සැබෑ දිනුම
සිත
දිනීම යි ...
ශාස්ත්‍රපති
විල්ඔය පඤ්ඤාතිලක හිමි
ලෝකය දෙකට බෙදී යුද්ධ කර ගත හොත් එතැන ලෝක විනාශයක් වන බව ස්ථිර යි. මිනිසාට සාමය
ලබා දෙන්නේ ආගම් තුළින් වුවත් මේ යුද්ධයන්හි ගැඹුරුම තන්හි ආගම දැකිය හැකි ය.
වර්තමාන යුද්ධයට ආගම තුළින් ද විසඳුමක් ලැබීම කෙසේවත් සිතිය නොහැක. ඒ එසේ වුවත් ලොව
පහළ වූ උත්තරීතර ශාස්තෘවරයාණන් වන බුදුරජාණන් වහන්සේ යුද්ධය හට ගන්නා අයුරු,
යුද්ධයේ විනාශය, යුද්ධය නිමා කර ගත හැකි ආකාරය ඉතා මැනවින් දේශනා කළහ. මේ අවස්ථාව ඒ
අදහස් කිහිපයක් ඉස්මතු කොට සාමයෙන් පිරි හදවත් අවදි කරවන්නට ප්‍රයත්නයකි.
යුද්ධය සමස්ත පුරවැසියාගේ ප්‍රාර්ථනාවක් නොවෙයි. එය එක් පුද්ගලයකුගේ හදෙහි හටගත්
දෙයකි.ඉන් අනතුරුව අන් අය ඒ සඳහා පෙළඹවීම ඔහු විසින් සිදු කෙරෙයි. නින්දෙන් අවදි වන
කේවට්ට බමුණා තම ඉසුරුමත් භාවය දකියි. සුවඳ තෙල් ගැල්වූ පහන් ආලෝකය, සිරියහනෙහි,
ඇතිරුණ, එල්ලන ලද මල් හා මල් මාලා දකින ඔහුට හිතෙන්නේ මේ සියල්ල රජුගෙන් ලැබුණ දේ
වෙයි. බරණැස් නුවර වැනි කුඩා රාජ්‍යක උපදේශකයකු වශයෙන් මෙවන් සැප සම්පත් තිබේ නම්
බ්‍රහ්මදත්ත රජු මුළු දඹදිවට ම රජ කරවුවොත් කෙ තරම් නම් සැප විඳිය හැකි ද? මෙසේ
සිතන ඔහු රජු හා රාජ්‍යයේ පුරවැසියන් යුද්ධයකට පොළඹවයි.
සියලු යුද්ධවල යථාර්ථය මෙය යි. ඉසුරු මදයෙන් මත් වන මිනිස්සු තම ඉසුරු වැඩිදියුණු
කර ගනු වස් සියලු සතුන් අපහසුවට පත් කොට යුද්ධ කරති. විටෙක යුද්ධයට මහා හේතු නැත.
පාපී සිතිවිලි පවතියි.
කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි විනයධර ධර්මධර භික්ෂූන් අතර අරගලයක් ගොඩනැඟෙයි. පරිභෝජනය
කරන දිය බදුනක දිය ටිකක් ඉතිරිවීම මූල හේතුවයි. එය විනය ගැටලුවක් බව විනයවාදීන්
චෝදනා කිරීමත් සමග ධර්මවාදීන් ඔවුන්ට එරෙහි වෙයි. කුඩා දෙයකින් පටන්ගෙන මහා
කළකෝළහලයක් බවට පත් වෙයි. භික්ෂු පිරිස පමණක් නොව දායක දායිකාවන් ද දෙකට බෙදෙයි.
බුදුරජාණන් වහන්සේට පවා සවන් නො දෙයි. මෙවන් මහා අරගලයක් හට ගන්නේ බඳුනක දිය ටිකක්
ඉතිරිවීම නොවෙයි. සැබැවින් ම මොවුන්ගේ සිත් නැමැති බඳුනෙහි කෙලෙස් දිය පිරී තිබීම
යි. මානය, ඒ තුළින් හට ගත් වෛරය යන නරක චෛතසික මේ කෝලහළය ගොඩනඟයි. යුද්ධ හට ගන්නේ ද
මේ නරක චෛතසික පදනම් කොට ගෙනයි.
මහා දුක්ඛන්දය සූත්‍රයෙහි දී මිනිස් සිතේ ක්‍රියාකාරිත්වය හා ඒ තුළින් යුද්ධ වැනි
දුක්ඛිත අවස්ථාවන්ට පුද්ගලයා මෙහෙය වන ආකාරය දක්වයි.
