Print this Article


යුගයෙන් යුගයට විකාශය වූ බුද්ධ ප්‍රතිමා කලාවේ අපූර්වත්වය

යුගයෙන් යුගයට විකාශය වූ බුද්ධ ප්‍රතිමා කලාවේ අපූර්වත්වය

ලොව ඉපැරණි ශිෂ්ටාචාර ලෙස සැලකෙන ග්‍රීක, රෝම, මිසර, මොහෙන්දජාරෝ, හරප්පා වැනි ශිෂ්ටාචාර පැවති යුගයේ සිට වර්තමානය දක්වා ක්‍රමික ව ව්‍යාප්ත වූ ඉතා ජනප්‍රිය කලාංගයක් ලෙස ‘ප්‍රතිමා ශිල්පය’ හඳුන්වා දිය හැකි ය. ප්‍රතිමා යන්නෙහි අදහස “වැඳුම් පිදුම් සඳහා උපයෝගී කරගන්නා නොහොත් විවිධ ආගමික ඇදහිලිවලට සම්බන්ධ වන දෙවියකු හෝ ශාස්තෘවරයකු නිරූපණය කරන මූර්ති ලෙස දැක්විය හැකි ය. චිත්‍ර, කැටයම් හා මූර්ති වැනි කලා මාධ්‍ය මගින් මෙබඳු ප්‍රතිමා නිර්මාණය කළ හැකි ය.

ලොව පළමුවෙන් ම බුද්ධ ප්‍රතිමා හා බෝධි සත්ත්ව ප්‍රතිමා නිර්මාණය කිරීම පිළිබඳ ගෞරවය හිමිවන්නේ භාරතීය කලාකරුවාට යි. ලොව සමාරම්භක බුද්ධ ප්‍රතිමා පිළිබඳ පුරාවිද්‍යාත්මක සාක්‍ෂි ලැබෙන්නේ භාරතයෙන් වීම එයට හේතුව යි. භාරතයෙහි බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීමේ සමාරම්භක අවස්ථාව පිළිබඳ කරුණු සෙවීම දුෂ්කර ය. බුදුරදුන් ධරමාන සමයේ දීම බිම්බිසාර රජු විසින් කරවන ලද රත්සඳුන් බුද්ධ ප්‍රතිමාවක් පිළිබඳ කරුණු කෝසලබිම්බ වර්ණනාවෙන් හමු වෙයි. එහෙත් එම ප්‍රතිමාව පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක මඟින් කරුණු තහවුරු කළ නො හැකි ය.

බුද්ධ පරිනිර්වාණයෙන් ශත වර්ෂ 05 ක් පමණ ඉක්ම යනතුරු බුද්ධ ප්‍රතිමා නිර්මාණයක් සිදු නො වුණි. එය හුදෙක් බුදුරදුන් වූ කලී සුවිශේෂී පුද්ගලයෙකි, යන සංකල්පය නිසා මිස භාරතීය කලා ශිල්පීන් ගේ අපොහොසත්කම නිසා හෝ ත්‍රිපිටකාගත තහනමක් නිසා හෝ සිදුවූවක් නොවේ. මෙම කරුණ සනාථ කිරීමට දීඝ නිකායේ බ්‍රහ්මජාල සූත්‍රයෙහි සඳහන් ප්‍රකාශයක් බෙහෙවින් ම වැදගත් වෙයි.

“තථාගත බුදුහුගේ ශරීරය මුලින් සිඳනා ලද භව තෘෂ්ණා ඇත්තේ සිටී. යම්තාක් කල් ඒ බුදුහුගේ කය සිටින්නේ ද, ඒ තාක් දෙව් මිනිස්සු උන් වහන්සේ දක්නා හ. කය බිඳීමෙන් ජීවිතය පරික්ෂීණවීමෙන් මත්තෙහි දෙව් මිනිස්සු බුදුරදුන් නො දක්නා හ.”

