හිරු මඬල ලොව එළිය කරන සඳ
කළාමැදිරි එළි කුමට...
මේ ලෝකයකට කලාතුරකින් තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් පහළ වෙනවා.
එනමුදු බොහෝ මිනිසුන්ට ඒ ගැන කිසිදු වැටහීමක් නැහැ. ඒකාන්තයෙන් ම බුදුවරුන්ගේ උපත
මහා සැපයක් ම යි. ඒ සුන්දර උපත සත්වයන්ට පමණක් නොව සිත් පින් නැති මහ පොළොවට,
ආකාශයට, ගස්වැල්වලට පවා දැනුණා.
ඒ මොහොතේ දස දහසක් ලෝක ධාතුව ම කම්පා වුණා. බලවත් ලෙස කම්පා වුණා. දෙතිස් මහා පුරුෂ
ලකුණින් හෙබි ඒ උත්තම මනුස්ස රත්නය ලොව පහළ වූ දා ඒ අසිරිය දැක ගන්නට මොහොතකට
අන්ධයන්ට ඇස් ලැබුණා. බිහිරෝ ශබ්ද ඇසුවා. ගොළුවෝ කතාබහ කළා. කුදු වූවෝ දෙ පයින්
නැඟී සිටියා. කොරුන් ඇවිද ගියා. සිර බන්ධන ලත් සියලු සත්වයෝ බැඳුම්වලින් නිදහස්
වුණා. සියලු නිරයන් හි ගිනි නිවී ගියා. සා පිපාසිත ප්‍රේතයන්ගේ කුසගිනි නිවී ගියා.
දස දහසක් සක්වළ පුරා ම පමණ කළ නොහැකි ආලෝකයක් පැතිර ගියා. කිසිදා කිසිදු එළියක්
නොමැති ලෝකාන්තරික නිරය පවා මදකට ආලෝකවත් වුණා. ඒ සම්බුදු උපත සිදු වූ අසිරිමත්
මොහොතයි...
තථාගතයන් වහන්සේ ලොව පහළ වූ කාලයේ දී වේවා, අද අප ජීවත් වන මේ කාලයේ දී වේවා, බැලු
බැලු හැම තැන ම ඇත්තේ කෙළවරක් නැති ප්‍රශ්නවලින් පීඩිත වූ ජීවිත යි. ඇතැමෙක් බලය
වෙනුවෙන් ද, ඇතැමෙක් ධනය වෙනුවෙන් ද, ඇතැමෙක් කුලය වෙනුවෙන් ද, තම වර්ගයා නසා
දමනවා. පිපෙන්නට වෙර දරන සුවඳ මල් කැකුළු මහල්ලන්ගේ සපත්තු කකුලට පෑගී කුඩුපට්ටම්
වී යන්නේ ඒ මල් කැකුලේ කිසිදු වරදක් ඇතිව නොවේ.
භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ ලෝක 31 තුළ කො තැනක ඉපදුණ ද, ඒ සෑම ඉපදීමක් ම දුකක්
ලෙස යි. සුගත ලොවක් වූ මේ මිනිස් ලොව තිබෙන දුක කෙ තරම් ද? ලොව බලවතුන් යැයි
කියමින් ඔවුන් යුද්ධ කරනුයේ සිත්වල කිසිදු තෙතමනයක් නොමැතිව යි. යුද වැදීම් වේවා,
මුදල් ඉපයීම වේවා, බලය රැක ගැනීම වේවා එහි අවසන් වීමක සේයාවක්වත් නැහැ. කිසිදින ඉටු
කර අවසාන කළ නොහැකි අතෘප්තිකර වූ දෙයක් පමණයි ඉතිරි වෙන්නේ. නමුත් අද නො ලැබෙන දේ
හෙට ලැබේවි යැයි අප තදින් ම විශ්වාස කළ ද, එය සත්‍ය නොවෙයි. බොහෝ තැන්වල ඇත්තේ
මොහොතක් මොහොතක් පාසා දැවෙන මහා ගිනි ජාලාවන් පමණ යි.
එවන් ලෝකයක ජීවත් වන අපට සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් සරණ යාම විතයට ලැබුණ
අවස්ථාව සුළුපටු කරුණක් නම් නොවෙයි.
