Print this Article


මහාචාර්ය මිදිගම සෝරත නාහිමියෝ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවි ලබති

මහාචාර්ය මිදිගම සෝරත නාහිමියෝ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවි ලබති

වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරය, කැලණිය පට්ටිවිල ශ්‍රී ශෛලාරාමය, සුල්තානාගොඩ ශ්‍රී රාමගිරි පුරාණ විහාරය සහ ඉන්දියාවේ ලක්නව් බෞද්ධ විහාරය ඇතුලු විහාරයන්හි විහාරාධිපති, රුහුණ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය මිදිගම සෝරත නා හිමි වෙත මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක විංශත් වර්ගික කාරක මහා සංඝ සභාව මඟින් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා තිබේ.

වර්ෂ 1956 ජුනි මස 01 වන දින ජන්මලාභය ලැබූ මිදිගම සෝරත නා හිමිගේ දෙමව්පියන් වූයේ මිදිගම ගොඩදෙනියේ විලියම් ජයසේකර මහෝපාසක මහතාණන් සහ ඒ. වික්‍රමසිංහ මහෝපාසිකා මාතාව ය.

ගිහි කල ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ මිදිගම මහ විදුහලෙනි. කුඩා කල සිට ඉතා සැදැහැයෙන් ක්‍රියා කළ හෙයින් වර්ෂ 1967 දෙසැම්බර් මස 22 වැනි දින වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරයේ දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් උන්වහන්සේගේ ආචාර්ය පාදෝත්තමයාණන් වහන්සේ වූයේ වලානේ සද්ධාවාස, පාතේගම නන්දාරාම, වත්තල සීලරතන යන මහා යතිවරයන් වහන්සේ ය.

වර්ෂ 1977 ජුනි මස 26 වැනි දින මහනුවර මල්වතු මහා විහාරීය රාජපූජිත මංගල උපෝසථාගාරයේ දී අධිසීල සංඛ්‍යාත සුපරිසුද්ධෝපසම්පදාව ලැබී ය. මූලික හා උසස් අධ්‍යාපන කඩඉම් ඉතා සාර්ථක ලෙස නිමාවට පත් කළ මිදිගම හිමියෝ තදනන්තරව කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත්, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, රුහුණ විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධියත් ලබා ගත් හ.

පසුව පාසල් ගුරු සේවාවට පිවිසි මිදිගම හිමි අනු/පරසන්ගස්වැව විදුහල, අනු/මාන්කඩවල විදුහල, මාර/පැලෑණ වජිරඤාණ විදුහල සහ වැලිගම සිද්ධාර්ථ බාලක මැදිමහ විදුහල යන විද්‍යාස්ථානයන් හි ධර්මාචාර්යයන් වහන්සේ නමක් ලෙස සේවය කළේ ය. 1989 වසරේ සිට නිල්වලා අධ්‍යාපන විද්‍යා පීඨයේ සහ පසුව නිට්ටඹුව සාරිපුත්ත අධ්‍යාපන විද්‍යා පීඨයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කළේ ය. මෙකී අධ්‍යාපන සේවාව තවදුරටත් පෘථුල අන්දමින් පවත්වා ගෙන යාමේ භාග්‍යය උදාකරගත් මිදිගම නා හිමි ඉක්බිතිව සහකාර කථිකාචාර්යවරයකු ලෙස රුහුණ විශ්වවිද්‍යාලයේ සේවාවන්ට සම්බන්ධවීම ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් ම විය.

ඉක්බිතිව මිදිගම නාහිමියෝ රුහුණ විශ්වවිද්‍යාලයේ ම කථිකාචාර්ය, ජ්‍යෙ‍ෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය, අංශාධිපති, පීඨාධිපති, ප්‍රධාන ශිෂ්‍ය උපදේශක, නියෝජ්‍ය උප කුලපති, වැඩබලන උප කුලපති යන තනතුරු පිළිවෙලින් හෙබවූහ. වර්ෂ 1995 සිට වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරය ප්‍රමුඛ තදනුබද්ධ විහාරයන්හි විහාරාධිපති ධුරය ද ශෝභාවත් කරන මිදිගම නා හිමි එකී විහාරස්ථානයන්හි කලාංග සම්පූර්ණ තත්ත්වයකට පත් කරවීමට ගත් වෙහෙස අපමණ ය.

ගුවන්වදුලි හා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ විචිත්‍ර ධර්ම දේශනා හා සාකච්ඡා රාශියක් පවත්වා ඇති උන්වහන්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රුහුණු සේවය හා ඉතා දිගු කලක් පුරා සිදු කළ “අසපුව” ධර්ම සාකච්ඡා වැඩසටහන සැදැහැවත් අසන්නන් අතර එකල බෙහෙවින් ම ජනප්‍රියත්වයක් ඉසිලී ය. උන්වහන්සේ සිය ශාස්ත්‍රීය නිපුණතාව ප්‍රකට කරමින් “බෞද්ධ අධ්‍යාපන දර්ශනය ධම්මපදය” යන ග්‍රන්ථය ද රචනා කොට තිබේ.

කාලීන සමාජ සේවාවන් රැසකට ද නායකත්වය දුන් මිදිගම නා හිමි මිදිගම තුර්කි ගම්මානයේ සුනාමි ව්‍යාපෘති නිවාස 450ක් ඉදිකරවීමට මූලිකවීම, වරකාපිටිය නිවාස ව්‍යාපෘතිය, උස්ගෙඩිවත්ත නිවාස ව්‍යාපෘතියට ඉඩම් ලබාදීම යනාදී උසස් සමාජ සේවා රැසක් සිදු කළේ ය.

අභිනවයෙන් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිප්‍රාප්ත මහාචාර්ය මිදිගම සෝරත නා හිමි වෙත එකී පදවි ප්‍රදානය අගෝස්තු 22 පස්වරු 2.00 ට මහනුවර මල්වතු මහා විහාරයේ දී ද, පිළිගැනීමේ අභිනන්දන උළෙල අගෝස්තු, 24 පස්වරු 2.00 ට වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරයේ දී ද පැවැත් වේ. අතිපූජ්‍ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ෂිත විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මුලසුන හොබවන මෙම උළෙලට ගිහි පැවිදි සම්භාවනීය ප්‍රභූහු රැසක් එක් වෙති.