පැරැණි කලාකරුවා බුද්ධරූපය නිර්මාණය කිරීමට උත්සාහ නොකළේ බුද්ධ රූපය පිළිබඳ මෙකී දෘෂ්ටිය ගැන ප්‍රමාණාත්මක දැනුමක් ලබා සිටි හෙයිනි. බුදුරදුන් දේශනා කළ ධර්මය ජීවමාන බුදුවරයෙකු සේ හඳුනාගත හැකි තත්ත්වයක පවතී. සංයුක්ත නිකායගත පහත පාඨයෙන් ඒ බව මනාව පැහැදිලි වෙයි. “පරිනිර්වාණයෙන් පසු උත්තම පුරුෂ වූ උතුම් ඵලයට පැමිණි තථාගතයන් වහන්සේ විද්‍යමාන ද? නැත් ද? නො එසේ නම් ඒ දෙකම නොවේ ද? හෝ අන් එකක් වේ ද නොවේ ද? යන සතර තැන් උන් වහන්සේ විෂයෙහි අදාළ නො වේ.

බුද්ධ රූපය ආකෘතියට නැගීම මුල් කාලයේ දී සිදු නො වූයේ මෙකී මූලාශ්‍රගත කරුණුවලට එකඟව ය. බුද්ධ ශරීරය පිළිබිඹු වන රුවක් මිනිස් දර්ශන පථයට ලක්කිරීම දුෂ්කර කරුණක් බව තත්කාලීන කලාකරුවෝ වටහා ගත්හ. බුද්ධත්වය මිනිස් ස්වරූපයෙන් දර්ශනයට යොමු කිරීම චිත්ත විෂය ඉක්මවා සිටි හෙයිනි. බුදුරදුන් ගේ කායික ස්වරූපය ග්‍රහණය කර ගැනීමට කලාකරුවන් පිරිසක් අසමත් වූ බවට ද වාර්තාවක් තිබේ. දිව්‍යාවදානයේ එන එම වාර්තාවට අනුව “රුද්‍රායන” රජු ගේ අවශ්‍යතාවට අනුව බුදුරදුන් ගේ ශරීරය චිත්‍රයට නැඟීමට කැඳ වූ චිත්‍ර ශිල්පීහු උන් වහන්සේ ගේ ස්වරූපය ග්‍රහණය කරගැනීම තමන්ට කළ නොහැකි බව කීහ. අවසානයේ දී බුදුරජාණන් වහන්සේ ම රෙදිකඩක් ගෙන්වා තම ඡායාව එයට වැටෙන්නට සලස්වා පසුව වර්ණ සංයෝජනය එම චිත්‍ර ශිල්පීන්ට භාර කළ හ.

සර්වාස්තිවාදී හා ථෙරවාදී මහා විහාර අට්ඨකථා යන සම්ප්‍රදායද්වය ම මෙම අදහස පිළිගත් බවට සාක්‍ෂි තිබේ.

බුදුරදුන් “අප්පටිම” හෙවත් ප්‍රතිමාවකින් දැක්වීමට අපහසු බවත්, රන්රිදී ආදියෙන් මිනිසුන් නිර්මාණය කරන ප්‍රතිමා කිසිවක් නියම වශයෙන් බුදු රදුන් ගේ ශරීරය පිළිබිඹු නොකරන බවත් ඔවුහු විශ්වාස කළ හ.

කෙසේ හෝ බුද්ධ පරිනිර්වාණයෙන් ශතවර්ෂ කිහිපයකට පසු හේතු සාධක රාශියක් මුල්කොට ගෙන බුද්ධ ප්‍රතිමාව මිනිස් රුවින් නිර්මාණය විය. ප්‍රථමයෙන් ම බුදුරදුන් ගේ ශාරීරික ධාතු නිධන්කොට කළ ධාතු චෛත්‍යය හා බුද්ධත්වය සඳහා ඇසුරු කළ බෝ ගස ද පූජනීය වස්තු ලෙස සැලකිණි. මෙම පූජනීය වස්තු දෙකින් යුක්තව සෑම ආරාමයක් ම ගොඩනැඟිණි. පශ්චාත් කාලීන ව ධාතු චෛත්‍යය හා බෝධිය වන්දනා කිරීම තුළින් පමණක් සෑහීමකට පත් නොවූ සැදැහැවත්හු බුද්ධ රූපය මිනිස් රුවින් දැකීමට කැමැති වූ හ. මෙබඳු සමාජ පසුබිමක් යටතේ අනුගාමිකයන් ගේ අවශ්‍යතා සපුරාලීම් වස් ඇසට දර්ශනය වන අයුරින් බුද්ධ රූපය නිර්මාණය කිරීම අනිවාර්යයෙන් ම සිදු විය යුත්තක්ව පැවතිණ.

