ඇලීම් ගැටීම්
අවබෝධයෙන් දකින්න
ආචාර්ය
මිරිස්සේ ධම්මික නා හිමි
ඒ ඒ කෙලෙසුන් ඒ ඒ තැන ම ප්‍රහාණය කරන තැනකට සිත, සිහිය පුරුදු කර ගැනීමේ හැකියාව
නම් වූ කෝසල්ල බව (කුසල ශක්තිය) නොහැකියාව නිසා මේ විඥාණයේ ගැඹුර ස්පර්ශ වී ඒ අනුසය
ධර්මයන් හා සමගින් බලවත් වී අතෙහි, හිසෙහි, උරෙහි තිබෙන දෙයක් බිමින් තබනවා සේ
දුෂ්‍ය වූ සිතකින් කළුරිය කිරීමෙන්, එනම් විඤ්ඤානය බැහැර කිරීමෙන් නිරයේ උපතක්
ලබන්න පුළුවනි. කල්ප ගණනාවක් යනතෙක් ගැලවීමක් නම් ඇති නොවන්න පුළුවනි
මෙම ලිපියේ මුල් කොටස පොසොන් අමාවක (25) පෝදා අන්තර්ජාල කලාපයේ පළවිය.
දස පාරමී ලෙස - දාන, සීල, නෙක්ඛම්ම, ප්‍රඥා, වීර්ය, ශාන්ති, සත්‍ය, අධිෂ්ඨාන,
මෛත්‍රී, උපේක්ෂා සමතිංසත් පාරමී ලෙසින්, දස පාරමී, දස උප පාරමී, දස පරමත්ථ පාරමී
වශයෙන් මේ දානාදී පාරමී මොන තරම් සියුම් ලෙස විග්‍රහ කොට පෙන්වා මේවා සම්පූර්ණ කළා
ද යන්න පැහැදිලියි.
පින්වතුනි, පූර්ව අවස්ථාවෙන්, මුල් අවස්ථාවේ දී ම විඤ්ඤාණයේ දැනුම කියන තැන මොළයෙන්
දැනුම අරගෙන සංඥාවන් ඔස්සේ පවත්නාවිට ම හේතුඵල දහමට යටත් කොට, සංඛත ස්වභාවය, අනිච්ච
ස්වභාවය, පටිච්ච සමුප්පන්න ස්වභාවයට හිත පුරුදු කරන්න. එය විඤ්ඤාණයේ ගැඹුර ස්පර්ශ
වන විට කුසල පක්ෂයේ ම පවත්වා ගන්න පුළුවනි නම්, කාමරාග අනුසයේ පටන් අනුසය ධර්මයන්ට,
රැඳෙන්න උපකාරයක් නැති වී යන්නේ ය.
අකුසල පක්ෂය කියන අවස්ථාව ගත්තොත් චිත්තයේ පූර්ව අවස්ථාවෙන් ම පනවාගත් පරිදි
පි‍්‍රය නම් ඇලීමත්, අකැමැති නම් ගැටීමත් සිදුවේ. ඒ මෝහය නිසයි, අවිද්‍යාව නිසයි.
දැන් මේ අනවබෝධය චිත්තයේ ගැඹුරු අවස්ථාවට, භවාංග අවස්ථාවට ස්පර්ශ වෙයි. එහිදී
අකුසලය තවදුරටත් කාමරාග අනුසයේ පටන් බලවත් ලෙස පවතින මේ ආශ්‍රවයන්ට උපකාරී වෙයි.