උපන් දා පටන් අපි භාග්‍යවතුන් වහන්සේ සරණ ගියා. උදේ, දවල්, රාත්‍රී “බුද්ධං සරණං
ගච්ඡාමි” යැයි හඬ නඟමින් කියනවා. නිවසේ දී ත්, පාසලේ දී ත්, රාජකාරී ස්ථානයේ දී ත්,
සුබ කටයුත්තක දී ත් එසේ කිව්වා. නමුත් ඇතැම් දෙනා වචනයකට පමණක් සීමා කොට බුද්ධං
සරණං ගච්ඡාමි යැයි කිව්වත් ඒ තුළ සැබෑවට ම සරණ යාමක් නැහැ.
භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින කාලයේ දී කෝසල ජනපදයේ තුණ්ඩ නම් ගමේ බුද්ධදාස නම්
පුද්ගලයෙක් ජීවත් වුණා. ඔහු බුදුරජාණන් වහන්සේ සරණ ගිය උපාසකයෙක්. ඔහු දිනපතා
බුදුරජාණන් වහන්සේ සරණ ගියා. වෙන සරණක්, පිහිටක් ගැන සිතුවේ නැහැ.
දිනක් ඔහුගේ නිවසට ඒ ගමේ ම විසූ තවත් පුද්ගලයෙක් පැමිණියා. දෙදෙනා පෙර සිට ම
මිත්‍රයන්. එදා රාත්‍රියේ මිත්‍රයන් දෙදෙනා ඒ නිවසේ ගත කළා. ආගන්තුක ව ඒ නිවසට
පැමිණි පුද්ගලයාගේ ශරීරයට යක්ෂයෙක්ගෙන් බලපෑම් තිබුණා. ඒ යක්ෂයා අර පුද්ගලයාට නිතර
ම පීඩා කළා. ආගන්තුක පුද්ගලයා බුද්ධදාස උපාසකගේ නිවසට ආ දිනයේ ඔහුගේ කයට විශාල
වෙනසක් දැනුණා. වෙනදා තිබෙන කයේ පීඩාව අතුරුදහන් වුණා. සැහැල්ලුවක් ලැබුණා. අර
පුරුෂයා දින හතක් බුද්ධදාසගේ නිවසේ නතර වෙලා අටවැනි දින තම නිවස බලා යාමට පිටත්
වුණා. නගරයේ දොර අසල දී යක්ෂයා මේ පුද්ගලයාට පෙනෙන්නට ම ආවා. පුරුෂයා අසනවා
“යක්ෂය, නුඹ මේ දින හතේ දී ම මාව පීඩාවට පත් කළේ නැහැ නෙව. අද මොකද මේ?”
“නුඹ මේ දින හතේ ම විසූ ඒ නිවසේ පුරුෂයා බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක්. මට ඔහු
අසලට යා නොහැකියි. ඔහු සරණේ පිහිටි උපාසකයෙක්. ඔහුගේ ආනුභාවය නිසයි මට ඔබ අසලට ඒමට
බැරි වුණේ.
“යක්ෂය කෙසේ ද ඔහු බුදුරජාණන් වහන්සේ සරණ ගොස් තිබෙන්නේ?”
“ඔහු දිනපතා බුද්ධං සරණං ගච්ඡාමි යැයි කියමින් සරණ යනවා.”
එවිට අර පුරුෂයා කියා සිටියා, “යක්ෂය, එසේ නම් මෙය අසපන්. මමත් අද සිට “බුදුරජාණන්
වහන්සේ සරණ යමි.” යැයි හඬ නඟා පැවසුවා. එය ඇසූ යක්ෂයා බියට පත්ව වෙවුලමින් දිව
ගියා. යළි ඔහු කරා කෙදිනකවත් පැමිණියේ නැහැ. අර පුද්ගලයා බුද්ධ, ධම්ම, සංඝ සරණ ගිය
උපාසකයෙක් බවට පත්වුණා.
එනිසා බුද්ධ යන නාමය සියලු උපද්‍රව නසා දමන්නට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් හා සමාන යි.
සරණයාම යනු සීලයේත්, සමාධියේත්, ප්‍රඥාවේත් සහ මුළු නිවන් මඟෙහි ම පදනම යි. එය
සියලු ම පුණ්‍ය ක්‍රියාවලත්, සියලු කුසල් දහම තුළත් පදනම යි. සදාතනික පරම සැපය වන
නිවන නම් වූ නිවහන තනන්නේ සරණ නම් වූ අත්තිවාරම මත යි.
