Print this Article


බුදු දහමෙහි අගය කරන නිහඬ බව

බුදු දහමෙහි අගය කරන නිහඬ බව

නිසරු කතාබහින් හා බොහෝ කොට කතා කිරීමෙන් විය හැකි අවැඩ නිබඳව ම පෙන්වා දෙන බුදු දහම පුද්ගලයාගේ වාචසික ශීලය අරබයා දක්වන්නේ නොමද උනන්දුවකි.

පෙළ දහමෙහි අප විසින් භාෂණයෙහි ලා නොකළ යුතු, වැළකිය යුතු අන්දම මෙන් ම කළ යුතු, පිළිපැදිය යුතු අන්දම ද පෙන්වා දී ඇත්තේ ඉතා සිත්ගන්නා අයුරිනි.

හේ බොරුකීම දුර ලා බොරු කීමෙන් වැළැකේ. ඇත්ත කියන්නේ, ඇත්තෙන් ඇත්ත ගළපා කියන්නේ, තහවුරු ව පිහිටා කතා ඇත්තේ, පිළිගත යුතු කතා ඇත්තේ ලොව නොරවටන්නේ වෙයි. හේ කේලාම් කීම දුරලූයේ ඉන් වැළැකුණේ වෙයි. මෙතැනින් අසා මොවුන් බිඳවනු පිණිස එතැනින් නොකියන්නේ, එතැනින් අසා ඔවුන් මොවුන්ගෙන් බිඳවනු පිණිස මෙතැන නොකියන්නේ, බිඳුනවුන් සමඟි කරන්නේ, සමගියට අනුබල දෙන්නේ, සමඟි වූවන් හා වාසය කැමැත්තේ, සමගි ව වසන්නන්ට කැමැති වන්නේ, සමගිය ඇති කරන වචන කියන්නේ වෙයි.

බොහෝ දෙනාට පි‍්‍රය මන වඩන යම් වදනක් වේ ද, එබඳු වදන් කියන්නේ වෙයි. මෙය ද ඔහුගේ ශීලයෙක් වේ.

මේ අනුව අවැඩදායක වූ කතාවෙන් වැළකී, වැඩදායක වූ කතාවෙන් යුක්තවීම ම සුභාෂණය වන්නේ ය. එය මංගල කරුණකි. අවැඩ කතාබස් කිරීමට වඩා නිහඬ ව සිටීම යහපත් යැයි බුදුරදුන් වදාළේ එබැවිනි.

යමක් පිළිබඳ ව විමසූවිට, නොවේ නම් යම් ගැටලුවක් උපන් විට කිසිදු අදහසක් නොපැවසීම එනම් නිහඬ ව සිටීම ද ඇතැමුන්ගේ පිළිවෙතක් වෙයි. එහෙත් විටෙක එසේ නිහඬවීම ද උපන් ගැටලුව පිළිබඳ ව සුවිශේෂී වූ අදහස් පළ කිරීමකැයි කිව හැකි ය. ඒ ගැඹුරු පිරිපුන් නිහඬකමයි. එක් විදියෙකින් එය එක්තරා හරබර දාර්ශනික පිළිවෙතකි. නිහඬ ව සිටීමේ තවත් පැත්තක් ද තිබේ. ඒ හිස්බව මුල් කොටගෙන ය. යම් ගැටලුවක දී දිය යුතු පිළිතුරක් නොදන්නා බැවින් ද කෙනකු නිහඬ විය හැකි ය. සංවර බව, ශික්ෂණය නොවේ නම්, හැකියාව තුළින් ද නිහඬ ව සිටීම සිදු වෙයි. එය සදාචාරාත්මක නොවේ නම්, සංස්කෘතික ස්වරූපයක් ගනී. ඉහත කී දාර්ශනික නිහඬත ම මෙන් ම සංස්කෘතික නිහඬකම ද බුදුදහම තුළින් ද දැක ගත හැකි ය.

කිසියම් ගැටලුවක දී කිසිදු අදහසක් පළකර සිටීම බොහෝ විට හඳුන්වනු ලබන්නේ “මුනිවත” යනුවෙනි. “වත” නම් පිළිවෙතයි. වෘත්තියයි. “මුනිවත” යනු මුනිවරයාගේ පිළිවෙත ය. එය නිහඬකම ලෙස සැලකීම බුදුදහමට අදාළ නොවේ. බුදුන් වහන්සේ වදාළ මුනි පිළිවෙත නොවේ. අඥාන බව එනම්, මෝඩකම තුළින් ද නිහඬකම උපදනේ ය. එය හිස් නිශ්ශබ්දතාවයි. කළය හිස් වූ විට ද නිහඬ ය. මුනිවරයකුගේ පිළිවෙත සවිස්තරව දක්වන සුත්ත නිපාත මුනි සූත්‍රය කිසි විටෙකත් මුනිවත නම් නිහඬකම යැයි දක්වා නැත. සියලු කෙලෙස් නසා උසස් ශීලාදි සංවරයෙහි පිහිටීම එහි මුනිවරයාගේ පිළිවෙත හෙවත් මුනිවත සේ දැක්වෙයි.