ඒවා මතුවෙන්නට පටන් ගනියි. ඒවා මතුවෙන අවස්ථාවේදීවත් අපට මෙහි ඇති බැරෑරුම්කම,
බියකරු බව අවබෝධ කර ගත නොහැකි වුණොත් පරිවුට්ඨාන අවස්ථාවේ දී ඒවා වීතික්කම ලෙසින්
ක්‍රියාත්මක වන්නට පටන් ගනියි. ආස්‍රැතවත් පෘථග්ජන භික්ෂු ජීවිත පවා පරිහානියට
පත්වෙයි. අස්‍රැතවත් පෘථග්ජන ස්වභාවයේ මනුෂ්‍ය ස්වභාවය නැතිවී යන්න පුළුවනි. තදින්
ඇලීම, ගැටීම, මුලාව නිසා ප්‍රාණඝාත, සොරකම්, කාමමිථ්‍යාචාර, බොරු කීම, මත් වතුර,
මත් ද්‍රව්‍ය වශයෙන් බැහැරවගිහි පින්වතුන්, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පඤ්චශීලය
රකින්න. රක්ෂණය නැති වන්නේ පඤ්චශීලයෙන් ඉවත්වීම ආදී දුසිල්වත් ස්වභාවය මතුකොට සිද්ධ
වීමෙනුයි.
පින්වත්නි, මේ අනුසයන්ට චිත්තයේ පූර්ව අවස්ථාවේ දී දැනුමක් තිබුණත්, ඒ දැනුම පින
කියන තැනට පත් කර ගන්න නොහැකි ව පින, කුසලය කියන තැනට පත් කරගන්න, කෙලෙසුන් දිගින්
දිගටම සකස්වීම බැහැර කොට, ඒ ඒ කෙලෙසුන් ඒ ඒ තැන ම ප්‍රහාණය කරන තැනකට සිත, සිහිය
පුරුදු කර ගැනීමේ හැකියාව නම් වූ කෝසල්ල බව (කුසල ශක්තිය) නොහැකියාව නිසා මේ
විඥාණයේ ගැඹුර ස්පර්ශ වී ඒ අනුසය ධර්මයන් හා සමගින් බලවත් වී අතෙහි, හිසෙහි, උරෙහි
තිබෙන දෙයක් බිමින් තබනවා සේ දුෂ්‍ය වූ සිතකින් කළුරිය කිරීමෙන්, එනම් විඤ්ඤානය
බැහැර කිරීමෙන් නිරයේ උපතක් ලබන්න පුළුවනි. කල්ප ගණනාවක් යනතෙක් ගැලවීමක් නම් ඇති
නොවන්න පුළුවනි. මේ නිසයි පින්වතුනි, භාවිත සිතකින් පින කියන චිත්තයේ පූර්ව
අවස්ථාවෙන් ආරම්භ කර කුසලය කියන අවබෝධයට චිත්තය හෙවත් විඥානයේ ගැඹුර ස්පර්ශ වන
අවස්ථාවට පත් කර ගත යුතු වන්නේ. ඒ කුසල ස්වභාවය නිසා ආස්‍රව ධර්ම ක්ෂය වන, ව්‍යය
වන, විපාක දෙන අවස්ථාව නැති වෙන ස්වභාවයට පත් කර ගන්න පුළුවනි.
එසේ අවබෝධය නොමැති වුවහොත් චිත්තයේ පූර්ව අවස්ථාවේ දී ම ඇසෙන් රූප, කනෙන් ශබ්ද ආදී
වශයෙන් ඒවා රැස් කර ගනී. අරමුණුවල ඇලෙයි, එසේ නැත්නම් ගැටෙයි. මුලාවට පත්වෙයි. මේවා
බලවත් ලෙස සිද්ධ වන විට අකුසල පක්ෂයට වැටේ. අකුසල පක්ෂයේ නැවත භවාංග ස්පර්ශ වීමෙන්
සංසාර ගමනේ පටන් පැමිණ පවතින අනුසය මේවාට උපකාරක ධර්මයන් වේ.
