනය තුළ ඇති තරගකාරීත්වය, මේ ආදී
කරුණු කාරණා අනුව නො තේරෙන දරුවකු නොව දැන උගත් අය ද නො මඟ යෑමෙන් වළකා ගැනීම
දුෂ්කර ගැටලුවක් වී ඇත. අද දක්වා දරුවන් හදා ගත්තේ දෙමව්පියන්, ගුරුවරුන්, හා
වැඩිහිටියන් ය.
යම් සමාජයක නීති රීති පනවන්නේ ඒ සමාජයේ අවශ්‍යතා මතයි. නීතිය පැනවීමෙන් පසුව බලවත්
වන්නේ නීතිය යි. තුන් කල් බලා නීති පැනවීම සිදු කළ යුත්තේ එබැවිනි. අප සමාජය තුළ
නීති රීති පැන වීමේ දී සමාජ සංස්කෘතිය පිළිබඳ අවබෝධයෙන් සිදු කළ යුතු ය. එසේ දරුවන්
හදා ගන්නට නම් දරුවන් ට වැරැදි කිරීමට බලපාන මූලික සාධක නැති කළ යුතු ය. දෙමපියන්,
ගුරුවරුන් දරුවන්ට වෛරී ව කටයුතු කරන්නේ නැත. ව්‍යසනකාරි සමාජ සන්දර්භයක් තුළ අද
දරුවන් සුමඟට ගන්නට වෙහෙසෙන්නේ දෙමාපියන් හා ගුරුවරුන් ය. ඔවුහු එහිලා අනේක ගැහැට
විඳිති.
දරුවන්ට කායික, මානසික වශයෙන් හිංසා පීඩා කිරීම මානුෂවාදි සමාජයක් කිසිදා අනුමත
නොකරයි. වෙනත් රටවල් හා සන්සන්දනය කරන විට බුදු දහමින් ඔපවත් වූ අප රට තුළ එවැන්නක්
දක්නට නොමැත.
ශ්‍රී ලාංකීය සමාජය අප පෝෂණය වූයේ බුදුදහම තුළින් ගොඩනඟා ගත් බෞද්ධ සභ්‍යත්වයක්
තුළිනි. එහෙයින් අපේ සමාජය හික්මවීමේ දී ධනාත්මක විනය ක්‍රියා මාර්ග භාවිත කෙරිණි.
(නධඵඪබඪමඥ ඤඪඵඪජනඪතඪඩඨ) කේසි අශ්වයන් දමනය කළ අයුරින් අප දරුවන් හික්ම වූවේ නැත. ඒ
අශ්වයන් දමනය කරන ක්‍රමවේදය බැහැර කොට මිනිසුන් හික්මවන ක්‍රමවේදයක් භාවිතා කෙරිණි.
උන්වහන්සේ දමනය නොකළ හැකි පුරුෂයන් දමනය කළ නිසා ම අනුත්තර පුරිසදම්ම සාරථි ගුණයෙන්
යුක්ත විය. බුදුරජාණන් වහන්සේ සරණ ගිය සැදැහැවත්තු ඒ ගුණයෙන් යුක්තව තම සාමාජීය
කාර්ය තුළ නිරත වූහ.
දක්ෂ රථාචාර්යයෙකු තරුණ අශ්වයකු මුලින් ම හඳුනාගනී, ඔහුගේ ස්වභාවය තේරුම් ගනී,
ක්‍රමානුකූල ව පුහුණු කරයි, අශ්වයාගේ හැකියාවන් වර්ධනය කරයි, එලෙසම බුදුරජාණන්
වහන්සේ, පුද්ගලයාගේ චරිත ලක්ෂණ හඳුනාගනී, ඔවුන්ගේ ආධ්‍යාත්මික මට්ටම තේරුම් ගනී. ඊට
සුදුසු ධර්ම දේශනා කරයි, පියවරෙන් පියවර නිවන් මඟ පෙන්වයි. මේ, නිසා උන්වහන්සේ තුළ
නිරුත්තර වූ අසමසම වූ පුරුස දම්ම සාරථි ගුණය පැවතිණි.
දඬුවම් කිරීම, දෝෂාරෝපනය කිරීම හා අවමන් කිරීම තුළින් කෙනකුගේ සිතට ලබා දෙන්නේ බිය
හා ලජ්ජාවයි. ඒ බියෙන්, ලැජ්ජාවෙන් හික්මවෙන හික්මීම සැබෑ හික්මීමක් ලෙස බුදු දහම
පිළි නො ගනී. ඒ තුළ රාග, දෝෂ ආදි නරක කෙලෙස් මතුවන බවත් ඒ කෙළෙස් තුළින් පුද්ගලයා
විවිධ අපරාධවල නිරත වන බවත්, බුදු දහම දක්වයි. ඒ නිසා දඬුවමෙන්, දෝෂාරෝපනයෙන්, දඬු
මුඟුරු අවි ආයුධ භාවිතයෙන් කෙරෙන හික්මවීම උන්වහන්සේ බැහැර කළහ. කරුණාව, දයාව,
මෛත්‍රිය, ප්‍රඥාව වැනි අවි ආයුධ උන්වහන්සේ හික්මවීමේ දී උපයෝගි කර ගත්හ.