ඒ අනුව ක්‍රි.ව. 1 වන ශත වර්ෂය ආරම්භයේ හෝ මැද භාගයේ පමණ ගන්ධාරයෙහි මෙන්ම, මථුරාවෙහි ද සමකාලීන ව බුදු පිළිම නෙළීම සිදු විය. මෙම සියලුම ප්‍රතිමා ලක්‍ෂණ ත්‍රිපිටකයේ සඳහන් වන බුදුරජාණන් වහන්සේ පිළිබඳ විස්තර ඇසුරෙන් සකස් කෙරුණු බව පෙනේ. මුල්ම බුදු රූ වශයෙන් සාමාන්‍යයෙන් සැලකෙන්නේ කණිෂ්ක රජු ගේ කාසිවල හා එතුමා ම නිර්මාණය කර වූ ෂා-ජි-කි-ඪෙරීහි තිබූ ධාතු කරඬුවේ ඇති බුදු රූ ය.

ගන්ධාර හා මථුරා යන කලා සම්ප්‍රදායද්වයෙහි ම සමාරම්භය භාරතීය ඉතිහාසයේ වැදගත් කාල පරිච්ඡේදයක් වන “කුෂාණ” යුගයට (ක්‍රි.ව. 1-2) අයත් ය.

බුදු සමයේ ව්‍යාප්තියට ධර්මාශෝක අධිරාජයා ගෙන් පසු විශාල අනුග්‍රහයක් දැක්වූ කණිෂ්ක රජු ගේ සමයෙහි මෙම කලා සම්ප්‍රදායද්වයෙහි ම වර්ධනයක් ඇති වූ බව කිව යුතු ය.

කණිෂ්ක සර්වාස්තිවාදී බෞද්ධයෙකු නිසා මුලින් ම බුදුරුව සෑදීමේ ගෞරවය හිමිවිය යුත්තේ හීනයාන නිකායක් වූ සර්වාස්තිවාදීන්ට බව කිව හැකි ය. කණිෂ්ක රාජ්‍ය සමයෙහි ගන්ධාරයේ ඇති වූ බුදු පිළිම ග්‍රීක-රෝම කලාවේ ආභාෂයෙන් සංවර්ධනය විය. ඒවා විශේෂයෙන් ම “ඇපලෝ” දේව රූපය ගුරුතන්හි තබාගෙන නිර්මාණය කළ බැව් විශ්වාස කෙරේ. එසේ වුව ද මීට සමකාලීනව ම මථුරාවේ ද බුදු පිළිම නිර්මාණය ආරම්භ වී තිබේ. මූර්ති ශිල්පය අතින් බලනවිට බුද්ධ ප්‍රතිමා නිර්මාණයේ පුරෝගාමීවූවන් ලෙස ගන්ධාර හා මථුරා යන කලා සම්ප්‍රදාය දෙක ම ප්‍රසිද්ධියක් උසුලයි.

මෙම සම්ප්‍රදායයන් දෙක ම පසුකලෙක එකට හමු වූ බවත්, ඒ තුළින් සිදු වූ එකී සම්ප්‍රදායද්වයෙහි ම කලා සංකලනය බුදු පිළිම කලාවේ සංවර්ධනයට හේතුසාධක වූ බවත් භාරතීය කලා ඉතිහාසය විමසීමෙන් පෙනී යයි.

ගන්ධාර සම්ප්‍රදාය

ගන්ධාර දේශය ඉන්දියාවේ වයඹ දිග පළාත්වල සිට ඇෆ්ගනිස්ථානය දක්වා පැතිරී පැවති විශාල ප්‍රදේශයකට භාවිත කළ නමකි. “කණ්ඩුෂ්” හා “සින්ධු” නදීන්ගෙන් වට වූ කාබුල් තැනිතලාවේ පහළ කොටසට ගන්ධාරය අයත් වෙයි. වයඹ දිග ඉන්දියාවට අයත් පේෂාචෝර්, භද්දා, චර්සද්දි, සහ්රි, බ්‍රේගම් වැනි නගරාශ්‍රිත ව පැතිරී පැවති නටබුන් අතරින් හමු වූ දියුණු වූ බෞද්ධ කලාකෘති “ගන්ධාර කලා” ලෙස හැඳීන්වේ.

