Print this Article


රඹුක්පොත චන්දසිරි නාහිමියෝ කුකුළු කෝරළයේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලබති

රඹුක්පොත චන්දසිරි නාහිමියෝ කුකුළු කෝරළයේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලබති

රඹුක්පොත චන්දසිරි නාහිමියන් වෙත ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානය ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පසුගිය 29 වැනි දා මල්වතු මහා විහාරයේ දී පැවැත්විණි

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අති ගෞරවාර්හ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ මල්වතු මහා විහාරයීය සානුනායක කාරක මහා සංඝ සභාව මඟින් කලවාන, නාවලකන්ද ශ්‍රී නිග්‍රෝධාරාමාධිපති විශ්‍රාමික පරිවේණාචාර්ය, රඹුක්පොත චන්දසිරි මාහිමිපාණන් වහන්සේ වෙත “සද්ධර්ම කීර්ති ශ්‍රී පඤ්ඤාසේකර” යන ගෞරව නාමය සහිත කුකුළු කෝරළයේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනමා ඇත.

ඒ පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානය ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු මස 29 වැනි සිකුරාදා මල්වතු මහා විහාරයේ දී ද, අනතුරුව අභිනව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිගැනීමේ මහෝත්සවය මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි, ආචාර්ය, පහමුණේ ධර්මකීර්ති ශ්‍රී සරණංකර සුමංගලාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සම්භාවනීය ගිහි පැවිදි පිරිසකගේ සහභාගීත්වයෙන් අගෝස්තු මස 31 වැනි ඉරිදා කලවාන නාවලකන්ද ශ්‍රී නිග්‍රෝධාරාමයේ දී ද පැවැත්විණි.

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර මැතිවරණ කොට්ඨාසයේ රඹුක්පොත නම් ග්‍රාමයේ දී 1957 මැයි මස 16 වැනි දා උපත ලද අප නාහිමියන්ගේ දයාබර මවුපියන් වූයේ ආර්. එම්. ටිකිරි බණ්ඩාර සහ එම්.එම්. රන් මැණිකේ යන දම්පතීන් දෙපළයි.

නව යොවුන් වයසට එළඹීමෙන් අනතුරුව අප නාහිමියන්ගේ පැවිදිවීම සිදුවූයේ 1977 අප්‍රේල් මස 29 වැනි දා ය. ඒ කලවාන නාවලකන්ද ශ්‍රී නිග්‍රෝධාරාමාධිපති ව වැඩ විසූ වෙම්බියගොඩ පඤ්ඤාසේකර මාහිමියන්ගේ කණිටු ශිෂ්‍යවරයාණන් වහන්සේ ලෙස ය. පසුකාලීන ව අග්ගමහා පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ උන්වහන්සේගේ පැවිදි උපාධ්‍යායන් වහන්සේ වූහ.

අනතුරුව ලක්දිව කීර්තිමත් පිරිවෙණක් වන බෙල්ලන ශ්‍රී ධර්මපාල පිරිවෙණට ඇතුළු වන අපනාහිමියෝ, ප්‍රාචීන ප්‍රාරම්භ සහ මධ්‍යම විභාගයන්ගෙන් සමත් වීමෙන් අනතුරුව ආචාර්යවරයකු ලෙස එම පිරිවෙණෙහි ම සේවයට එක්වූහ. පසුව එහි ම කෘත්‍යාධිකාරී ධුරයේ ද දිගුකලක් කටයුතු කිරීමට පවා භාග්‍යවත් වූහ.

1979 ජුනි මස 06 වැනි දා මල්වතු මහා විහාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට පත් වූ අප නාහිමියෝ, ස්වකීය විහාරස්ථානය වන නාවලකන්ද ශ්‍රී නිග්‍රෝධාරාමයේ අභිවෘද්ධිය සඳහා තම ජීවිතයේ වැඩි කාලයක් කැපකරනු ලැබූහ. ඒ අනුව 1989 වර්ෂයේ දී නාවලකන්ද විහාරස්ථානය කේන්ද්‍ර කර ගෙන පැවති ශ්‍රී ආනන්ද දහම් පාසල (දිගු කලක් තිස්සේ වැසී ගිය) නැවත ප්‍රතිෂ්ඨාපනය කරවා මේ දක්වා ම ප්‍රධානාචාර්ය ධුරයේ කටයුතු කරති.

විහාරස්ථානයට අභිනව දෙමහල් ධර්මශාලා මන්දිරයක් ඉදිකිරීම ආරම්භ කළ අතර, එහි පහළ ශාලාවේ වැඩකටයුතු මේ වන විට සම්පූර්ණයෙන් ම පාහේ අවසන් කරවීමට සමත් වී ඇත. අභිනව රන්වැට සහිත බෝධි ප්‍රාකාරය ඉදිකරවීම, ඉපැරැණි විහාර මන්දිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරවීම ආදිය උන්වහන්සේ විසින් ඉටුකළ කැපී පෙනෙන සේවාවන් වෙති.

