නිහඬ පරිසරයක
සොඳුරු පින්බිම
කුඩුම්බිගල ආරණ්‍යය

කොළඹ සිට මොණරාගල පොතුවිල් හරහා කි.මී. 340ක් පමණ දුරකින් කුඩුම්බිගල ආරණ්‍යය
පිහිටා තිබේ. පානම සිට රුහුණු වනෝද්‍යානයට ගමන් කරන මාර්ගයේ කුමන වනෝද්‍යාන සීමාවේ
කුඩුම්බිගල අභය භූමියෙහි මෙම පින්බිම පිහිටා ඇත.
මුහුදු සීමාවට ආසන්න පර්වතයන්ගෙන් පිරි වනගත කඳුවැටි කිහිපයක් පාදක කරගෙන පුරාණයේ
ගොඩනැඟූ ආරණ්‍යයක් වන කුඩුම්බිගල අදටත් බවුන් වඩන භික්ෂූන් වහන්සේ පිරිසකට වාසභූමිය
වී ඇත. මුහුදු මට්ටමේ සිට අඩි 500 - 800 දක්වා උසකින් මේ ආරණ්‍ය භූමිය පැතිරේ.
අනුරාධපුර මුල් යුගයට අයත් රෝහණ රාජධානි සමයේ දී මේ අවට බෞද්ධ ප්‍රබෝධයක් පැවති බව
හෙළිකරන කටාරම් කෙටූ ලෙන්, සෙල්ලිපි, පැරැණි දාගැබ් වනගත ව පැතිර ඇත.
මෙම භූමියේ පර්වත 5ක් ඇසුරේ කටාරම් කෙටූ ලෙන් 50ක් පිහිටා තිබේ. විශාල ලෙස කටාරම්
කෙටූ ගල්ලෙන් ඇති අතර, සමහර ලෙන්වල ක්‍රි.පූ. යුගයට අයත් බ්‍රාහ්මීය සෙල්ලිපි දැකිය
හැකි බව ද කියැවේ. සමහර ගල්තලා මත ගොඩනැඟිලි අවශේෂයන් ද දක්නට ඇත.
අනුරාධපුර යුගයෙන් පසු වනගත ව පැවති මෙම නටබුන් යළිත් මෑත අතීතයේ දී බොදුනුවන් සඳහා
වැඳ පුදා ගැනීමට ඉඩකඩ සලසා දුන්නේ වර්ෂ 1954 දී මෛත්‍රී උපාසක නම් සැදැහැවත්
පුද්ගලයා විසින් යැයි සඳහන් ය. ඊට පසු තාඹුගල ආනන්දසිරි හිමි මේ පුදබිමට වැඩමවා ගෙන
එනු ලබන්නේ ද මෛත්‍රී උපාසක විසින් බව පැවසේ. මුල් කාලයේ දී ලෙන් 10ක පමණ බිත්ති
බැඳ කුටි වශයෙන් සකසා ගෙන බණ භාවනා කිරීම ආරම්භ කර ඇත. ඊට පසු ක්‍රමයෙන් මේ වන
ආරණ්‍යය බොදු වන්දනාකරුවන් අතර ප්‍රචලිත වූවා යැයි සැලකේ.
එදා මේ පුණ්‍ය භූමියට පොතුවිල් කලපුව තරණය කිරීමෙන් පා ගමනින් ගමන් කළ යුතු වුවත්
වර්තමානය වන විට මේ සියලු මාර්ග නවීකරණය වී ඇත. 90 දශකයේ දී ත්‍රස්තවාදී ප්‍රහාර
හේතුවෙන් බවුන් වැඩූ හිමිවරු එම පුදබිමෙන් නික්මෙන්ට වූ බව ද සඳහන් ය. වනගත වූ මෙම
පුද බිම ත්‍රස්තවාදී කලබල ඉවත් වූ පසු භික්ෂු වාසයට යළි පත් වූවා යැයි සඳහන් ය.

ක්‍රි. පූර්ව යුගයට අයත් සෙල් ලිපි දහසකට වැඩි ප්‍රමාණයක් මෙම පුණ්‍ය භූමියෙන්
හමුවී ඇතැයි ද පැවසේ. ඒ සෑම සෙල් ලිපියක් ම කටාරම් කෙටූ ලෙන්වල පිහිටා ඇත්තේ ලෙන්
කරවූ අය ගැන සාධක සපයමින් ය. මෙහි ලෙන් තුනක් කරවා ඇත්තේ භික්ෂූන් වහන්සේ වීම තවත්
විශේෂත්වයකි.
ඒ අතරින් සුදර්ශන ලෙන අද බුදුමැදුරක් වශයෙන් භාවිත කෙරේ. සීත පොකුණ නම් ලෙන තුළ සීත
ජලයෙන් පිරි ස්වභාවික පොකුණක් පිහිටා ඇති බව කියැවේ. කුඩුම්බිගල ආරණ්‍යයේ දී නටබුන්
දාගැබ් අටක් දැකගත හැකි බව කියැවේ. ඒ අතරින් දාගැබ් තුනක් පිහිටා ඇත්තේ සෑගිරි
පර්වතයේ යැයි සඳහන් ය. මෙය මෙහි උස ම පර්වතය යි. මෙම දාගැබ් පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර ඇත. ඉන් එක් දාගැබක් සිලින්ඩරාකාර හැඩයක් ගනී.
මෙම පර්වතයට පිවිසීම සඳහා ගලේ කෙටූ පියගැට පෙළක් සකසා ඇත.
සෑගිරි පව්වේ සිට කිලෝමීටරයක් පමණ දුරින් පර්වත කූට අතර පිහිටි සමතලා භූමියකි. මෙම
තැනිතලා බිමේ විශාලත්වය අක්කර 600කට අධික ය. ආරණ්‍ය ප්‍රධාන සංඝාවාස ලෙන ද, නටබුන්
දාගැබ්, පොකුණු සහ පැරැණි පූජනීය ගොඩනැඟිලි රාශියක් ද පැතිරී ඇතැයි කියැවේ. ඒ
අතරින් සමහරක් කැණීම් කර සංරක්ෂණය කර තිබේ. තවත් නටබුන් රාශියක් වනයට යට වී ඇතැයි ද
සඳහන් ය.
වන මැද ඉහළ නඟින මේ පර්වතය මත තවත් දාගැබ් තුනක් හා ගල්ලෙන් කිහිපයක් ද දැක ගත හැකි
යැයි පැවසේ. ඒ එක් ලෙනක මෛත්‍රී උපාසකතුමාගේ ඇටසැකිල්ලක් ද තබා ඇතැයි පැවසේ.
සුන්දර පරිසරයකින් යුතු මේ පුදබිම වියළි කලාපයේ දැක ගත හැකි අලියා, කොටියා,
තිත්මුවා, අඳුන් දිවියා, වල්ඌරා, ගෝනා, වලසා, කබල්ලෑවා වැනි ක්ෂීරපායීහු වන සතුන්
විසින් තවත් අලංකාර කරනු ලබති.
දීපා පෙරේරා |