කළ කම් පසුපස එන හැටි කියා දුන් සොරපව්වේ යාගය
ඌරුගමුවේ අස්සජී හිමි
රජගහ නුවර දහසය හැවිරිදි පමණ වූ සිටු දියණියකට ඉතා උතුම් වූ රූප සෞන්දර්යයක් පිහිටා
තිබුණි. එම රූප සෞන්දර්යය දකින්නවුන්ගේ සිතේ පැහැදීම ඇති කරවනසුලු ය. එම වයස
සම්පූර්ණ වී සිටි ස්ත්‍රීහු තරුණ බව හේතු කොට ගෙන ඇති වන අහංකාරයෙන් මත් වීම නිසා
පිරිමින් කෙරෙහි ආශා ඇති බව ඇත්තාහු ය.
එබැවින් එම සිටු දියණියගේ මවුපියෝ අය වැරැදි හැසිරීමෙන් වළක්වාලීම සඳහා එක් ගැහැනු
ළමයකු සේවාවට භාර දුන් හ. එසේ භාර දී එම සේවිකාව ද සමඟ තට්ටු හතක් ඇති මාලිගාවෙහි
උඩ තට්ටුවේ ඉතා උසස් ලෙස පිළියෙල කළ අගනා නිදන කාමරයක රූමත් ව ඉපදීම නිසා දඬුවමට
සිරගෙදරට දැම්මා වැනි ව රඳවා තැබූ හ.
මේ අතර දිනක් එක්තරා පුද්ගලයකු සොරකමක් කොට අල්ලා අත් පිටුපසට වන සේ බැඳ ගෙන
කෝටුවලින් පහර දෙමින් මිනිසුන් මරන ස්ථානයට ගෙන යයි. එම සිටු දියණිය මහත් වූ ඝෝෂාව
නිසා “මේ කුමක්දැ” යි, උඩම තට්ටුවෙහි සිට බැලුවා ය. එවිට මැරීම සඳහා ගෙන යන
පුද්ගලයා දැක ඔහු කෙරෙහි සිත බැඳීම ඇති වී ඔහුම ප්‍රාර්ථනා කොට ආහාර ගැනීමකුත් නැති
ව ඇඳට ගොස් වැතිර ගත්තා ය.
නො සතුටු බවින් යුතු ව ඇඳේ වැතිර ගත් බව දුටු ඇගේ මව “ඒ කුමක් නිසා දැ” යි ,
විමසුවා ය. මැරීම සඳහා ගෙන යන පුද්ගලයා දැක ඔහු කෙරෙහි ආදරය ඇති වූ බවත්, ඔහු
ලැබුණොත් හැර නො ලැබුණොත් ජීවත්වීම ස්ථිර නැති බවත් ඇය කීවා ය.
“දියණියනි, එසේ සිතන්නේ ඇයි? ඔබ වැඩි වියට පත් වී සිටින තැනැත්තියක වන බැවින්
නිවෙසේ තබා ගෙන සිටින්නද? කුලය ආදියෙන් ගැළපෙන පවුලකට විවාහ කර දිය හැකිය”යයි, මව
කීවා ය. “මම වෙනත් කිසිම කෙනකුට කැමති නො වෙමි. මොහු නො ලැබුණහොත් මැරෙමි” යි
දියණිය කීවා ය. මව නොයෙක් ආකාරයෙන් කීවද කැමැති කරවා ගැනීමට නො හැකි ව පියාට ඒ බව
දැනුම් දුන්නා ය. ඔහු ද කරුණු කී නමුත් කැමැති කරවා ගැනීමට නොහැකි විය. කළ යුත්තේ
කුමක් දැයි කල්පනා කොට එම සොරා මැරීමට ගෙන යන පුද්ගලයන්ට මසුරන් දාහක් හොරෙන් යවා,”
මෙය රැගෙන ඔහු මරා දමන්නේ නැති ව අප වෙත එවැන්නැ”යි , කියා යැවී ය.
ඔහුත් එයට කැමති වී සොරා සිටුතුමා ළඟට යවා වෙනත් අයකු මරා දමා “සොරා මැරුවෙමු යි,”
රජතුමාට කියා යැවී ය. සිටුතුමා ද තමාගේ දියණියට ඇති ආදරය නිසා දැඩි අකැමැත්තෙන්
වුවත් මරණයෙන් නිදහස් කරගත් සොරාට ඇය විවාහ කොට දුන්නේ ය.