“මම දන්නේ නැහැ. මට මොනවා වුණා ද” කියන අවස්ථාවට පවත්වන්න පුළුවනි. මෙහි විපාකය
දැනී අවබෝධ වෙනවා, මිනිස් සිතක් කියන්නේ උසස් මනසක් පවතින නිසයි. ඒ උසස් මනසේ
ස්වභාවයට විපතක් දැනුණු තැන බොහෝ කෙනකුට වැටහෙන්නේ මට සිද්ධ වුණේ කුමක්ද? සැබැවින්
ම මම යහපත් ලෙසින් ද ඒ හැසිරුනේ. අන් අයටත් එය බොහොම හොඳින් අවබෝධ වුණා. සමිප ව
ආශ්‍රය කළ දෙමව්පියෝ, දරුවෝ, ස්වාමි, භාර්යා ඒ හැමට ම මෙය දැනුණි. මම අවංක කෙනෙක්,
හිතකින්වත් නරක සිතුවිල්ලක් ඇති කර ගන්න කෙනෙක් නොවෙයි. නැති නම් වචනයෙන් හෝ
ක්‍රියාවෙන් ඒවා ක්‍රියාත්මක කරන කෙනෙක් නොවෙයි. යනුවෙන් සමීප ව ඇසුරු කරන අය පවා
නිතර පැවැසූ දෙයක්. ඒත් සැබැවින් ම සිද්ධ වුනේ කුමක්ද?
සිත අභාවිත සිතක් බවට පත්වූවා පමණක් නොව අනුසය ධර්ම ගැන නොදැන සිටීමයි. නමුත් කුසල
අවස්ථාවේ දී ස්කන්ධ පඤ්චකය මම ය, මගේ ය කියන දෘෂ්ඨියෙන් බැහැර කර ගෙන උපාදානය නොවන
ආකාරයට චිත්ත චෛතසිකයන් පැවැත්වූයේ. චෛතසිකයන් පනස් දෙකක් (52) සහ සිත් අසූ නවයක්
(89) ලෙසින් පෙන්නුම් කර තිබෙනවනේ. කෙසේ වෙතත් එකම අදහසකින් ගත්තොත් මා, සිත් හා
සිතුවිලි පැවැත්වූයේ, තදින් නොඇලෙන වෙනස් වන තැන නොගැටෙන, සියල්ල හේතූන්ගේ ඵලයක්,
හේතූන්ගේ විසිර යාමෙන් නැති ව යනවා කියන අවබෝධයෙනුයි. සම්මතයෙන් පනවා ගත්ත ස්කන්ධ
පඤ්චකය වූ මම කෙලෙස්වලින් උපාදානය නොවන තැනකට සිහිය පිහිටුවා ගෙනයි.
සරල ව සඳහන් කළොත් සම්මුතියේ ‘මම’ යැයි පැවැත්වූයේ පරමාර්ථ වශයෙන් මම අත්හැරලා කියන
අවබෝධය ඔබට පවතිනවා ද? ඔබ ඒවා හඳුන්වන්නේ පින්කම් ලෙසටයි. සැබැවින් ම කුසල කර්ම
සිදු කරන විට ස්කන්ධ පඤ්චකය මම ය, මාගේ ය කියන දෘෂ්ඨියෙන් උපාදානය නොවන තැනකට සිහිය
පිහිටුවන්න පුළුවනි. ඒ අවබෝධය සමඟින් සංසාර ගමනේ පටන් පැමිණි, පවතින කාමරාග අනුසයේ
පටන් මෙහි සියුම් බව නිසා සතර සතිපට්ඨානයෙන් පෙන්වා දෙන ආකාරයෙන්
කායානුපස්සනාවේදීත්, වේදනානුපස්සනාවේදීත්, විශේෂයෙන් චිත්තානුපස්සනාවේදීත් රාග
සිතක් ද, වීතරාගී සිතක් ද, දෝෂ සිතක් ද, වීතදෝෂී සිතක් ද එනම් මේ වේලාවේ ඇලීමක්
තියෙනවා ද? මේ අරමුණේ ඇලීමක් නැහැ. මේ අරමුණෙහි ද්වේශයක් නෑ. මේ අරමුණෙහි මෝහයක්
මුලාවක් නෑ. මේ ආකාරයට දහසය ආකාරයකට පෙන්වා දී තිබේ. ඔබ එය දැනුමෙන් දකින්න.
