Print this Article


වනගොමු මධ්‍යයේ විරාජිත සොඳුරු පින්බිම හඳගල පුරාණ ගල්ලෙන් රාජ මහා විහාරය

වනගොමු මධ්‍යයේ විරාජිත සොඳුරු පින්බිම හඳගල පුරාණ ගල්ලෙන් රාජ මහා විහාරය

හඳගල පුරාණ ගල්ලෙන් රාජ මහා විහාරය බෞද්ධ ඉතිහාසයේ රුව ගුණ කියාපාන තවත් බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස හඳුන්වා දිය හැකි ය. අනුරාධපුරයේ සිට කිලෝමීටර් 50ක් පමණ ගිය තැන කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සුන්දර වන ගොමුවකින් වැසී ගිය මනස්කාන්ත කඳු යායක් මධ්‍යයේ මෙම සිද්ධස්ථානය දැක ගත හැකි ය.

සශ්‍රීක වගා බිම් අතරින් ඈතට දිස්වන පින්බිම හඳගල පුරාණ රාජ මහා විහාරය බව පහසුවෙන් හඳුනාගත හැකි වන්නේ කඳු මුදුනෙහි වැඩ සිටින පිළිම වහන්සේ නිසා ය.

හඳගල විහාරයට ළං වෙත්ම පළමු පියගැටපෙළ පසුකරත්ම, පුරාණ චෛත්‍ය රාජයාණන් වහන්සේ, විහාර මන්දිරය මෙන් ම බොහෝ ඓතිහාසික නටබුන් ද දක්නට ලැබෙන බව කියැවේ.

ගල් ලෙන් 40කට ආසන්න සංඛ්‍යාවක් හඳගල පූජා භූමිය තුළ දක්නට තිබේ. පැරැණි චෛත්‍ය කිහිපයක් ම කැඩී බිඳී ගොස් තිබුණ ද වර්තමානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් පිළිසකර කිරීම සිදු කර ඇත.

පූර්ව බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලියු ලෙන් ලිපි පහළොවක් ද, අපර බ්‍රහ්මීය අක්ෂරයෙන් ලියූ ලිපි දොළහක් පමණ ද විහාර භූමිය තුළ දැකිය හැකි ය.

මුල් කාලයේ හඳගල විහාරස්ථානය ආරණ්‍ය සේනාසනයක් ලෙස පැවති හෙයින් කමටහන් වඩන ලද භික්ෂූන් වහන්සේ වැඩ වෙසෙන්නට ඇතැයි සැලකිය හැකි බවට සාක්ෂි වේ. ළඟාවීමට අතිශයින් දුෂ්කර වූ ස්ථානවල පවා කටාරම් කෙටූ ගල්ලෙන් පැවතීමෙන් ඒ බව මනාව පසක් වේ. “හඳගල” විහාර යන්න පාලි භාෂාවට නැඟූ කල “චන්ද්රගිර විහාරය”යි.

ඒ බව ලලාට ධාතුවංසයෙහි හා සිංහල ධාතුවංසයෙහි සඳහන් කරුණු මඟින් පැහැදිලි වේ. එහි සඳහන් වන පරිදි දේවානම්පියතිස්ස රජුගේ බාල සොහොයුරු වූ “උපරාජ මහානාග“ විසින් චන්ද්රගිරි එනම් සඳගිරි විහාරය කරවා ඇති බව පැවසෙයි.

තැනිතලාවට පසුව හමුවන චන්ද්ර පාෂාණය එනම් “සුදු පැහැයට හුරු” ලෙස පෙනෙන අතර මෙයට උදාගිරෙන් පායා එන අවරගිරෙන් බැස යන චන්ද්ර මණ්ඩලය වැටීම නිසා හඳගල වූ බව ජනප්‍රවාදයේ එයි. මහාචාර්ය විමල් විජේරත්න මහතා ද ඒ බැව් සනාථ කර ඇත.