යුද්ධයට හේතුව මිනිස් හිතේ පවත්නා අතෘප්තිකර ස්වභාවය යි. බුදු දහම මෙය “කාමය”
අර්ථයෙන් පෙන්වා දී ඇත. “නැවත ද මහණෙනි, කාමයන් හේතු කොට ගෙන, කාමයන් නිදාන කොට
ගෙන, කාමයන් කරණකොට ගෙන, කාමයන්ගේ හේතුවෙන් රජවරු, රජවරු සමඟ විවාද කරති. ගෘහපතියෝ
ද ගෘහපතියන් සමඟ විවාද කරති. මව ද, පුතා සමඟ විවාද කරයි. පුතා ද මව සමඟ විවාද කරයි.
පියා ද පුතා සමඟ විවාද කරයි. පුතා ද පියා සමඟ විවාද කරයි. සහයකයා ද සහයකයා සමඟ
විවාද කරයි. ඔවුහු එහිදී කෝලාහල, විරුද්ධකම් හා විවාදවලට පැමිණ ඔවුනොවුන් අතින් ද
පහර දෙති. කැට කැබලිවලින් ද පහරදෙති. පොලු වලින් ද පහරදෙති. ආයුධ වලින් ද පහරදෙති.
ඔවුහු එහිදී මරණයට සමාන දුකකට හෝ පැමිණෙති. මහණෙනි, මේ කාමයේ ආදීනවය යි.
ප්‍රිය බව කැමැත්ත හෙවත් ඡන්දය යි. මිනිසා ලොව ඇති දේ නිත්‍ය අනිත්‍ය වශයෙන් අල්ලා
ගනී. එසේ හඳුනා ගන්නේ පුද්ගලයා හා බාහිර ලෝකය අතර ගැටීම හේතු කොට ගෙන ය. එහි පදනම
නාමරූපයි. මේ අනුව යුද්ධය පවතින්නේ පුද්ගල සන්තානය තුළ මිස අන් කවර තැනකවත් නො වන
බව පැහැදිලි ය. යුද්ධ විරහිත ලෝකයක් නිර්මාණය කිරීමට නම් පුද්ගලාභ්‍යන්තරයේ පවත්නා
යුද්ධය නිමා කළ යුතු ය. බාහිර සියලු යුද්ධවල මුල අභ්‍යන්තර පුද්ගල ස්වභාවය බව
මෙයින් පැහැදිලි වෙයි.
කොසොල් මහ රජුගේ පුත් විඩූඪභ ශාක්‍ය ජනපදය හා යුද වදියි. තම ඤාතීන් බලන්නට යයි. ඔහු
ශාක්‍ය වංශිකයකු නොවෙයි. ශාක්‍ය වංශිකයකුට දාව දාසියකට උපන් අයෙකි. එහෙයින් එළිමහන
දී ඔහු පිළිගන්නා ශාක්‍යයන් ඔහු ඉඳගත් අසුන ද සෝදා ඇති බව දැනගත් ඔහු ශාක්‍ය ජනපදය
ආක්‍රමණය කරයි. මානය, වෛරය යුද්ධයට හේතුවන බව කීමට තවත් නිදසුන් කථාවකි.
මානය හට ගන්නා ආකාර පවතියි. ධනයෙන්, බලයෙන් ආඪ්‍ය බව, පිරිස් බලය, අවි බලය පැවතීම,
යුද ශක්තියෙන් දියුණු වීම ආදිය තුළින් මේ මානය ගාඩනඟා ගනියි. යුද අවි සකසා ඒවා
පර්යේෂණාගාරයන් හි දී පරික්ෂා කර බලයි. එහෙත් ඒවා ප්‍රායෝගික ව කෙ තරම් සාර්ථක ද
යන්න පරීක්ෂා කිරීම සඳහා ද යුද්ධ කරන අතර, ඒ තුළින් එහි ස්වභාවය ලොවට කියා පා අවි
විකුණා ගැනීම ද යුද්ධයේ පරමාර්ථයකි. බොහෝ යුද්ධ ආරම්භ කරන්නේ අවි නිපදවන රටවල් ය. ඒ
තුළින් තම යුද අවි ජාවාරම සාර්ථක කර ගැනීම අපේක්ෂා කරයි.
යුද්ධයක් තුළින් සිදුවන හානිය කොතෙකැයි ද කිව නොහැක. මහජන බදු මුදලින් ගන්නා ධනයෙන්
කෙතරම් සංඛ්‍යාවක් යුද්ධය සඳහා වන උපකරණවලට යොදනවා ද යන්න වර්තමානයේ පුපුරණ බෝම්බ
සඳහා හා ඒවා ප්‍රවාහනය කරන ගුවන් යානාවල වටිනාකම් දක්වන විට පැහැදිලි වෙයි. සමහර
රටවල වසරක වියදම එක බෝම්බයක වියදම හා සමාන වෙයි. විනාශ වන ගොඩනැඟිලි,
උපකරණ,මිනිසුන්, සතා සිව්පාවන්, පරිසරය ආදි ලෙස ගතහොත් යුද්ධය නිසා සිදුවන හානිය
මෙපණකයි ගණනය කළ නොහැක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනුයේ යුද්ධය නිසා වන මෙම හානිය
යමෙක් දනියි නම්, ඔහු යුද්ධය සදහා කිසිදා එකඟ නොවන බවයි.