සතිපට්ඨාන සූත්‍ර දේශනාවට අනුව මෙනෙහි කරන්න. සසර ගමනේ ඇති බියකරු බව දුර්ලභ වූ
මනුෂ්‍ය ජීවිතය, ස්කන්ධ පංචකය, දුර්ලභ ව මුණගැසුන මේ උතුම් බුද්ධ ශාසනය, හේතුඵල
දහමට යටත් වේ.
හටගත්තා වගේ ම නැති ව යන්නේ ය. මම මගේ යැයි පනවා ගැනීම සම්මුතියක් පමණයි.
තාවකාලිකයි. ජාති, ජරා ව්‍යාධි මරණයන්ට යටත් වේ. ඕනෑම මොහොතක අවසන් මොහොත වන්නට
පුළුවනි.
අනන්ත සසර ගමනේ අප්‍රමාණ කාලයක් දුක් විඳ, දුර්ලභ ව ලබා ගත් මනුෂ්‍ය ජීවිතය මොන
තරම් වටිනවා ද? බුදු වන්නට පුළුවන් මනුෂ්‍යයකුට පමණයි. මේ දුර්ලභ ව ලැබූ උතුම්
අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ලැබීමට නම් කුසලයෙන් අවබෝධයට පත්විය යුතු ය. මේ විදිහට
සිහිපත් කරන දුර්ලභ ව ලැබූ මනුෂ්‍ය ජීවිතයේ සියුම් ව පවතින කෙලෙස් පවා සිහිය
පිහිටුවා ගෙන විදර්ශනා නුවණින්, සතිසම්පජඤ්ඤයෙන් යුක්තව එය අවබෝධ කර ගෙන, උඩට
මතුවුනත් ක්‍රියාත්මක නොවන තැනට සිහිය පිහිටුවා ගන්න.
පින්වතුනි, මේ සිහිය පිහිටුවා ගන්න සතර සතිපට්ඨාන ප්‍රයෝජනයට ගත යුතුයි.
ධම්මානුපස්සනාවේ දී කාමච්ඡන්ද ආදී නීවරණ ධර්මයන්ගෙන් බැහැර කර ගෙන නැවතත් ස්කන්ධ
පංචකය හටගැනීම හා නැති ව යාම පිළිබඳ ව නුවණින් මෙනෙහි කර, තෘෂ්ණාව කුමන අවස්ථාවක,
කුමන ආකාරයෙන් සකස් වන්නේ දැයි විමසා බලමු.
ඇසයි, රූපයයි, චක්ඛු විඤ්ඤාණය යි ස්පර්ශ වන විට අනවබෝධය නිසා අභාවිත සිතක් තුළ
තෘෂ්ණාව හටගනී. එහි ආදීනවය ගැන සිතා අනිච්ච, දුක්ඛ, අනන්ත ත්‍රිලක්ඛණ ධර්මයන්ට යටත්
කොට බැහැර කළ යුතුයි. මම මගේ යනු සම්මුතියක් පමණයි.
පරමාර්ථ ධර්ම වශයෙන් කිසිවක් හෝ කිසිවෙක් හෝ මම වන්නේ වත්, මම මගේ වන්නේවත්, ස්ථිර,
සදාකාලික වන්නේවත් නැත. නිච්ච, සුඛ, අත්ත නොවේ. අනිච්ච, දුක්ඛ, අනත්ත කියන අදහස ම
යි.
මේ ලෙසින් මෙනෙහි කරන විට දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන තැනට සිහිය පිහිටුවන්න
පුළුවනි. එය ම සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා වාචා ආදී වශයෙන් ආර්ය අෂ්ටාංගික
මාර්ගය අනුගමනය කිරීමක් හැටියට ඔබට දැනෙන්නට පටන් ගනී.
‘ඛිප්පා හිඤ්ඤා සුඛා පටිපදා’ ලෙස යහපත් වූ මඟ ඉතා හොඳින්, සුව සේ, ඉතා ඉක්මනින්
අවස්ථාවක නිවන අරමුණු කරන හැම ශ්‍රාවකයෙක්, ශ්‍රාවිකාවක් (ගිහි හෝ වේවා පැවිදි හෝ
වේවා) විසින් ම අනුසය ධර්ම ගැන මනා වූ අවබෝධයක් ඇති කර ගත යුතුයි. මේවා අප්‍රකටයි.