හඳගල පූර්ව කාලයේ සිට එනම් අනුරාධපුර මුල් කාලයේ සිට වැදගත් තැනක් හිමි කරගෙන ඇති බව ද සඳහන් වේ. මේ පිළිබඳ ශාස්ත්‍රීය වශයෙන් ප්‍රකාශයක් ඉදිරිපත්ව ඇත්තේ බෙල් මහතාගේ වාර්ෂික වාර්තා මඟින් යැයි ද කියැවේ.

හඳගල කන්දේ සෙල් ලිපි රාශියක් දක්නට ලැබෙන අතර, ප්‍රධාන වශයෙන් එහි පිවිසීමට ඇති පාෂාණමය පඩිපෙළ මුදුනෙහි තිබූ දාගැබ හා ගල්ලෙන් පිළිබඳ කරුණු පෙන්වා දී ඇත. මෙම විහාරස්ථානයේ පුස්තකාලයේ පුස්කොළ පොත් එකතුව දිස්ත්‍රික්කයේ පැවති විශාල ම පුස්කොළ පොත් එකතුව බවත්, එයින් විශාල ප්‍රමාණයක් ආගමික ඒවා වන බවත් වැඩිදුරටත් සඳහන් කොට ඇත.

මෙහි දක්නට ඇති ගල්ලෙන් සියල්ලෙහි ම කටාරම් කොටා ඇත. ලෙනක විවෘත උඩ කොටසෙහි කටාරම් කෙටීම තුළින් ලෙන තුළට වැසි ජලය කාන්දුවීම වැළැක්වීමෙන් ලෙන තුළ වැඩ සිටින භික්ෂුවට වැස්සෙන් ආරක්ෂාවීමට හැකි වනු ඇත. ළඟා වීමට දුෂ්කර වූ ස්ථානවල පිහිටි ගල්ලෙන් තුළ පවා කටාරම් කොටා තිබීමෙන් පැහැදිලි වන්නේ එවන් අපහසු ස්ථානවල පවා භාවානානුයෝගී භික්ෂූන් වහන්සේ වාසය කොට ඇති බව ය.

විහාර ගෙයි බිතු සිතුවම් නුවර යුගයට අයත් සේ සැලකේ. මෙහි සූවිසි බුදුවරුන්ගේ ප්‍රතිමා නිර්මාණය කොට ඇත. මෙම සෑම බුද්ධ ප්‍රතිමාවක් ම රැස් වළල්ල හා සිරස්පත සහිත ය.

හඳගලකන්ද පුරාණ ගල්ලෙන් රාජමහා විහාරයේ පුරාවිද්‍යා සාධක මෙන් ම නෂ්ටාවශේෂ විශාල ප්‍රමාණයක් දැකිය හැකි ය. හඳගල ප්‍රදේශය පුරා ඇති පුරා වස්තු ලෙන් ආදි සියල්ල ම යම්කිසි පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුක්ත වූ ඒවා බව සඳහන් ය.

මෙම ඓතිහාසික සිද්ධස්ථානයේ පුරාවත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය හා සම්බන්ධතා දක්වයි. පොලොන්නරු යුගයේ දී මහා විජයබාහු රජු රාජ්‍යත්වයට පත්ව, දිඹුලාගල මහා කාශ්‍යප හිමියන්ගේ ප්‍රධානත්වයෙන් රාමඤ්ඤ මහා නිකාය අරඹා ඇත. එතැනින් ආරම්භ වූ බොදු බලය කෝට්ටේ යුගය දක්වා ම පැවති බව සඳහන් ය. සීතාවක සමයෙන් පසුව රාමඤ්ඤ මහා නිකායේ ශාසනික සේවාව අනුරාධපුරය දක්වා ව්‍යාප්ත වී ඇති බව කියැවේ. ඒ ආකාරයෙන් අනුරාධපුරය තුළ ස්ථාපිත වූ ප්‍රධානතම රාමඤ්ඤ නිකාය පරම්පරාවක් ලෙස “හඳගල සඟ පරපුර” විරුදාවලී ලබා ඇත.