අත්තිවාරම නො දමා කුමන අයුරින් හෝ නිවසක් තනන්නට වෙර දැරුව ද, කිසිදා එය සාදා නිම
කළ නොහැකියි. සිල් රකින්නට කො තරම් වෑයම් කළ ද, සමථ විදර්ශනා භාවනා දියුණු කරන්නට
කෙ තරම් වෙහෙස වුණ ද, ශක්තිමත් අත්තිවාරමක් නැති නිසා පිහිටා සිටින්නට තැනක් නැහැ.
එදා දහම දකින්නට කැමැති සියල්ලෝ ම සිදු කළේ
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, අද පටන් මම ඔබ වහන්සේ සරණ යමි’ යි
කියා සරණ යාම යි. එනිසා ම ඒ සියලු දෙනා සදාතනික සැප ඇති නිවන් පුරයට ගමන් කළා.
ඈත අතීතයේ අප රටේ සිරිනාග නම් රජ කෙනෙක් ජීවත් වූවා. යුද කොට අනුරාධපුර රාජ්‍යය
අයත් කර ගැනීමට දකුණුගිරි විහාරයේ මහා දාගැබ් බිඳින්නට ඔහු සූදානම් වුණා. සෑය බඳේ
බිඳිය යුතු ස්ථානය දන්නේ ‘බහුලා’ නම් සැඬොල් උපාසකයෙක් පමණයි. රජු ඔහු ගෙනවිත් මේ
දාගැබ බිඳින්නට අණ කළා. එවිට ඒ සැඬොලා
“ස්වාමිනි, මම ‘බුද්ධං සරණං ගච්ඡාමි’ යැයි කියමින් සරණ ගිය උපාසකයෙක්. මට මේ සෑය
බිඳීම කළ නොහැකියි.” ඔහු කීව්වා. එයට කිපුන රජු ඔහු උල තැබුවා. ඔහුට පුත්‍රයන් සත්
දෙනෙක් සිටියා. ඔවුන් හත් දෙනා ම කැඳවා සෑ බඳ බිඳින්නට කීව ද, “ස්වාමීනි අප
බුදුරජාණන් වහන්සේ සරණ ගිය උපාසකයෝ වෙමු.” යැයි කියා සිටියා. ඔවුන් සත් දෙනා ද උල
තැබුවා. එසේ සරණ ගිය උතුම් මිනිසුන්ගේ අසිරිය ලොවට විදහාපාමින් සියල්ලෝ ම බලා සිටිය
දී උල උඩ සිටි අට දෙනා ම දිව්‍ය රූපයෙන් දිව්‍ය රථවල නැඟී තුසිත දෙව්ලොවට ගියා. සරණ
උකසට නො තැබූ ඔවුහු සිය ජීවිතය පවා අත්හළ අතර සැබෑ ම රැකවරණය ලැබුවා.
එනිසා නියත වශයෙන් ම සරණ ගියා නම් ඒ ශ්‍රාවකයා බුද්ධිමතෙක්. ජීවිතයට ප්‍රශ්න,
කම්කටොළු, දුක් පීඩා, කරදර එකවිට, එක දිගට එනවිට සරණ සොයා මිථ්‍යා දෘෂ්ටීන් වෙත එක
පිම්මේ දුවන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියන අය ම නොවේ ද? බොහෝ දෙනකුට සරණ තබා එහි
සුළඟවත් වැදී ඇති බවක් නො පෙනේ. එහෙත් ඔවුන් ද නිවන පතනවා. දුක් කරදර නැති දවසක්
පතනවා. සැබෑවට ම සරණ ගියා නම් පැතුවත්, නැතත් පිහිට සැලසෙනවා ම යි. අප මෙතෙක් ආ
සසරේ සියලු බුදු සසුන් අහිමි වන්නට ඇත්තේ මෙලෙසින් ම යි.
සුන්දර ව හිරු මඬල පායා තිබියදීත් කළාමැදිරි එළි සොයමින් මේ සසර ගමනේ අප ඇවිත්
තිබෙන්නේ. කළාමැදිරි එළිය තුළ කිසිදු රැකවරණයක්, ආරක්ෂාවක්, පිහිටක්, බිය රහිත බවක්
නැහැ.
එනිසා ම සැබෑවට ම සරණ ගිය ශ්‍රාවකයාගේ ජීවිතයට කෙ තරම් දුක් පීඩා, කරදර පැමිණියත්
ඔහු වෙනත් පිහිටක්, සරණක් සොයන්නේ නැහැ. තම රැකවරණය වෙනුවෙන් සරණ උකසට තබන්නේත්
නැහැ. ඒ ජීවිත සැබෑවට ම සුන්දර යි.
නයනා නිල්මිණී |