ආදර්ශවත් සංඝ ශෝභන ගුණයෙන් අනූන පැවිදි දිවියක් ගත කරන අප නාහිමියෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සිලවත්, ගුණවත් මහ තෙර නමකි. උන්වහන්සේ විසින් ඉටු කරන ලෝක ශාසනික සේවාවන් තවදුරටත් මැනවින් ඉටු කරගෙන යාම සඳහා , මනෝවිද්‍යා උපදේශක, ගොඩාමුණේ විමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ බඹරබොටුවේ පඤ්ඤාසිරි ආයුෂ්මතුන් වහන්සේ යන ශිෂ්‍ය දෙනම සසුනට දායාද කිරීම අප නාහිමියන් විසින් සිදුකළ මහඟු ශාසනික මෙහෙවරක් ලෙස සැලකිය හැකි ය.

මෙවන් වූ ආගමික, ශාසනික හා සාමාජික වශයෙන් මහඟු සේවයක් ඉටුකරමින් අඩසිවසකට ආසන්න කාලයක් ස්වකීය නිකැළැල් පැවිදි ජීවිතය ගත කරමින් වැඩ සිටින ගෞරවාර්හ රඹුක්පොත චන්දසිරි මාහිමිපාණන් වහන්සේ වෙත, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වය මඟින් කුකුළුකෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම ගිහි, පැවිදි අප කාගේත් අමන්දානන්දයට හේතුවකි. උන්වහන්සේගේ උක්ත පදවි ලාභය කලවාන ප්‍රදේශයට ම මහත් වූ ගෞරවයට හේතු කාරණාවකි. “සද්ධර්ම කීර්ති ශ්‍රී පඤ්ඤාසේකර” රඹුක්පොත චන්දසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අභිනව සංඝනායක පදවියේ කෘත්‍යයන් මැනවින් ඉටුකිරීමට රත්නත්‍රයේ ආශීර්වාද බලයෙන් නිදුක්, නීරෝගී සුව සහ දීර්ඝායුෂ ලැබේවා'යි ප්‍රාර්ථනා කරමි.


සුසමාදර්ශි යතිවරයාණන් වහන්සේ නමක්

සබරගමු පළාතේ සත්කීර්තිමත් සංඝපරම්පරාවක් වන කුරුපිට සංඝපරම්පරායත්ත ශාසන මාමක ස්ථවිරයන් වහන්සේ නමක් ලෙස ප්‍රදේශයේ ගෘහස්ථ - ප්‍රව්‍රජ්ජිත උභය පාර්ශ්වයේ ම සම්භාවනාවට පාත්‍රව සිටින රඹුක්පොත චන්දසිරි ස්ථවිරයන් වහන්සේ ප්‍රදේශයේ සමාජීය මෙන් ම ආගමික ප්‍රගමනය උදෙසා සිදුකරන සේවය ප්‍රශංසාර්හ ය.

පරිවේණාචාර්යයන් වහන්සේ නමක් ලෙස ධර්මශාස්ත්‍රොන්නතියෙහි ලා ස්වකීය දායකත්වය ලබා දීමට කටයුතු කර ඇති රඹුක්පොත චන්දසිරි ස්ථවිර ස්වාර්ථ, පරාර්ථ සාධනයෙහි ලා තත්පරව ශාසනික වගකීම් පිළිබඳ මහා අවබෝධයෙන් සිය ආචාර්ය - ප්‍රචාර්යයන් වහන්සේගේ උදාර ශාසන ගමන් මඟ ඔපවත් කරමින් ස්වකීය ආධිපත්‍යය යටතේ පවත්නා විහාරස්ථාන සංවර්ධනය

කරමින් ශාසන චිරස්තිථියෙහිලා ප්‍රතිබල සම්පන්න, ධර්ම - විනය ඤාණයෙන් පිරිපුන් ශිෂ්‍ය පිරිසක් ද සසුනට දායාද කරමින් සිදුකරනු ලබන සේවය තරුණ යතිවර පරපුරට ද සුසමාදර්ශයකි.

අප මල්වතු මහාවිහාරීය ශාසනික සම්ප්‍රදායයන් මනාව ආරක්ෂා කරමින් ගෘහස්ථ - ප්‍රව්‍රජිත උභය පාර්ශ්වයේ ම ගෞරව බහුමානයට පාත්‍රව සුසමාදර්ශී භික්ෂු ජිවිතයක් ගත කරන රඹුක්පොත “සද්ධර්මකීර්ති ශ්‍රී පඤ්ඤාසේකර” චන්දසිරි අභිධාන කුකුළු කෝරළයේ අභිනව ප්‍රධාන සංඝනායක ස්ථවිරපාදයන් හට ඉදිරියටත් උදාර ලෝක ශාසනික චර්යාවෙහි ව්‍යවෘත වන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ආයුරාරෝග්‍ය සම්පත්තිය උදාවේවා’යි ආශිංසනය කරම්හ.