බුද්ධ කාලයේ සිට ම ගන්ධාරය බුදු දහම දැනසිටි නමුත් බෞද්ධ කලාවේ ආරම්භය ක්‍රි.ව. 1 වැනි ශත වර්ෂයේ විසූ කණිෂ්ක රජු ගෙන් පසු සිදු වී යැයි විශ්වාස කෙරේ. ගන්ධාර දේශය තුළ බුදු දහම ප්‍රචාරය කිරීම අශෝක අධිරාජයා ගේ කාලයේ සිට ම සිදු කෙරුණු බව සිතිය හැකි ය. මෙම පෙදෙස බුදු රදුන් ගේ ජීවිතය හා සම්බන්ධ නොවූව ද බෞද්ධ ජාතක කතා රැසකින් බෝධිසත්ත්වයන් වහන්සේ මෙහි විසූ බව දැක්වෙන හෙයින් බුදු දහමේ හා කලාවේ වැඩීමට ඉන් පිටුවහලක් ලැබුණි.

ගන්ධාර ප්‍රදේශයට අයත් සහ්රී, බහ්ලෝල්, තඛාතිබහී, ජමල්ගර්හි, හඩ්ඩා, නගරභාර යනාදී ස්ථානවලින් සොයාගත් නටබුන් අතර බුදු පිළිම රාශියක් ද වෙයි. ඒ සියල්ල ම ගන්ධාර සම්ප්‍රදායට අයත් බුද්ධ ප්‍රතිමා වශයෙන් සැලකේ. භාරතීය කලාව කෙරෙහි අපරදිග බලපෑම් ලැබීම ගන්ධාර කලාවේ විශේෂතම ලක්‍ෂණය යි. එකල ඉතා දියුණු තත්ත්වයක පැවති “ග්‍රීක්” හා “ඉරාන” කලා සම්ප්‍රදායන්ගේ ආභාෂය භාරතීය කලාව කෙරෙහි තදින් ම සම්මිශ්‍රණය විය.

ගන්ධාර කලා සම්ප්‍රදාය අධ්‍යයනය කිරීමේ දී එය අවස්ථා තුනකින් සංවර්ධනය වී තිබෙන බැව් පෙනේ.

1. ක්‍රි.ව. 2 වැනි ශත වර්ෂය (ඇලෙක්සැන්ඩි්‍රයාන් ආභාෂය)

2. ක්‍රි.ව. 1 වැනි ශත වර්ෂය (රෝම ආභාෂය)

3. ක්‍රි.ව. 1 වැනි සියවස (පර්සියන් සිකියන් ආභාෂය)

ගන්ධාර බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළේ භාරතීය කලාකරුවන්ට වඩා ග්‍රීක හා බැක්ටි්‍රයානු රටවලින් කැඳවනු ලැබූ මූර්ති ශිල්පීන් විසින් ය, යන්න ඉතිහාසඥයන්ගේ පිළිගැනීමයි. බුදු සමය පිළිබඳ නොදත් ග්‍රීක ශිල්පීන් බුද්ධ ප්‍රතිමා නෙළීමේ දී මූලික වශයෙන් අරමුණු කර ගත්තේ පරිසමාප්ත මනුෂ්‍ය රූපයක් නිර්මාණය කිරීම ය. ඒ සඳහා ග්‍රීක, ඇපලෝ හා වීනස් දෙවිවරුන්ගේ ප්‍රතිමා නෙළීමෙන් ලත් පරිචය උපයෝගී විය. එමනිසා ගන්ධාර ශිල්පීන් බුද්ධ ප්‍රතිමාවන්ට ආකෘති සපයාගෙන ඇත්තේ ග්‍රීක, රෝම දේවරූපවලින් බව සිතිය හැකි ය. තුලනාත්මකව බලන විට ගන්ධාර පිළිමවල ග්‍රීක හා රෝම ප්‍රතිමා ලක්‍ෂණ ද පැහැදිලිව දැක් වේ. විශේෂයෙන් ම ඇපලෝ දේව රූපය ගුරුතන්හි තබාගෙන නිර්මාණය කළ බව සිතිය හැකි ය.

මීට සමකාලීනව ම මථුරාවල බුදු පිළිම නිර්මාණය කළ කලාකරුවන් එම කාර්යය සිදුකොට ඇත්තේ භාරතීය යක්‍ෂ රූපවලට සිවුරක් අන්දවා රෞද්‍ර ස්වරූපය ක්‍රමයෙන් ඉවත් කරමින් හැඩගැස්වීමෙනි.

