Print this Article


පුහුදුන් සිතට සැබෑ සුන්දරත්වය දැකිය නොහැකිය

පුහුදුන් සිතට සැබෑ සුන්දරත්වය දැකිය නොහැකිය

සියලු සංස්කාරයන් ඇතිව නැතිවන බැවින් ස්ථිර නොවේ. අනිත්‍ය වේ. මේ ඇතිවීම නැතිවීම වශයෙන් පීඩා උපදවන බැවින් දුකයි. සියලු සංස්කාරයන් තමන් රිසි සේ නොපවත්නා බැවින් අනාත්ම යි යනු බෞද්ධ ඉගැන්වීමයි. එනිසා සෞන්දර්යාත්මක වින්දනයෙහි ලා බුදු සමයෙන් මං පෙත් විවර නොවෙයි.

හුදු බුදු දහම සර්ව අශුභ වාදයකැයි චිරන්තනයෙහි සිට පවත්නා ප්‍රලාපයකි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළිබඳ හරි වැටහීමක් නොමැති කෙනෙක් නැඟූ එවන් ප්‍රශ්නයන්ට ප්‍රමාණවත් පිළිතුරු සපයා ඇති බව ද අමුතුවෙන් පෙන්වා දිය යුතු නොවේ.

ක්‍රෝධයේ, කාමයේ, රාගයේ ගිනිදැල් දිදුලන පුහුදුන් මිනිස් සිතකට ලෝකයේ සැබෑ සුන්දරත්වය දැකිය නොහැකියි. ප්‍රපඤ්චගත මිනිස් සිතකට වීතරාගී මිනිසකුගේ දර්ශනය විෂය නොවේ. එහිලා විවාදයක් ද නැත. හුදෙක් මෙහි ලා පැනනැඟෙන ගැටලුව නම් සම්මුති සත්‍ය ඉක්මවූ පරමාර්ථ සත්‍ය තුළින් භෞතික ජීවන තත්ත්වය සිදු නොවේ යන්නයි. බෞද්ධ ඉතිහාසයේ විකාශය සම්බන්ධ ව සිතන විට එය ද නිෂ්ප්‍රභ වන බව සිහපත් කළ යුතු ය.

අපණ්නක හෙවත් නොවරදින කලා රසිකත්වයෙහි ලා ජීවිතය පිළිබඳ අවබෝධ කළ යුතු කරුණු තුනක් මජ්ක්‍ධිම නිකායේ මහා දුක්ඛක්බන්ධක සූත්‍රයේ සඳහන් වේ.

එනම් 1. අස්සාද - ඇලීම හෙවත් රසවිඳීම

2. ආදීනව - රස විඳීමෙන් වන අයහපත

3. නිස්සරණ - එයින් මිදීම

කාමයන්ගේ ආශ්වාදය වශයෙන් ද, ආදීනව ආදීනව වශයෙන් ද, නිස්සරණය නිස්සරණය වශයෙන් ද තත් වූ පරිදි නොදන්නා පුද්ගලයා රසාස්වාදය මැනවින් නොදන්නේ ය. සෑම පුද්ගලයකුම භෞතිකමය දියුණුව පතන්නේ සැපසේ ජීවත්වීමටයි. එහෙත් පතන ආකාරයට සියල්ල සිදු නොවන විට දුක හටගනී. වෙනත් විටෙක සැපසේ ගත් දෙය දුකකට පරිවර්තනය වේ. කෙලෙස් නොනැසුවත් යම් ප්‍රමාණයකට හෝ අවබෝධ කරගන්නේ නම් සංතාපයකට පත් නොවී ජීවත් විය හැකි ය.

කෙසේ වුවත් නාට්‍යය, ගීතය, සාහිත්‍යය, වාස්තු කර්ම, මූර්ති කලාව, චිත්‍ර කලාව ආදී සකලවිධ ක්ෂේත්‍රයන්හි ම පැතිරුණු බෞද්ධ මුහුණුවර පෙළ දහමෙහි අන්තර්ගතයි. සොබාදහමෙහි දායාදයක් වන ගංගා වන ලැහැබි, ගිරිශිඛර මිටියාවත් උයන් වතුවලින් පිරීගිය වෘක්ෂලතා සඳ පහන් රැය, අරුණෝදය, වැසිවලා, මේඝ ගර්ජනා ආදිය මෙන්ම බිතුසිතුවම් මාලා මනහර ප්‍රාසාද ආදියයි. එසේම කලාත්මක වූ නිර්මාණ කාව්‍ය හා නාට්‍ය ආදියෙහි ඇති රමණීයත්වය නිකලෙස් ආචාර්යවරුන්ගේ විප්පසන්න චේතනාවලට ආරම්මණයන් වූ අයුරු පාලි ත්‍රිපිටක ග්‍රන්ථවලින් දැක ගත හැකියි. (නරමානේ බුද්ධරක්ඛිත මා හිමියන්ගේ අදහසයි.)