සිටු දියණිය ද එතැන් පටන් සිය සැමියාගේ සිත දිනා ගැනීමට සියලුම ආභරණ පැලඳ සැරසී ගෙන
තමා ම ඔහුට බත් හා ව්‍යංජන පිසීම, කැවීම, පෙවීම, හිස සේදවීම, නෑවීම සිදු කරන්නී ය.
සොරා ද ටික දිනකින් ඇය විසින් කරන ලද උපකාර ද නොසලකා ඇය මරා දමා, ඇයගේ ආභරණ රැගෙන
රා බිබී ඇවිදින අයට විකුණා බලාපොරොත්තු වන දෙයක් අරගෙන කා බී ජීවත් වන්නේ කවර දවසක
දැ යි,” සිතීය.
පසුව ඊට සුදුසු උපායක් කල්පනා කොට ආහාර ගැනීමකුත් නැති ව ඇඳට ගොස් වැතිර සිටියේ ය.
සිටු දියණිය, එතැනට ගොස් “අසනීපයක් දැ”යි, විමසුවා ය. සොරා “අසනීපයක් නැතැ” යි කී
විට “අපගේ දෙමවුපියන්ගෙන් සිත්තැවුලක් ඇති වූ නිසා දැ”යි විමසුවා ය. එයත් “නැතැ”යි
කී විට “එසේ නම් සිත් තැවුලක් ඇත්තේ කුමක් නිසා ද යන බව කියන්නැ” යි කීවා ය.
“සොඳුරිය එදා මැරීම සඳහා රැගෙන යන ගමනේ දී මරණයට පත් කිරීම සඳහා සොරුන් පහළට තල්ලු
කර දමන පර්වතයේ වාසය කරන දෙවියන්ට කන්නලව්වක් කොට ජීවිතය බේරා ගතිමි. ජීවිතය පමණක්
නො ව එම දෙවියන් ගේ ම බලයෙන් මගෙන් කිසිම වියදමක් නැති ව නුඹත් ලදිමි. එම දෙවියන්ට
පූජාවක් සිදු කිරීමට නො ලැබුණු හෙයින් සිත් තැවුලට පත්ව සිටිමි” යි කීවේ ය.
ඒ ඇසූ ඇය “ඒ ගැන නම් කනගාටුවීමට අවශ්‍ය නැත. අපි පූජාව පවත්වමු. අවශ්‍ය කවරක්දැ”යි
විමසුවා ය. ලදපස්මල් සමඟ පැන් නොයොදා සෑදූ කිරි බතක් අවශ්‍ය යැ”යි, ඔහු කීවේ ය. ඇය
ද එය “හොඳ යැ” යි පිළිගෙන සියල්ල ම සකස් කර ගෙන “එන්න එහි යමු” යි කීවා ය. “එසේ නම්
අපි ඉතා වටිනාකමෙන් යුතු වස්ත්‍ර ද ඇඳගෙන ඉතා වටිනාකමෙන් යුතු ආභරණ ද පැළඳගමු.
කෙළිදෙලෙන් යුතු ව සිනාසෙමින් යන ගමනක් නිසා නුඹගේ නෑයන් නතර කොටු යමු” යි ද සොරා
කීවේ ය. ඇයත් දැඩි ලෙස ඔහුගේ සිත දිනා ගැනීමට ම අදහස් කරන හෙයින් ඒ ආකාරයට ම
ක්‍රියාත්මක වූවා ය.
ගලෙහි පාමුලට ගිය විට “සොඳුර, මෙ තැන සිට නුඹ මා හා යන නමුත් අනෙක් අය සමඟ යාමට නො
හැකි ය. බොහෝ දෙනෙක් සමඟ ගිය විට එතැන අපිරිසුදු කරති. එය නතර කිරීමත් අපහසු ය. අපි
දෙදන පමණක් යමු. දෙවියන් පිදීම සඳහා ගෙන යන දේවල් වන නිසා පූජාව නුඹ ම අල්වා ගන්නැ’
යි සොර කීවේ ය.