එහෙත් ගන්ධාර කලාකරුවා රෝමයේ ඉහළ පෙළේ මිනිසුන් අඳීන “ටෝගා” නම් ඇඳුම හෙවත් සාටකය අනුව යමින් බුදු පිළිමවල චීවරය රැළිගන්වා ඇත. මුල්ම ගන්ධාර ශිල්පියා බුද්ධ චීවරය හෝ එය පොරවන ආකාරය ගැන හෝ බෞද්ධ මූල ග්‍රන්ථවල එන විස්තර ගැන වැටහීමක් හෝ සැලකිල්ලක් ඇතිව සිටි බවක් සිතිය නො හැකි ය.

බුදු රදුන් ගේ විවිධ ශාරීරික ලක්‍ෂණ මූර්තිමත් කිරීමේ දී ද, ගන්ධාර ප්‍රතිමාවල ග්‍රීක ආභාෂය පැහැදිලි ව දක්නට ලැබේ. ගන්ධාර සම්ප්‍රදායේ බුදු පිළිම පැහැදිලි ව වෙන්කොට හඳුනාගත හැකි ලක්‍ෂණ මෙසේ ය.

සිරස ඇපලෝ දෙවියාගේ හිසට සෑම අතින් ම සමානවීම.

පිළිමයේ පහළ කොටස මෙන්ම මුහුණ ද ඇපලෝ ප්‍රතිමාවට සමානකමක් දැක්වීම.

බුද්ධ රූපයක විශේෂයෙන් දැක්විය යුතු ලක්‍ෂණ ලෙස සලකා ඌර්ණ රෝමය හා දික් වූ කන්පෙති මෙම ප්‍රතිමාවල ඇතුළත් කර තිබීම.

මොංගෝලියානු ස්වරූපය දරන දිගටි මුහුණ

අඩවන් දිග දෑස් මද සිනහවක් සහිත සිහින් තොල් සඟල හා පරිමාණානුකූල කම්මුල්වලින් සමන්විත වීම.

රෝම හා ග්‍රීක වංශවතුන් ගේ ඇඳුම වන ටෝගාව සිහිකරවන ඝන රැළි සහිත සිව්රු

අස්වාභාවික කෙටි පාද හා අත් සංවරව සිරුරට ළං ව පිහිටා තිබීම.

පද්මාසනය කුඩා නෙළුම් මලක් මත දුෂ්කරව වාඩි වී සිටින විලාශයක් පෙන්වීම.

ආභංග හෙවත් මදක් නැමුණු කෝමළ සිරුර

අපරදිගින් පැමිණි ලක්‍ෂණවලට ඌර්ණ රෝම ධාතුව, ලම්භකර්ණය ලක්‍ෂණ එක් කිරීමෙන් ගන්ධාර කලාව එයට බෞද්ධ මුහුණුවරක් එක් කෙළේ ය.

හිස පිටුපසින් කවාකාර රශ්මි මාලාවක් යෙදීම ගන්ධාර ප්‍රතිමා සම්ප්‍රදායේ මැනවින් දක්නට ලැබෙන්නකි. ඒ සඳහා වැඩි වශයෙන් ආදර්ශයට ගෙන ඇත්තේ සූර්ය දේව ප්‍රතිමා නිර්මාණය යි. ගන්ධාර බුද්ධ ප්‍රතිමා සියල්ලගේ ම පාහේ මෙකී බටහිර ලක්‍ෂණ සේ ම ඉන්දියානු කලා සම්ප්‍රදායන් ගේ මිශ්‍රණයක් ද දැකිය හැකි ය.

මෙම මිශ්‍රණයඑක ලෙස ම නොපැවතිණ. මුල දී බටහිර ලක්‍ෂණ පිළිබිඹු වූ අතර, පසුව ඉන්දීය ලක්‍ෂණ බහුලව දක්නට ලැබුණි. මේ ආකාරයට අනුක්‍රමයෙන් වෙනස දක්වන බුද්ධ ප්‍රතිමා දෙකක් මෙහි දී සඳහන් කළ යුතු වේ.