බෞද්ධ කලාවේ පරමාර්ථය හුදී ජනයා රාගයෙන් මුසපත් කොට වල්මත් කිරීම නොව ඉන්ද්‍රිය සංවරය තුළින් චිත්තාවේග පාලනය කරමින් ලෞකික මෙන්ම පාරලෞකික වූ දියුණුවට මග හෙළි පෙහෙළි කිරීමයි. ලොව ඇති විචිත්‍ර දේ කාමයෝ නොවෙති. එහෙත් යම් පුරුෂයෙක් එබඳු දේ නිසා තම සිතෙහි සරාගික වූ සංකල්පයන් ඇතිකර ගන්නේ නම්, එම සංකල්පයන් කාමය වේ. නුවණැත්තෝ එබඳු විචිත්‍ර දෙයින් ස්වකීය ආධ්‍යාත්මිකත්වය පළුදු නොකර ගනිත් යැයි සංයුක්ත නිකායේ දේවතා සංයුත්තයේ නසන්ති සූත්‍රයේ සඳහන් ය.

නතෙ කාමායානි චිත්‍රානි ලොකෙ
සංකප්ප රාගො පුරිසස්ස කාමො
තිථියන්ති චිත්‍රානි තථෙච ලොකෙ
අථෙත්ථ ධීරා විනයන්ති ඡන්දං

මින් පැහැදිලි වන්නේ රතිය, ආශාව වැනි අප මුළාවට පත් කරන ආධ්‍යාත්මික පරිහානිය ඇති කරවන පහත් ආකල්ප අප සිත් තුළ මිස බාහිර ලෝකයේ සුන්දර වස්තුවල නොවන බවයි.

සෞන්දර්යය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්වල ස්වභාවය කුමක්දැයි කෙටියෙන් දැක්වීම අපහසු ය. කෙසේ වුවත් ඡායාරූපකරණය, චිත්‍රකලාවට අයත් විෂයයකි. බුදුදහමෙහි චිත්‍ර කලාව පිළිබඳ දරණ මතය කුමක්දැයි විනය මූලාශ්‍ර ග්‍රන්ථයන්හි පැහැදිලිව ම සඳහන්ය. පටිභාන (පාලි) හෙවත් ප්‍රතිභාන (සංස්කෘතික) චිත්‍ර ඇඳීම හෝ ඇන්දවීම භික්ෂූන්ට තහනම් කොට ඇත. ලිංගිකත්වය නිරූපණය වන චිත්‍ර ප්‍රතිභාන චිත්‍ර නමින් අදහස් කෙරේ. සිත් සතන් විපිළිසර කරන සරාගී චිත්‍ර ආරාමයන්හි ඇඳීම සුදුසු නොවේ. එහි අනුදැන වදාළේ මාලා කම්ම ලතා කම්ම මකර දත්ත, පංචට්ට යන සිව් වැදෑරුම් චිත්‍රයි.

කලාවන් අතර චිත්‍ර කලාව විශිෂ්ට වන බව බුදු සමය පෙන්වා දෙයි. එය ඇසට ඉලක්කවන බැවින් ද මිනිසා සතු වෙනත් ඉන්ද්‍රියයන්ට වඩා ඇස අරමුණු ගැනීමෙහි ප්‍රමුඛ වන බැවින් ද එසේ දක්වන ලදැයි සැලකිය හැකිය. නිර්මාණ අතරින් නිහඬ හෙවත් වඩාත් විචිත්‍ර වූ චිත්‍රය ලෙස සිත හඳුන්වා දී ඇත. චිත්‍රය වුවද, පළමුව බිහිවන්නේ ශිල්පියාගේ සිත තුළ බැවිනි.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.