ඇයත් ඒ ලෙස ම සිදු කළා ය. සොරා ද ඇය කැඳවා ගෙන මරණයට පත් කිරීම සඳහා සොරුන් පහළට
තල්ලුකර දමන පර්වතය මුඳුනට නැංගේ ය. ඒ පර්වතයේ එක් පැත්තකින් මිනිස්සු නඟිති. එක
පැත්තක් පහතට බෑවුම් ව තිබෙන බැවින් පර්වතය මුඳුනේ සිට එතැනින් සොරු පහළට තල්ලු
කිරීම සිදු කරයි. ඔවුහු කෑලි කෑලිවලට කැඩී බිම වැටෙති. එම නිසා එම ගල් පර්වතය “සොර
පව්ව“ නමින් හැඳින්වේ.
සිටු දියණිය ද පර්වතය මුඳුනේ සිට බලි යාගය සිදු කරන්නැයි, කීවා ය. එහෙත් සොරා කතා
නො කරයි. “කතා නො කරන්නේ ඇයි දැ”යි, ඇය විමසුවා ය. “මා මෙතනට ගෙනාවේ ඇයි දැ” යි ඇය
විමසුවා ය. නුඹ මරා දමා ආභරණ රැගෙන පැන යාමට ය” යි, සොරා කීවේ ය.
දැඩි සේ බියට පත් වූ ඇය “හිමියනි, මාත්, ආභරණත් ඔබට අයිති වන කලට මරන්නේ ඇයි ද?
ආභරණත් අරගනු මැනවි, මගෙනුත් බැල මෙහෙවර අරගනු මැනැවැ”යි. කීවා ය.
ඒ කවර ලෙස කියු නමුත් පිළිගන්නේ නැති ව සොරා ඇය මැරිය යුතු ම ය, යන තීරණයෙහි ම
නියැළී සිටියේ ය.
“සිතා බලනු මැනවි. මා මියයාමෙන් ඔබට කිසිම ප්‍රයෝජනයක් නැත. ආභරණ රැගෙන මගෙනුත්
මෙහෙකාරකම අරගනු මැනවැ”යි, නැවත ද ඇය බැගෑපත් ව ඉල්ලා සිටියා ය.
එය ඇසූ සොරා “එලෙස කළ විට නුඹ ගොසින් දෙමවුපියන්ට කියන්නී ය. එවිට මට මහා විනාශයක්
සිදු වන්නේ යැ” යි කීවේ ය. ඉක්බිති සිටු දියණිය මෙසේ සිතුවා ය.
“මොහු කරන්නට යන දේ නම් ඉතා ම නපුරු බව පෙනේ. නුවණ කියන දෙය ඇති වන්නේ පුලුස්සා ගෙන
කෑමට නො ව ප්‍රයෝජන ගැනීම සඳහා ය. මුල දී කවරක් සිතා, කවරක් කළ නමුත් තොට කළ යුතු
දෙය දැන් දැඩි ලෙස සිදු කරමි” එසේ සිතූ ඇය “හිමියනි, එදා මැරීමට රැගෙන යන ආකාරය දැක
දෙමවුපියන්ට කීවෙමි. ඔවුහු මසුරන් දාහක් යවා ඔබව මැරීමට ඉඩ නො දී ගෙන්වා ගෙන මට භාර
දුන්නෝ ය. මම එතැන් පටන් ඔබ සමඟ ඉතා සොම්නසින් වාසය කළෙමි. දැන් මා මරන්නේ යැයි
කියා මට කනගාටු වීමට පිළිවන්ද? කිසිසේත් ම නොහැකි ය. එම නිසා මැරෙන වේලාවේ මගේ හිතේ
හැටියට ඔබට වැඳීමට අවසර දෙන්නැ”යි කීවා ය.
“හොඳයි, සොඳුරිය, වඳින්නැ”යි කියූ සොරා කවර ආකාරයක වඳිනා වැඳීමක් දැ ‘යි නො දැන ඊට
අවසර දී ගල් පර්වතයේ කෙළවර සිටියේ ය.