ඇෆ්ගනිස්ථානයේ “බ්‍රෙග්‍රම්” නම් ස්ථානයෙන් සොයාගත් හිටි පිළිමය

මෙය යමක ප්‍රාතිහාර්යය නිරූපණය කිරීම සඳහා නෙලූවකි. එහි ග්‍රීක දෙවියන්ගේ මුහුණුවර දක්නට නැත. වඩාත් වටකුරු වූ මුහුණක් ද ධ්‍යානානුයෝගී ව සෘජු ලෙස තබාගත් හිසක් ද එකට බැඳුණු කෙටි හිස කෙස් ද, ඇඟටම ඇළුණු සිවුරක් ද “බේග්‍රම්” හි බුද්ධ ප්‍රතිමාවෙහි දැක් වේ.

“තඛ්තීබාහි” නම් ස්ථානයේ තිබී සොයාගත් සමාධි ප්‍රතිමාව

මෙය භාවනානුයෝගී බුදුරජාණන් වහන්සේ දැක්වීමට නෙළන ලද්දක් නොවේ. මෙහි අත් පිහිටා තිබෙන ආකාරය අනුව පෙනෙනුයේ දහම් දෙසන අවස්ථාවක් දක්වන පිළිමයක් බව ය. අනෙකුත් ගන්ධාර ප්‍රතිමා මෙන් මෙය හිටි පිළිමයක් නො වීම මෙහි ඓතිහාසික අගය වැඩි කරයි. පළක් බැඳ හිඳගත් අයුරු දැක්වීමට ගත් උත්සාහයක් මෙ මඟින් පිළිබිඹු වෙයි. ඉන්දීය සම්ප්‍රදාය අනුව බුද්ධ ප්‍රතිමාව සෑදීමට ප්‍රථමයෙන් ම ගත් උත්සාහයක් ලෙස මෙය හැඳීන්විය හැකි ය.

ෂා-ජී-කී-ඩේරි හා බීමරාන් යන ස්ථානවල කණිෂ්ක රජු විසින් කරවන ලද ස්තූප කැණීම්වලින් ධාතු කරඬු දෙකක් හමු වී ඇත. ඒවායෙහි නෙළුම් මලක් මත වැඩ හිඳීන බුදුරුව කැටයම් කොට ඇත. එහෙත් ඒවා කලාත්මක බවින් ඉතා නොදියුණු බවක් පෙන්නුම් කරයි. “තඛ්තීබාහි පිළිමය” “බ්‍රේග්‍රම් පිළිමය” “හෝටිමර්දාන් පිළිමය” ගන්ධාර පිළිම අතුරෙන් වැදගත් ස්ථානයක් ගනියි.

ගන්ධාර ප්‍රතිමා අතර බෝධිසත්ත්වයන් වහන්සේ දක්වන පිළිම කිහිපයක් ද ඇත. මින් “බොස්ටන්” කෞතුකාගාරයේ ඇති පිළිමය කලාත්මක නිර්මාණයක් ලෙස ඉතා අගනේ ය. ආභරණවලින් සැරසුණු ඉන්දීය හෝ කුෂාන් රජකු නිරූපණය කරන මෙය ප්‍රමාණයෙන් මදක් මිටි ය. ස්වාභාවික ලක්‍ෂණවලින් යුත් මෙහි දී ද ග්‍රීක හා රෝමන් ආභාෂය නොමඳ ව දිස්වෙයි. බුද්ධ චරිතය හා ජාතක කතා නිරූපණය කරන ගන්ධාර කැටයම් රාශියක් ද හමු වී ඇත. සාංචි, භාරුත් කැටයම්වල මෙන් එකදිගට චිත්‍රාවලියකින් කතාව කීම වෙනුවට රාමුවකින් වෙන්කළ පුවරු තුළ කැටයම් කිරීම ගන්ධාර කලාවේ ලක්‍ෂණය යි.