සියුම්, කිසිවක් නොදන්නා ලෙසින්, නිදිගත් ආකාරයෙන් සිටින්න පුළුවනි. දරණුව ගසාගෙන
සිටින බලගතු විෂ තිබෙන ඝෝර සර්පයෙක් සේ, දණ්ඩෙන් පහර ලත් විට නැඟිට, බලවත් ලෙස පහර
දෙන්නා සේ, නපුරක් කරන්නා සේ, අනවබෝධයෙන් සිටින අස්‍රැතවත් පෘථග්ජන කෙනකුට ඇසෙන්
රූප, කනෙන් ශබ්ද ආදී වශයෙන් අරමුණක බලවත් ලෙස ස්පර්ශ වන විට අභාවිත හිතක් නම්
අනුසයන් පාලනය නොවේ.
ඒවා මතු වී, සම්මුතියේ පනවා ගත් තමනුත් පාලනය නොවී ‘මම වත් මට අමතක වුණා’ මගේ
ස්වභාවය, ගුණය, සීලය ආදී වශයෙන් එය ද අමතක වී, මා අනුසය ධර්මයන්ට හසු වී, කෙලෙස්වලට
හසු වී බැඳී, අවසාන වන්නේ විනාශයට පත්වීමෙන් ඒ සඳහන් වුණේ නිරයට පත්වන අවස්ථාවයි.
මේ පදුට්ඨ චිත්තයේ ස්වභාවය යි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ ඒ මොහොතේ ම මේ
පදුට්ඨ චිත්ත මුලින් තදංග වශයෙන් පාලනය කර, යටපත් කර ගෙන, ඊළඟට උපචාර අවස්ථාවෙන්
බලවත් ලෙස පාලනයට කර ඊළඟට අප්පනා හෙවත් අර්පනා සමාධියෙන් විෂ්කම්භන ලෙස (මෙය ධ්‍යාන
අවස්ථාවක්) කාමාදී අකුසල ධර්මයන් බලවත් ලෙස යටපත් කරන තැනකට සිහිය පිහිටුවන්න.
අපි උපකාර කර ගන්න කර්ම ස්ථානයේ විතක්ක විචාර ලෙසින් සිත, සිහිය පිහිටුවා රාගයෙන්,
ද්වේශයෙන්, මෝහයෙන් ඒ ඒ අරමුණෙන් සංසිඳෙන තැන නිරාමිස සුඛයක්, ඔබ සැප යැයි සඳහන්
කරන්නේ. කැමැති අරමුණු ලබා, ඇලුනු තැන රාගයක්, කාමයක්, රතියක් ඒ වගේම අකැමැති
අරමුණු පාලනය කළා කියා ද්වේශය සමගින් සියුම් සතුටකුත් තියෙනවා යැයි සිතන්න පුවවනි.
මම බැන්නා, මම ගැහුවා, මම උදුරා ගත්තා මේ ආදියෙන් මතු වන්නේ මානයයි. මෙතැන සතුටකුත්
තිබෙනවා. නමුත් ඒ සතුට තුළ මමත්වය මුල් කර ගත්ත අභිජ්ඣා වගේ ම ද්වේශයක් පිරී
තිබෙනවා. කෙලෙස්වල මිශ්‍රණයක් තිබෙන්නේ, අනුසය ධර්මයත් වැඩෙන්න පටන් ගන්නවා.
එසේ නොවන්න පවතින්නේ නිරාමිස සුවයයි. නාම, කාය දෙක ම පීති සුඛයට ගේන්න පුළුවනි නම්,
ඉන් අනතුරුව කෙළවරට එනකොට පනවා ගත් සැප, දුක් දෙකම සොම්නස් දොම්නස් දෙකම, හේතුඵල
දහමට යටත් කොට දැක එය විදර්ශනා මාර්ගයට යොමු කර ගැනීමෙන් දුක්ඛ ආර්ය සත්‍යයේ පටන්
අවබෝධය සකස් වන මාර්ගඵල අවබෝධයෙන් සෝතාපත්ති ස්වභාවයට පත් කර ගන්න පුළුවනි.