සිටු දියණිය ද තුන් වාරයක් දකුණු අත ඔහු දෙසට හරවා ඔහු වටා ගොස් සතර තැනක සිට වැඳ
“හිමියනි, මේ අවසාන දැක්ම ය. මෙතැන් සිට ඔබ වහන්සේ මා දැකීමකුත්, මා ඔබ වහන්සේ
දැකීමකුත් නැතැ”යි, කීවා ය. පසුව ඉදිරි පැත්තේ සිටත් සිපගෙන පිටු පස සිටත් සිපගෙන
කුමක් කරන්නේ දැ යි, සිතමින් ගල් පර්වතයේ කෙළවර කිසිම අවධානයක් නැති ව සිටි ඔහු ගේ
පිටුපසට වී එක අතකින් බෙල්ල අල්ලාගෙන අනෙක් අතින් තුනටිය අල්ලාගෙන සොරාගේ ශරීරයේ
බලය තරමට ම තමාගේ ඥානය පිළිබිඹු කරන රැවටීමේ ශක්තිය වැඩි හෙයින් ගල මුදුනෙන් ඔහු
බිමට දැමුවා ය.
තම උගුලට තමා ම හසු වූ ඔහු ගල් පර්වතයෙන් ගිලිහී කෑලි කෑලිවලට කැඩී මිය ගියේ ය
සොරුන් පහළට තල්ලුකර දමන පර්වතයේ වාසය කරන දේවතාවා ඔවුන් දෙදෙනාගේ ම කාර්යය දැක
“සෑම තැනක දී ම පිරිමි උපායන් දනිත් ද? නැත. සමහර ගෑනු ද උපායන් දනිති”යි. කීවේ ය.
ඉක්බිති සිටු දියණිය මෙසේ කල්පනා කළා ය. “මා ගෙදර ගියොත් නුඹගේ ස්වාමිපුරුෂයා කොහි
දැ යි. ගෙදර අය විමසති. එසේ ඇසූ අයට ඔහු මැරූ බව කීවේ නම්, හික්මීමක් නැති
තැනැත්තිය, ඇයි? කහවණු දාහක් යවා ගෙන්වා ගෙනත් ඔහු මැරුවේ දැයි, විමසති. ඔහු මා
මැරීමට ගෙන ගියේ යැයි කීවේ නම් මා මැරීමට හේතුª වූ කාරණා ඔවුහු විශ්වාස නො කරති. එම
නිසා කිසි ලෙසකින් හෝ ගෙදර යාමෙන් ප්‍රයෝජනයක් නැතැ”යි. ඇය සිතුවා ය.
ආභරණ පැලඳගෙන තනියම යාමෙහි ප්‍රතිවිපාක ගැන සැලකිලිමත් වී ඒවා එතැන ම දමා කැලයට
ගොස් පිළිවෙළින් ඒ ඒ තන්හි ඇවිදින්නී ය. එසේ ඇවිද යන අතර පැවිදි කාන්තා පිරිසක්
වාසය කරන ආරාමයක් දැක එහි ගොස් ඔවුන්ට වැඳ “ස්වාමීනි, මා පැවිදි කරන්නේ නම් හොඳ
යැ”යි. කීවා ය. ඔවුහු ද තමා පැවිදි වූ ආකාරයට ම ඇය ද පැවිදි කළහ. පැවිදි බවට පත් වූ
විට සම්පූර්ණ කරන ලද ගුණය ම ප්‍රධාන වන නිසා විශේෂ වූ ගුණයක් ලැබීමට ඇය කැමැති වූවා
ය. එබැවින්
“ස්වාමීනි ඔබ වහන්සේගේ දේශනාවෙහි වඩා වැදගත් දේ කවරක්දැ” යි විමසුවා ය.
පරිබ්‍රාජිකාවෙනි, කසිණ, භාවනා කොට ධ්‍යාන උපදවා ගත යුතු ය. නැතහොත් වාද දහසක් හෝ
ඉගෙන ගත යුතු ය. අපගේ දේශනාවෙහි මේ දෙක උසස් ව තිබේ යැයි, ඔවුහු කීහ.
“හිමියනි, ධ්‍යාන උපදවා ගැනීමට මට නො හැකි ය. වාද දහස ඉගෙන ගනිමි”යි, ඇය කීවා ය.
ඉන් පසුව පරිබ්‍රාජිකාවරු වාද දහස ඇයට ඉගැන් වූහ. උගන්වා අවසන් කොට “අප දන්නා වාද
උගන්වා අවසන් විය. දැන් නුඹ දඹදිව් භූමියෙහි ඇවිද නුඹ හා වාද කිරීමට සමත් කෙනෙක්
බලන්නැ”යි, කියා ඇය අතට දඹ අත්තක් දුන් හ.
“ගිහි කෙනෙක් නුඹ හා වාද කළ හැකි වන්නහු නම් ඔහුට භාර්යාව වන්න. පැවිදි කෙනෙක් වාද
කිරීමට සමත් වූයේ නම් උන්වහන්සේ යටතේ පැවිදි වන්නැ” යි. ද උපදෙස් දුන් හ. ඇය දඹ
අත්ත අතින් ගෙන ඇවිදින නිසා “ජම්බුපරිබ්‍රාජිකාව“ නම් වූවා ය.
පසුව එතැනින් පිටත් වූ ඇය දකින දකින කෙනෙක් හා වාද කරමින් ඇවිද්දා ය. ඇය හා වාද
කිරීමට සමත් කෙනෙක් හමු නො වීය. ඒ ඒ ස්ථානයන් හි මිනිස්සු ජම්බුපරිබ්‍රාජිකාව
පැමිණෙන්නේ ය. යන වචනය ඇසූ විට ම ඇය ගේ නමට දුර දීම බිය වී පැන යති. ඇය ගමකට හෝ
විශාල ගමකට පිඬු සිඟා වඩින විට ගමට ඇතුල් වන තැන එක ස්ථානයක වැලි ගොඩක් ගසා අත්ත
එහි සිටුා “මා හා වාද කිරීමට සමත් කෙනෙක් දඹ අත්ත පයින් පාගනු මැනවැ”යි, කියා ගමට
පිඬු සිඟා යන්නී ය. වාද කිරීම තබා අඹ අත්ත ළඟටවත් යා හැකි අය නැත. පරිබ්‍රාජිකාව ද
එම අත්ත මැළ වී ගිය විට වෙනත් දඹ අත්තක් සොයා ගන්නී ය.
මේ ආකාරයට ම ඇවිදිමින් සැවැත් නුවරට ගොස් නුවර ප්‍රධාන දොරටුව අසල දඹ අත්ත සිටුවා
පෙර සේ ම කොන්දේසියක් කොට පිඬු සිඟමින් නුවරට ඇතුළු වූවා ය. ගමෙහි දරුවෝ දඹ අත්ත වට
කර ගෙන සිටියහ.
සැරියුත් මහ තෙරුන් වහන්සේ පිඬු සිඟා වළඳා නුවරින් නික්මෙන විට දඹ අත්ත පිරිවරා ගෙන
සිටි කුඩා අය දැක” මේ කුමක්දැ”යි. විචාළ සේක. කුඩා ළමයි මහ තෙරුන් වහන්සේට ඒ පුවත
කීහ.
“එසේ නම් නුඹලා දඹ අත්ත පාගන්නැ”යි උන්වහන්සේ වදාළහ. ඔවුහු “බිය ඇත්තෙමු” යි කීහ.
එවිට උන්වහන්සේ “වාද කිරීම අපට අයිති ය. නුඹලා අත්ත පාගන්නැ”යි කීහ. මහ තෙරුන්
වහන්සේගේ වචනයෙන් ඔවුහු ඇති කර ගත් උත්සාහයෙන් යුක්ත ව අත්ත පාගා හඬ නංවමින් දූවිලි
උඩට නංවාලූහ. පරිබ්‍රාජිකාව පැමිණ එය කුඩා අය විසින් ම කරන ලද දෙයක් යැයි සිතා කතා
කොට දොස් කියා,
“නුඹලා හා මා කරන වාදයක් නැත. කුමක් නිසා අප ගේ දඹ අත්ත පෑගුවේ දැ” යි ඇසුවා ය.
“මහ තෙරුන් වහන්සේගේ වචනය නිසා අත්ත පෑගුවෙමු” යි කුඩා අයකී හ. උන් වහන්සේ එම
ස්ථානයෙහි ම වැඩ සිටි බව දුටු ඇය
“ස්වාමීනි, ඔබ වහන්සේ ද අත්ත පෑගූ සේක්දැ”යි. විමසුවා ය.
උන් වහන්සේ ද ඇය ගේ එම වචනයට “නැඟණිය, එය එසේම යි. අපි අත්ත පෑගුවෙමු” යි. පිළිතුරු
දුන් හ. “දඹ අත්ත පෑගුවාක් මෙන් ම මා හා වාද කරන්නේ නම් හොඳ යැ”යි ඇය කීවා ය.
“හොඳයි, වාද කරමු” යි. උන්වහන්සේ කී හ. පරිබ්‍රාජිකාව ප්‍රශ්න විචාරීම සඳහා සවස්
කාලයෙහි සැරියුත් මහ තෙරුන් වහන්සේ වැඩ සිටින ස්ථානයට ගියා ය. මුළු නුවර ම අසුරයන්
කඩා වැදුණූ දිව්‍ය ලෝකයක් මෙන් ශෝභාවත් විය. දෙපැත්තේ කතා ඇසීම සඳහා නුවර වාසය කළ
මිනිස්සු පරිබ්‍රාජිකාව හා සමඟ ම ගොස් මහ තෙරුන් වහන්සේට වැඳ එක් පැත්තකට වී
සිටියහ. පරිබ්‍රාජිකාව මහ තෙරුන් වහන්සේ අමතා
“මම ප්‍රශ්නයක් විචාරමි” යි කීවා ය. කල් දමන්නේ කුමකට ද? විමසන්නැ”යි, උන්වහන්සේ
කීහ. ඇය තමා ඉගෙනගත් වාද දහස ම විමසුවා ය. මහ තෙරුන් වහන්සේ ඒවා විසඳා දුන් සේක.
ප්‍රශ්න විසඳා අවසන් කර “නුඹ විමසන ප්‍රශ්න මෙ පමණද? තවත් ප්‍රශ්න තිබේදැ”යි, ද
විමසූහ.
ඇය තමා ඉගෙන ගත් වාද ඒ පමණක් ම නිසාත්, එයින් ම සෑහීමකට පත්ව ඇවිද්ද පමණ ම වන
නිසාත්, ඊට අමතරව ඉගෙන ගත් දෙයක් නැති නිසාත්, ප්‍රශ්න සකස් කොට විමසීමට හැකියාවක්
නැති නිසාත්, ප්‍රශ්න එපමණ කැ”යි කීවා ය.
“ඔබ මගෙන් බොහෝ ප්‍රශ්න විචාළෙහි ය. මමත් ඒවාට පිළිතුරු දුන්නෙමි. ඔබ ගෙන් මම බොහෝ
ප්‍රශ්න නො අසමි. ඉතා ස්වල්පයක් අසමි. එයට පිළිතුරු දෙන්නේ දැ”යි, උන්වහන්සේ විමසූ
හ.
“හිමියනි, අසනු මැනවැ”යි, ඇය කීවා ය.” දේශනා කරන ලද එකක් විමසන්නැ’යි කී නිසා එය
තේරුම් ගෙන “එක නම් කවරක්දැ”යි. උන් වහන්සේ විමසූහ. ඇය තමා බාහිර ශාස්ත්‍ර ඉගෙන ගත්
නමුත් බුදු සමය නො දන්නීය. එබැවින් විමසු ආකාරයට විසඳුම් ලබා දීම නො දැන “හිමියනි,
ඒ කුමක්දැ”යි, ඇසුවා ය.
“පින්වත් පරිබ්‍රාජිකාවෙනි, එය බුදුන් වහන්සේගේ ප්‍රශ්නයකැ’යි. උන්වහන්සේ කී හ. ඇය
ධර්මය ඉගෙනීමේ ආශාව ඇති නිසා “හිමියනි, එය මටත් උගන්වන්නේ නම් හොඳ යැ”යි කීවා ය.
“බුදුන් වහන්සේ පවා තමාගෙන් දායාද ඉල්ලූ රාහුල කුමරුට අප වාගේ වී දායාද ලබා
ගන්නැ’යි, දේශනා කළහ.
නුඹත් අප වාගේ වූයේ නම් මම නුඹට දායාද දෙමි”යි, උන්වහන්සේ වදාළ හ. එසේ නම් මා මහණ
කරන්නේ නම් හොඳ යැ”යි, ඇය කීවා ය.
මහ තෙරුන් වහන්සේ ඇය මෙහෙණිවරුන්ට කියා මහණ කර වූ හ. ඇයත් මහණ වී උපසම්පදාව ලබා
කුණ්ඩලකේසී ස්ථවිරි බවට පත් වූවා ය. පසුව කිහිප දිනයකින් ම අර්ථ, ධර්ම, නිරුක්ති,
ප්‍රතිභාන සහිත රහත් බවට පත් වූ ඇය කලින් මරණයෙන් ගැලවුණාක් මෙන් ම සංසාර දුකින් ද
ගැලවුණා ය.
ධර්ම ශාලාවේ රැස් වී සිටි භික්ෂූන් වහන්සේ “කුණ්ඩලකේසි බොහෝ කොට බණ නො ඇසුවා ය.
එහෙත් රහත් බවට පත් වූවා ය. එක් සොරෙකු හා යුද්ධ කොට ඔහුත් පරදා ජය ගත්තා යැ”යි කතා
බහ කළ හ. දෙව්ලොවට හා නිවනට බාධා කරන කතාවක් නො වන නිසාත්, යම් තැනකට රැස්වූ අය
විසින් නිශ්ශබ්ද ව සිටිම හෝ දැහැමි කතා බහ සිදු කිරීම සුදුසු වන නිසාත්, උන්වහන්සේ
ඒ ගැන කතා කරමින් සිටිය හ. පසුව බුදුරජාණන් වහන්සේ එම ස්ථානයට වඩම වූ හ. භික්ෂූන්ගේ
එම කතා බහ ගැන දැන ගත් උන්වහන්සේ,
“මා දේශනා කළ ධර්මය ටිකක් යැයි, කියා හෝ බොහෝ යැයි කියා හෝ නො කියන්න. යම්කිසි
කෙනකු රජවරුන් ගැන හෝ සොරුන් ගැන හෝ කතා කිරීම ආදී වූ ප්‍රයෝජනයක් නැති කරුණුවලින්
යුක්ත ව සිය ගණනක් කතා කීමට දක්ෂ වූයේ නමුත් එයින් මෙලොවට හෝ පරලොවට හෝ කිසිම
ප්‍රයෝජනයක් නැත. එක ගාථාවක් හෝ අසා සත්ත්වයෝ නිවන් දකිත් නම් එය ම යහපත් ය.
යම්කිසි කෙනෙක් දස දහසක් පමණ වූ සතුරු පිරිසක් සමඟ සටනට ගොස් සටන් බිමේ දී තමා
බලසම්පන්න වන නිසා ඔවුන් සෑම දෙනා ම පරාජය කොට තමා ම ජය ලබා ගනිත් ද? ඒ ගැන සිතන
අයට එය හොඳ දෙයක් ලෙස පෙනෙන නමුත් එයට සටනෙහි වටිනාකමක් නැත. යම් කෙනකු, දහවල්
රාත්‍රී වාසය කරන ස්ථානයන්හි, කර්මස්ථාන සිහි කරමින් දින ගණනාවක් හෝ සිට රාග හෝ
ද්වේෂ යනාදි කෙලෙස් නමැති සතුරන් පරාජය කොට නිර්වාණ රාජ්‍යය ලබා ගත්තේ නම් සටන ජය
ගත් සෑම දෙනකුට ම වඩා ඔහු උතුම් වේ යැ” යි දේශනා කළ හ.
දේශනාව අවසානයේ දි බොහෝ දෙනෙක් සෝවාන්, සකෘදාගාමී, අනාගාමි හා අරහත් යන තත්ත්වයනට
පත් වූ හ. එම නිසා බුද්ධිමතුන් විසින් වෛරී සටන් හා අනෙකුත් සටන් අත්හැර සෝවාන් ආදී
මාර්ගඵල පිළිබඳ ව වටහා ගැනීමේ නුවණ ගෙන දෙන විදර්ශනාව නම් වූ කඩු ගෙන ක්ලේෂ ධර්ම
නමැති සතුරන් සමඟ සටනෙහි ම නියුක්ත වී සිටිය යුතු ය. |