මහායාන සංකල්පයට අනුව බුදුරදුන් අනෙක් පුද්ගලයන්ට වඩා ශරීරයෙන් විශාල ය. ඒ අනුව ගන්ධාර කැටයම්වල බුදුරුව අනෙකුත් මානව රූප අතුරෙන් විශාලව කැපීපෙනෙන අයුරින් දක්වා ඇත. නිගණ්ඨයකු අසල සිටින බුදුරදුන් දැක්වෙන ගන්ධාර කැටයමේ නිගණ්ඨයාගේ උස ප්‍රමාණය බුදුරදුන්ගේ උකුල තරමට දක්වා ඇත. “ලෝරියාන් තංගෛ” නම් ස්ථානයේ තිබී සොයාගත් බුද්ධ පරිනිර්වාණය දැක්වෙන කැටයම බුද්ධ චරිතය ඇසුරු කොට ඇති ගන්ධාර කැටයම් අතුරෙන් උසස්ම ගණයේ කලා කෘතිය ලෙස කලා විචාරකයෝ පිළිගනිති. එම කැටයමේ පිරිනිවන් පා සිටින බුදුරදුන්ගේ දේහයත් ඒ වටා සිටින අනෙකුත් පුද්ගලයන් අතරත් ශරීර ප්‍රමාණයෙන් විශාල වෙනසක් පෙන්නුම් කෙරේ. මෙහි සම්බුද්ධ පරිනිර්වාණය ඉතා දක්‍ෂ ලෙස සිතුවම් ගතකොට තිබේ. මහා පරිනිබ්බාන සූත්‍රයේ එන වර්ණනා හා සංසන්දනය කර බලන විට මෙම සිතුවමෙහි කලාත්මක වටිනාකම ඉතා ඉහළ මට්ටමක පවතියි.

භාරතීය කැටයම් නිර්මාණය වූයේ කැටයම් මතුපිට සමතලා වන පරිදි ය. එහෙත් ගන්ධාර කැටයම් පසුතලය තුළ වෙන ම සිටින වැඩි ත්‍රිමාණ බවක් පෙන්නුම් කෙරෙයි. එය ග්‍රීක කලාවේ විශේෂ ලක්‍ෂණයකි. එසේම මෙම ගන්ධාර කලා සම්ප්‍රදායේ තවත් විශේෂ ලක්‍ෂණයක් ලෙස යමක් ස්වභාවික අයුරින් දැක්වීමට ගත් උත්සාහය පෙන්වාදිය හැකි ය. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය දැක්වෙන කැටයමෙන් බෝසත් රුව නිරුවත්ව දැක්වීම මෙයට නිදසුනකි.

පොදුවේ ගත් කල ඉන්දීය බෞද්ධ කලාව හා ග්‍රීක රෝමන් කලාව හා මිශ්‍රවීමෙන් ගන්ධාර කලා සම්ප්‍රදාය ප්‍රභවය වුව ද එම මිශ්‍රණය සැමදා එක ලෙස නොපැවතිණ. මුල දී පූර්වෝක්ත බටහිර ලක්‍ෂණ බහුල ව පැවති නමුත් පසුව දේශීය ශිල්පීන් අතින් බුදු පිළිම නිර්මාණයවීමත් සමඟ ම අනුක්‍රමයෙන් එහි ඉන්දීය ලක්‍ෂණ වැඩි වූ බව කිව හැකි ය.

මථුරා සම්ප්‍රදාය

වර්තමාන නවදිල්ලියට දකුණින් යමුනා ගඟ අසබඩ “මථුරා” නගරය පිහිටා ඇත. එකී මථුරා නගරය කේන්ද්‍රස්ථානය කොටගෙන ක්‍රි.පූ. 02 වන සියවසේ බිහි වූ කලාආර “මථුරා සම්ප්‍රදාය” නමින් හැඳීන්වේ. මථුරාව මූර්ති හා කැටයම් කලාව පිළිබඳ වැදගත් මධ්‍යස්ථානයකි. ගන්ධාර සම්ප්‍රදායේ සේ ම මථුරා සම්ප්‍රදායේ ද වැදගත් ම නිර්මාණය බුදුපිළිමය යි. තව ද ගන්ධාර කලා සම්ප්‍රදාය භාරතීය කලා ක්‍ෂේත්‍රයේ වඩාත් ප්‍රචලිත ව ඇතත්, භාරතීය කලා ශිල්ප ඉතිහාසයේ වඩා වැදගත් වන්නේ මථුරා සම්ප්‍රදාය යි. ගන්ධාරයට වඩා දේශීය ලක්‍ෂණ විද්‍යමාන වන මථුරා සම්ප්‍රදාය ඇති වූයේ ගන්ධාර සම්ප්‍රදාය හා සමකාලීනව ම කුෂාණ රාජ්‍ය යුගයේ දී ය. එහෙත් ගන්ධාර කලාවට ලැබුණු ග්‍රීක රෝම ආභාෂය මථුරා කලාවට ලැබී යැයි, සිතීමට අවකාශයක් නැත.

මථුරා කලාව පිළිබඳ ආදි ඉතිහාසයේ වැදගත් ම යුගය වන්නේ කණිෂ්ක රාජ්‍ය සමය යි.