සසර ගමනට බැඳ තබන දස සංයෝජන නම් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස,
කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා.
මින් පළමු වන සංයෝජන තුනෙන් සක්කාය දිට්ඨිය (මහා වෘක්ෂයක මුදුන් මුල ප්‍රබල ම තැන)
ස්කන්ධ පංචස්කන්ධය මම ය, මගේ ය කියන දෘෂ්ටියෙන් බැහැර වනවා කියන තැනට සිත සිහිය
පිහිටුවා ගැනීමෙන් දුරු කරන්න පුළුවනි.
කුමන පින්කමක් සිදු කළත් කුසල කර්මයක් බවට පත්වෙන්න නම් අනුසය ධර්ම පිළිබඳ ව මනා වූ
අවබෝධයක් තිබිය යුතු ය. මේ කෙලෙස් නිදිගෙන තිබෙන්නේ. අප්‍රකටයි. මේවා සියුම්, තමන්ට
තමන් ව එක විට තේරුම් ගන්න බැරි තරම් අපහසුයි. මම හිතාගෙන හිටියේ මම හොඳ කෙනෙක්,
මගේ තුන් හිතකවත් මෙහෙම දෙයක් තිබුණේ නැහැ, නමුත් ඒ වෙලාවේ මට මොනවා වුණා ද කියලා
මට ම හිතා ගන්න බැහැ. මම කොහොමද මේ ස්වභාවයට ඇද වැටුණේ. වෙනස් වුණේ යනුවෙනි. සමහර
අවස්ථාවල දී යම් යම් දේ තව කෙනෙකුට නොපැවසුවත්, සමාජයට මතුපිටින් නොපෙනුනත් තමන්ට ම
දැනෙන්න පුළුවන්. මගේ හිත වෙනදා වගේ නොව කෙලෙස්වලින් බරිත වී තිබෙන්නේ.
නමුත් ඔබට තේරුම් ගන්න පුළුවනි නම් පසන්ත චිත්තයෙහි අවස්ථාව කෙබඳු ද, වෙනදා නම්
අරමුණක් දකින විට පනවා ගත් දේ අනුව කැමැති නම් එයට තදින් ඇලී, නිමිති අරගෙන එයට
සිතේ මුල් තැනක් දුන්නේ. එය මතක් කර කර කෙසේ හෝ ලබා ගන්න උත්සාහ දැරුවා. බැරි වන
විට දුක් වුණා. හඬමින් ශෝක කරමින් පසුතැවුණා. සමහර අවස්ථාවල දී වචන හුවමාරු කර
ගනිමින් බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන, හිස් වචන, මෙවැනි දේ සිදුවුණා. සමහර දිනවල
දී රණ්ඩු දබර වුණා. මේ ද්වේශය නිසා හටගත් දේ. නමුත් දැන් එහෙම සිදුවන්නේ නැහැ.
සමාහිත සිතකින් අවබෝධයෙන් යම් විටෙක ඇලෙන සිතිවිල්ලක් කාම සිතුවිල්ලක්, අමනාප
සිතුවිල්ලක්, ව්‍යාපාද සිතුවිල්ලක් සහ විහංසා සිතුවිල්ලක් මගේ සිතට දැනුනත් පරමාර්ථ
ධර්මයට අනුව සිත සිහිය පිහිටුවා අනුක්‍රමයෙන් සිත සංසිඳෙන බවක් දැනෙනවා කියා ඔබට ම
දැනෙනවා නම්, හැම මොහොතක ම කුසල පක්ෂය දිගින් දිගට ම වර්ධනය වේ.