මුනිවත කුමක් දැයි පැහැදිලි කරන තවත් අවස්ථාවක් ධම්මපදයෙහි දැක ගත හැකි ය. තරාදියක් අත දරන්නකු මෙන් යහපත අයහපත කිරා බලා තේරුම් ගත හැකි බව, එසේ තේරුම් ගෙන අයහපත සලසන පව් දුරු කිරීම මුනිවත වන්නේ යැයි එහි දැක්වෙයි. මේ අනුව මුනිවත හෙවත් මුනිවරයාගේ පිළිවෙත යනු නිහඬකම යැයි කීම බුදුදහමට අදාළ නොවන්නකි.

කරුණු එසේ වුව ද ජීවිතය පුරා කිසිදිනෙක කිසිවක් නොපවසන ගොළුවකු සේ සිටින, එය උතුම් සීල ව්‍රතයකැයි පිළිගත් ඇතැම් මහණ බමුණෝ බුදුන් දවස විසූහ. කතාබස් නොකිරීම ඔවුන්ගේ එකම ශීලය වූ අතර, එය ඉතා උතුම් ශීලයකැයි සලකා ඔවුන්ට ගරු සත්කාර කළවුන් සිටි බව ද පෙනේ. එහෙත් එය මුනිවරයකුගේ පිළිවෙත නොවන බව ද, හුදෙක් නිහඬ ව සිටීමෙන් ම මුනිවරයකු නොවන බව ද බුදුන් වහන්සේ වදාළහ. එසේ වතක් සේ ගත් නිහඬකම (මොනෙය්‍ය පටිපදාව) වූ කලි භික්ෂූන්ට ද තහනම් කරන ලද්දකි.

එහෙත් ගිහි පැවිදි කිසිවකුත් සමඟ කිසිවක් කතා නොකර හුදෙක් නිහඬව ම වස් තුන් මාසය තුළ පිළිවෙත් පිරීමට ම ගිවිසගත් ඇතැම් භික්ෂූන් ගැන අටුවාවෙහි ද සඳහන් වෙයි. පෙර ලක්දිව වූ සිදුවීමක් ලෙස එය වාර්තා වෙයි. වස් එළඹෙන දවසේ මේ භික්ෂූහු තමන් රහත් වන තෙක් එකිනෙකා සමඟ කතාබහ නොකිරීමේ ගිවිසුමක් ඇති කර ගත්තේ ය.

පිඬුසිඟා ගමට වඩින විට ඔවුහු කතාබහ වළකා ගැන්මට කටෙහි වතුර පුරවා ගෙන ගියෝ ය. යමකු දිනය හෝ වෙනත් යමක් මඟ දී ඇසුවහොත් පමණක් ම පිළිතුරු දුන්හ. මේ පිළිවෙත නම් වැසියන්ගේ පුදුමයට හේතු විය. මේ භික්ෂූන් වහන්සේ එකිනෙකා සමඟ කතා බහ නොකරන බැවින් උන්වහන්සේ සණ්ඩු දබර ව, අමනාප ව සිටිතැයි සිතූ ගැමියෝ කිහිප දෙනෙක් උන්වහන්සේ සමඟි කිරීමට දිනක් ආරාමයට ද ගියෝ ය. භික්ෂූන් වහන්සේ දෙනමක් එකතැන නොවසන බව ද ඔවුන් එක්තරා පිළිවෙතක් නිසා ම කතාබහින් වැළකී සිටින නමුදු විහාරය පවා අතුපතු ගා ඉතා හොඳින් පවත්වා ගෙන යන බව ද ගැමියෝ තේරුම් ගත්හ. මෙසේ දැඩි අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් සභා ශීලත්වය හැර දමා පිළිවෙතට ම යොමු වූ ඒ භික්ෂූන් වස් කාලය අවසන් වන විට රහත් වූ බව ද අටුවාව කියයි. මේ අනුව උසස් අරමුණක් ඇති අර්ථවත් නිහඬකම සැබැවින් ම ඵලදායක ය.