මථුරා සම්ප්‍රදායේ වැදගත්ම කලා නිර්මාණය වූයේ බුද්ධ ප්‍රතිමාව බැව් ඉහත කියැවුණි. විදේශීය බලපෑම් කිසිවක් දිස් නොවන පරිදි පිරිසුදු භාරතීය සම්ප්‍රදායක් නිරූපණය වන ලෙස මථුරා බුදු පිළිමය නිර්මාණය කොට ඇත. එහෙත් ඉහත කියැවුණු පරිදි ගන්ධාර බුද්ධ ප්‍රතිමා නිමවූයේ බටහිර ග්‍රීක-රෝම සම්ප්‍රදාය හා අනුගත ලක්‍ෂණයන් ගෙන් යුක්තව ය. මේ අනුව ප්‍රථමයෙන් ම බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කිරීමේ ගෞරවය ගන්ධාර ප්‍රතිමා ශිල්පීන්ට හිමිවුව ද භාරතීය ලක්‍ෂණයන්ගෙන් යුත් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ මථුරා කලා ශිල්පීන්ට ය.

මථුරා කලාකරුවා බුදු පිළිම නෙළීමට මුල් ආකෘතිය වශයෙන් ගෙන ඇත්තේ ඒ වනවිට දේශීය කලා සම්ප්‍රදායේ පැවති පැට්නා, පාර්ඛම්, බෙස්නගර් වැනි ස්ථානවල දක්නට ලැබෙන යක්ෂ රූප බව පැහැදිලිව ම තේරුම් ගත හැකි ය.13

ගන්ධාර ප්‍රතිමා ශිල්පය මගින් සිදුකෙරුණේ හුදෙක් ශාරීරික අලංකාරයෙන් යුත් මිනිසකු නිරූපණය කොට දැක්වීමයි. එහෙත් මථුරා බුද්ධ ප්‍රතිමාව සකස් කෙරුණේ බෞද්ධ පොතපතෙහි එන වර්ණනා මුල්කොටගෙන ය. එබැවින් මථුරා සම්ප්‍රදාය මඟින් ශාරීරික ලක්‍ෂණ මෙන් ම ආධ්‍යාත්මික ගුණාංග ද පිළිබිඹු වන අයුරින් බුදු පිළිම නිර්මාණය කෙරිණ. ත්‍රිපිටක සූත්‍රාගත දේශනාවන් හි විග්‍රහවන පරිදි බුදු සිරුර දෙතිස් මහා පුරුෂ ලක්‍ෂයන්ගෙන් හා අනුව්‍යංජන අසූවකින් යුක්ත විය. මේ ලක්‍ෂණ සියල්ලක් ම ප්‍රතිමාවක් මගින් නිරූපණය කිරීම බෙහෙවින් ම දුෂ්කර වුවත් එයින් ස්වල්පයක් හෝ බුදු පිළිමයෙන් මතුකර පෙන්වීමට ගත් උත්සාහයක් පශ්චාත් කාලීන ප්‍රතිමා සම්ප්‍රදායෙන් නිරූපණය වේ. මෙහි දී එම ලක්‍ෂණ පිළිබඳ මූලාශ්‍ර පොතපතෙහි එන කරුණු ගන්ධාර ශිල්පීන්ටත් වඩා ඉහළින් තේරුම් ගැනීමට මථුරා කලා ශිල්පීන් සමත් වී ඇති බැව් පෙනේ. මෙහි දී මථුරා ශිල්පීන් උත්සාහ කළේ බුදුරදුන්ගේ කරුණාගුණය හා ශාන්ත භාවය ප්‍රතිමාවක් මඟින් ඉදිරිපත් කිරීමට ය. එබැවින් මථුරා ප්‍රතිමාවන් හි මුහුණ ශාන්ත ස්වරූපයකින් නිමවා ඇති අයුරු දැක්මෙන් එය වඩාත් තහවුරු වෙයි.

තවද ගන්ධාර ප්‍රතිමාවන් හි බොහෝ විට සිවුරෙන් පාදතල වැසී පවතී. එහෙත් මථුරා ප්‍රතිමාවන් හි ශ්‍රී පතුල් තුළ මහා පුරුෂ ලක්‍ෂණයක් වන “සහස්‍රාර චක්‍රය” දක්වා ඇත. මෙය ද දේශීය ලක්‍ෂණයකි.