මේ සඳහන් කරන්නේ කුසල සමාධිය යනුවෙනි. හීනවන, බාල වන, කුසලයක් ඇති වී එය අකුසලයක්
බවට පත් කර නොගෙන, පිනෙන් කුසලයට පැමිණ කුසලයෙන් අවබෝධය කියන තැන අභිඤ්ඤෙය්‍ය,
පරිඤ්ඤෙය්‍ය, පහාතබ්බ, භාවේතබ්බ, සච්චකාතබ්බ ආදී වශයෙන් අරමුණට සිහිය පිහිටුවා ගෙන
අනුසය ධර්මයන්ට නැඟිටින්න අවස්ථාවක් නොදී ඒවා ක්ෂය වන, ව්‍යයවන අවස්ථාවට පත් කොට
සක්කාය දිට්ඨියේ පටන් බැහැර කොට, සෝතාපන්න ස්වභාවයට පත්වන විට ඔබට ම දැනෙයි, මා සිත
තුළ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ආදී වශයෙන් පිරිසුදුයි නේද යනුවෙන්.
යම් තැනක හෝ උපාදානය වන තැනක් තිබේ නම් පටිසංඛාන ඤාණ වශයෙන් ඒවා මෙනෙහි කර, බැහැර
කර ගන්න තමන්ගේ සිතට හැකියාව තිබේ. සියුම් සිතුවිල්ක පවා ඇලීමක් තිබේ. ඔබේ ජීවිතවල
සමහරවිට ස්වාමියා, බිරිඳ වෙන්න පුළුවනි. දෙමාපියෝ, දරුවෝ වෙන්න පුළුවනි. ඉඩකඩම්
තනතුරු මනසින් ඇති කර ගත් යම් යම් මද මාන වන්න පුළුවනි. මේවා සියුම් ව දැනෙන විට
පවා විදර්ශනාවේ දී මෙතෙක් විස්තර කළ ආකාරයට බැහැර කර ගන්නා විට තිබෙන සියුම් ඇලීම්,
ක්ලේශ පවා බැහැර වන බව දැන ගනී. ඔබ සුවපත් වේවා.
නමුත් යම් විටෙක ස්වභාව ධර්මයෙන් විපතක් සිදුවුනොත්, කර්ම දෝෂයක් වුණත්, හිටිහැටියේ
ලෙඩක් දුකක් ඇති වුවහොත් නිරන්තරයෙන් පවත්වා ගෙන සිටින්නේ පසන්න චිත්තයක්, නම් මොන
තරම් සැනසිල්ලක් ද? මරණයේ දී තොරතුරු රැස්කර ගෙන පාලනය කර ගෙන, සිටින මොළය අක්‍රිය
වන විට විඤ්ඤාණය නායකත්වයට පත්වේ.
පසන්න චිත්තයක් තිබුණොත් උරහිසේ තිබෙන දෙයක්, අතේ තිබෙන දෙයක්, හිසේ තිබෙන දෙයක්,
බිම තබනවා සේ සුගතිය උරුමයි.
මේ සිද්ධිය නිරන්තරයෙන් කරුණාවෙන් දේශනා කළත්, බොහෝ පිරිස් නිරන්තරයෙන් තරහ සිතින්,
අමනාප සිතින්, ඇලුනු සිතින්, රාග දෝෂ මෝහයෙන් යුක්ත ව ගතකර ආතතිය, දොම්නස, කනගාටුව
පිරුණු පදුට්ඨ චිත්තයකින් කුමන වේලාවක කළුරිය කරයි ද කියා කෙසේ කියන්න ද? මෙසේ
කළුරිය කළොත් දුගතියක නිරයක උපත ලබන්න පුළුවනි.
තථාගත බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ ශ්‍රී සද්ධර්මය දකින්න. මේ දේශනාව
තුළ චතුරාර්ය සත්‍ය ධර්මය, ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුගත ව පෙන්නුම් කළේ, පින
පාපයෙන් බැහැර ව, අකුසලයක් නොවී, කුසලයක් බවට පත් කර ගන්නේ කෙසේද යන්නයි. පින
කුසලයක් විය යුතුයි, පාපයෙන් අකුසලයෙන් මිදෙන්න ඕනෑ යන අදහසයි පෙන්නුම් කළේ. |