මෙම ක්‍රමවේදය එකතු කරන්නට එදා විසූ වියතුන්, බුද්ධිමතුන්, උත්සාහ කළහ. බුදුරජාණන්
වහන්සේගේ පුරිසදම්ම සාරථි ගුණය විවරණය කරමින් ගුරුළුගෝමීන් විසින් අමාවතුර නම්
පූජනීය ග්‍රන්ථය ලියන්නේ ජන මනස ධනාත්මක විනය ක්‍රියා මාර්ගවලට යොමු කිරීමේ
අදහසිනි.
විද්‍යාචක්‍රවර්ති ලියු බුත්සරණ තුළ ද පුරිදම්ම සාරථි ගුණය විවරණය කරයි. කවියෙන් බණ
ලියු වීදාගම මෛත්‍රිය හිමියන් බුදුගුණ අලංකාරයෙහි දී ඒ ගුණ කවියෙන් කියන්නේ ආනන්දය
හා ප්‍රඥාව අවදි කරවමිනි.
උන්වහන්සේ දමනය කළ නොහැකි මිනිසුන්, සතුන්, යකුන් දමනය කළහ. අංගුලිමාල යනු දකින
දකින මිනිසුන් මරා ඇඟිලි කපා මාලයක් පැළදි අයෙකි. ගුරුන්ගේ බස් ගෙන මුළා ව ඇඟිලි
දහසකින් ගුරු පූජාව පැවැත්වීම ඔහුගේ අරමුණයි. කොසොල් මහ රජු ඔහු අල්ලා ගන්නට එන්නේ
අවි ආයුධ පිරිවරා ගත් ඇත්, අස්, රථ, පාබල සිව්රඟ සේනාව සමඟිනි.
බුදුරජාණන් වහන්සේ ඔහු හා සංවාදයෙහි නිරතව ප්‍රඥා බලයෙන් ඔහු දමනය කරන ලදී.
ආලවක යනු ජනපදයක් බියගැන්වු මිනිසුන් මරා මස් කන යක්ෂයෙකි. බුදුරජාණන් වහන්සේ
ප්‍රඥා බලයෙන් ඔහු දමනය කළහ. නාලාගිරි යනු සොළොස් කළයක් රා බී මත් වූ තිරිසන්
සතෙකි. ඔහු චණ්ඩ ව හසුවන සියල්ල විනාශ කරමින් දිව එයි. නාලාගිරි නවතින්න යැයි
උන්වහන්සේ කී සැණින් ඒ කරුණා වදනට ඇතු නතර වී හික්මිණි. මේ ආදි කථා පුවත් අමාවතුර
තුළ, බුත්සරණ තුළ දැක්වීම තුළින් ජන සමාජයට දරුවන්, සිසුන්, හික්මවන ආකාරය දැනුවත්
කෙරිණි.
වරදකරු වරද නිසා නැති කිරීම බුදු දහමෙහි ක්‍රමවේදය නොවේ. වරදකරු නිවැරැදි කොට
නිවැරැදි වූවෙක් වශයෙන් සමාජයට දැක්වීම බුදු දහමෙහි අරමුණ විය.
උන්වහන්සේගේ පෙර උත්පත්ති කතා කියවෙන පන්සිය පනස් ජාතක පොත මීට කදිම සාක්ෂියකි.
පන්සිය පනස් ජාතක පොතෙහි කිසිම අවස්ථාවක දී වැරැදි කළ අය කළ වැරැද්ද නිසා විනාශ කළේ
නැත. මච්චරිය කෝසිය සිටුතුමා මසුරුව කිසිවකුටත් කිසිවක් නුදුන් අයෙකි. එහෙත් ඔහුගේ
මසුරුකම නිසා ඔහු විනාශ කළේ නැත. ඔහු නිවැරැදි මාර්ගයට ගැණිනි. මේ එක් නිදසුනකි.
අනෙක් කතා තුළත් මේ අයුරින් දැකිය හැකි ය.
එසේ නම් නීතිය නිසා නොව ජාතිය හා රට උදෙසා යහපත් දරුවන් බිහි කරන්නට දරුවන් පවින්
වළකමු, යහපතෙහි යොදවමු. ජාතියේ හර ධර්ම, ගුණ ධර්ම කියා දෙමු මව්පියන්ගේ, ගුරුන්ගේ,
වැඩිහිටියන්ගේ වගකීම යුතුකම ඉටු කරමු. |