යුද්ධය තුළින් කිසිවකු ජය ගන්නේ නැත. ජයග්‍රහණය යනු වෛරය වැඩි දියුණු කර ගැනීමකි.
ජයග්‍රණය ලද විට මානය උපදියි.එය සෙය්‍ය මානයයි. පැරදුනු විට මානය උපදියි. එය
හීනමානයයි. මේ මානය කරණකොට ගෙන වෛරය උපදියි. එය, මා පැරැද්දුවා, මා සතු දේ පැහැර
ගත්තා,මට ගැහුවා,මට බැන්නා, ආදි සංකල්ප තුළින් ඒ වෛරය දියුණු කර ගනියි. එය
පරම්පරාවෙන්, පරම්පරාවට ගෙන යයි. එය යළි යළිත් යුද්ධ සදහා හේතු වෙයි. වෛරයට වෛරයෙන්
පිළිතුරු දුනහොත් සාමය කිසිදා ලද නොහැකි ය. වෛරය වෙනුවට අවෛරී ව කටයුතු කළ යුතු ය.
යුද්ධය නිමා කරන ඖෂධය වන්නේ මේ අවෛරී බවයි.
කුළාවක සුත්‍රය තුළත්, කුළාවක ජාතකය තුළත් පවතින අදහසක් තුළ අවෛරී බව, මෛත්‍රී සහගත
බව යුද්ධය ජය ගත හැකි මාර්ගයක් බව දක්වයි. සුර අසුර යුද්ධයේ දී ශක්‍ර දේවේන්ද්‍රයා
අසුන් දහසක් යෙදු රථයක යයි. මෙම යුද්ධයේ දී අසුරයන් ජය ගනියි. ශක්‍රයා පැරද යයි.
පැරදුන ශක්‍රයා ඉඹුල් වනයකට ඉහළින් තම රථය මෙහෙයවයි. එවිට ඒ රථය වැදී ඉඹුල් වනයෙහි
වු ගුරුළන් විනාශයට ලක් වෙයි. මේ විනාශය දුටු ශක්‍රයා තම දිවි පරදුවට තබා රථය අනෙක්
අතට හරවන ලෙස දැන්වී ය. ඒ ගුරුළන් කෙරෙහි මෛත්‍රිය නිසා ය. ශක්‍රයා අපසු හැරුණ බව
දුටු අසුරයන් ද සුරයන් අලුත් උපක්‍රමයකින් යුද්ධය පැමිණෙනවා යැයි සිතා පැන ගියේ ය.
ශක්‍රයා යුද්ධය දිනීය. ධර්ම යුද්ධය තුළ සැබෑ ජයග්‍රහණය පවතී.
සංයුක්ත නිකායේ සක්ක සූත්‍රය තුළ ද යුද වැදීම සඳහා අපූරු කථාවක් කියයි. සුර අසුර
යුද්ධයේ දී ශක්‍රයා සුරයන්ට නායකත්වය දෙයි. අසුරයන්ට නායකත්වය දෙන්නේ වේපචිත්ති
අසුරේන්ද්‍රයා ය. වේපචිත්ති අසුරේන්ද්‍රයා සක් දෙවිදුන්ට අපහාස කරයි. නරක වචන
තුළින් දෝෂාරෝපණය කරයි. එවිට මේ සියල්ල ඉවසන්නේ කෙසේ ද යන්න මාතලි
ශක්‍රදේවේන්ද්‍රයාගෙන් විමසයි. එවිට බලයක් තබාගෙන ඉවසීම සැබෑ ඉවසීමක් ලෙස දක්වයි.
බාලයන් සමඟ අරගල කරනවාට වඩා එසේ ඉවසීම වැදගත් බව දක්වයි. ඒ තුළ තවත් අර්ථයක් කුළු
ගන්වා ඇත. ඒ අර්ථය නම් යුද්ධ කරන්නේ මෝඩයන් බවයි.
යුද්ධය සැමදා විනාශය ඇති කරයි. දුක, සංථාපය, කනගාටුව ඇති කරයි. ජීවිතය තුළ තිබිය
යුත්තේ ධර්ම විජයග්‍රහණයකි. කාලිංග යුද්ධය දිනා ආපසු එන ධර්මාශෝක මහ රජුට මහාදේව
හිමි ප්‍රකාශ කරනුයේ මිනිසුන් මරා, දේපළ විනාශ කොට ලබන ජයග්‍රහණය සැබෑ ජයග්‍රහණයක්
නොව සැබෑ ජයග්‍රහණය නම් තම සිත දිනා ගැනීම බවයි.
සිත දිනා ලබන සැබෑ ජයග්‍රහණය ලබන්නට අපි කටයුතු කරමු. |