බුදුදහම අනුව ගිහි පැවිදි දෙපිරිසගේ ම ආධ්‍යාත්ම චරිත සංවර්ධනයට හානිකර වූ හිස් කතා දෙතිසකි. රාජ කතා, චෝර කතා, මාලා කතා දී වශයෙන් ධර්ම විනයෙහි ඒවා දක්වා තිබේ. එබඳු ප්‍රලාප, හිස්බස් දෙඩීමට වඩා නිහඬ ව සිටීම හොඳ යැයි උගන්වා ඇත. එක්කෝ දැහැමි කතාවක නිරත විය යුතු ය. නැත්නම් නිහඬ ව සිටීම හොඳ යැයි සිය ශ්‍රාවකයනට උන්වහන්සේ අවවාද කළහ. බුදුරජාණන් වහන්සේ එවන් හිස් දේ කතා නොකරන, අනවශ්‍ය ඝෝෂා පි‍්‍රය නොකරන, නිහඬ ශාස්තෘවරයකු ලෙස ද ප්‍රකාශ ව සිටි බව පෙනේ. දුරින් ම සිට ආරාමයට වඩින බුදුරජාණන් වහන්සේ දුටු පොට්ඨපාද මහ ඝෝෂා නඟමින් සිටි සිය පිරිස නිහඬ කළේ ය. භවත්නි නිහඬ වන්න. හඬ නොනඟන්න. නිහඬ බව කැමැති එහි ගුණ කියන බුදුරජාණන් වහන්සේ වඩිති. අපගේ නිහඬ බව දැක උන්වහන්සේ මෙහි වැඩම කළහොත් අපට මහත් ලාභයෙකි’යි හෙතෙම ඔවුනට කීවේ ය. ඒ පුවත පොට්ඨපාද සූත්‍රය වර්ණනා කරයි.

බුද්ධ ශ්‍රාවක භික්ෂුහු ද බුදුරජාණන් වහන්සේ හමුවෙහි අතිශයින් ම නිහඬව සිටියහ. භාග්‍යවතුන් වහන්සේ නොයෙක් සිය ගණන් පිරිස්හි දහම් දෙසන තැන ඒ පිරිස තුළින් කිවිසුම් හඬකුදු, කාරන හඬකුදු නො ඇසෙයි. එබඳු විටෙක එක් ශ්‍රාවකයකු උගුර පෑදුවේ ය. තවත් භික්ෂූන් වහන්සේ නමක් දණින් ඇන ඔහු නිහඬ කළේ යැයි බුදුරජාණන් වහන්සේ හමු වූ කොසොල් රජු බලවත් ප්‍රසාදයෙන් පැවසූ සැටි ධම්ම චේතිය සූත්‍රය කියයි. මෙහි නිහඬ බව යන්නෙන් සැලකෙනුයේ බුදුරජාණන් වහන්සේ දහම් දෙසද්දී මනා හැදියාවකින් තැන්පත් ව, අනවශ්‍ය ඝෝෂා නොකර බණ ඇසීමය. කුඩා දියපහර හඬ නඟමින් ගලා යයි. මහා ගංගාවෝ නිහඬව ම ඇදී යති. යම් තැනක නොපිරුණු හිස් බවක් වේ ද එතැනින් හඬ උපදියි. යමක් පිරිපුන් ද, ගැඹුරු ද එය නිහඬ ය. ඵලදායක ය. මෝඩයා අඩක් පිරුණු කළයක් වැනි ය. පණ්ඩිතයා මනාව පිරුණු විලක් වැනි යැයි බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවක නාලක හිමියන්ට වදාළහ.

කෙටි දුරක සිට ගලා එන කුඩා දිය පහර වූ කලි අවම අත්දැකීම් ඇත්තකි. බොළඳ ය. ළා බාල ය. එහෙත් ඒ කුඩා ජල පහරෙහි හඬ ගිගුම් දී ඇසෙයි. මහ ගඟ ගලා එන්නේ බොහෝ දුර සිට ය. ඒ එන ගමන් මඟ දී එය ලබන අත්දැකීම් බොහෝ ය. එය බොහෝ අතු ගංගාවලින් පෝෂණය ලබයි. විටෙක තැලෙයි. විටෙක ලිහිල් වේ. විටෙක ඇඹරෙයි. විටෙක දිග හැරෙයි. ජලපතර නැඟෙයි. වැටෙයි. තෙරපෙයි. ඇත්තේ මහ ජල කඳකි. නිහඬ සුවිසල් ගොඩනැඟිලි ද ඇති මහ නගර ද පසු කොට, විවිධ සතුන්, ගහකොළ මෙන් ම මිනිසුන් ද ඇසුරු කරමින් ගලායන මහ ගංගාවනට ඇත්තේ දිග පළල ඇති විවිධ විචිත්‍ර සංකීර්ණ අත්දැකීම් සම්භාරයකි. එබැවින් ම එය නිහඬ ය. පැසුණු බව ඇති හෙයිනි. පිරිපුන් බව ඇති බැවිනි. සිය ශ්‍රාවකයන් එබඳු නිහඬකමක් ඇත්තවුන් වනු දැක්ම බුදුරජාණන් වහන්සේගේ අපේක්ෂාව වූයේ ය.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපිලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි