Print this Article


අනාගතයට සුරැකිය යුතු මිහිඳු සංස්කෘතිය

අනාගතයට සුරැකිය යුතු මිහිඳු සංස්කෘතිය

ශ්‍රේෂ්ඨ ඇත් රාජයකු සොයා ගෙන වනාන්තරයට පිවිසෙන ඇත් ගොව්වකු විශාල ඇත් පා සලකුණු දකී. එමෙන් ම ඉතා උස් තැන්වල ඇත් දල පහර දකී. උස තුරු මුදුන්වල කොළ දලු‍ ආහාරයට ගෙන ඇති ආකාරය ද දකී. නමුත් ඉන් සෑහීමට පත් නොවන ඔහු සිය දෑසින් ම ඇත් රජු දැක හඳුනා ගන්නා තුරු ම ඉදිරියට ගමන් කොට තමා අපේක්‍ෂිත ශ්‍රේෂ්ඨ ඇත් රජු සියැසින් ම දැක සැක දුරු කර ගනී

පුරපස පොසොන් සඳ නිළඹර නැඟුණේ ය
සරතැස නිවා මඳ සුළඟක් හැමුවේ ය
බරණැස් පුරෙන් නව දහමක් පැමිණේ ය
තුරු හිස් පවා මඳහස දී සැලුණේ ය

මිනිස් සිත්සතන් පමණක් නොව ගහකොළ සතා සිව්පාවුන් ආදී ජීවී අජීවී සමස්ත මිහිතලය ම එකලු කරමින් (ආලෝකෝ උදපාදි) එදා බරණැස් නුවර ඉසිපතනාරාමයෙන් බුදු මුවින් නික්මුණු සදහම් පණිවුඩය රැගෙන අනුබුදු මිහිඳු මාහිමියෝ පොසොන් පුර පසළොස්වක පොහෝ දින ලක්දිවට වැඩම කළහ.

දඩකෙළි පිණිස තම රාජකීය පිරිස ද සමඟ මිහින්තලා පර්වත පාමුලට ගොස් මුවකු පසුපස හඹා යමින් සිටි එවක රටේ පාලකයා වූ දෙවන පෑතිස් රජතුමාට මිහිඳු මාහිමියන් ඇතුළු ධර්මදූත කණ්ඩායම මුණගැසෙයි.

”‍මහරජ අපි ධර්ම රාජයාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබ කෙරෙහි ම අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි පැමිණියෙමු.”‍

දුනු හී පසෙක ලා විමතියෙන් බලා සිටින රජතුමාගේ සැක මිහිඳු හිමියෝ දුරු කළහ. ඊළඟට එළඹෙන්නේ ආගමික ඉතිහාසයේ පළමු බුද්ධි පරීක්ෂණය යි. මිහිඳු හිමියන් ඉදිරිපත් කරන අඹ ප්‍රශ්නය සහ නෑදෑ ප්‍රශ්නය පහසුවෙන් විසඳන රජතුමා බුද්ධි පරීක්ෂණයෙන් සමත් ව මිහිඳු හිමියන් විසින් පවත්වනු ලබන ලක්දිව මංගල ධර්ම දේශනාවට සාවධාන ව සවන් දුන්නේ ය.

චුල්ලහත්ථි පදෝපම සූත්‍රය ඇසුරෙන් මිහිඳු හිමියන් විසින් දේශනා කරන මෙම පළමු ධර්ම දේශනාවෙන් රජතුමා ශ්‍රද්ධාව, දැනුම සහ අවබෝධයේ ඇති වැදගත්කම තේරුම් ගත්තේ ය.

ශ්‍රේෂ්ඨ ඇත් රාජයකු සොයා ගෙන වනාන්තරයට පිවිසෙන ඇත් ගොව්වකු විශාල ඇත් පා සලකුණු දකී. එමෙන් ම ඉතා උස් තැන්වල ඇත් දල පහර දකී. උස තුරු මුදුන්වල කොළ දලු‍ ආහාරයට ගෙන ඇති ආකාරය ද දකී. නමුත් ඉන් සෑහීමට පත් නොවන ඔහු සිය දෑසින් ම ඇත් රජු දැක හඳුනා ගන්නා තුරු ම ඉදිරියට ගමන් කොට තමා අපේක්‍ෂිත ශ්‍රේෂ්ඨ ඇත් රජු සියැසින් ම දැක සැක දුරු කර ගනී.

බුදු දහමේ පරම නිෂ්ඨාව වූ නිර්වාණය අවබෝධ කර ගැනීමේ දී ශ්‍රද්ධාවෙන් දකින දේවලින් තෘප්තියට පත් නොවී ප්‍රඥාවෙන් ම නිවන අවබෝධ කර ගත යුතු බව මේ දේශනාවේ සරල සංක්ෂිප්ත පණිවුඩය යි. මෙම දහම් පණිවුඩයෙන් බුදු දහමේ ස්වභාවය පිළිබඳ පැහැදිලි අදහසක් රජතුමා තුළ ඇති වූ බව නිසැක ය.

මේ අනුව සිය ධර්මදූත සේවාව සඳහා රාජ අනුග්‍රහය ලද මිහිඳු මාහිමියෝ මහමෙව්නා උයන, රජ මාළිගය සහ නගරය ඇසුරු කර ගනිමින් රාජකීය පිරිසටත්, අන්තඞපුර කාන්තාවන්ටත්, පොදු මහජනතාවටත්, දහම් දෙසූහ. බණ ඇසූ සෑම කෙනෙක් ම තෙරුවන් කෙරෙහි පැහැදීමට පත්ව බෞද්ධ ශ්‍රාවකයන් බවට පත්වූහ.

දහම් දෙසීම සඳහා මිහිඳු මාහිමියෝ දේවදූත සූත්‍රය, විමානවත්ථු, පේතවත්ථු සහ බාල පණ්ඩිත සූත්‍රය ආදී ඉතා වටිනා සූත්‍ර රාශියක් යොදා ගත්හ. තැනට සුදුසු පරිදි සරල භාෂාවෙන් දේශනා කරන ලද මේ දහම් ඇසූ ජනතාව සැදැහැති උවසුවන් බවට පත් වූ අතර, දහම් පණිවුඩය නොබෝ දිනකින් ම ලක්දිව පුරා ව්‍යාප්ත කර හරින්නට මිහිඳු හිමියෝ සමත් වූ හ.

නිවැරැදි ආගමික වත් පිළිවෙත් සමාජගත කිරීම මෙන් ම සදාචාරාත්මක සමාජයක් ඇතිකිරීම මිහිඳු හිමියන්ගේ අපේක්ෂාව විය. පවට බිය, පිනට ලැදි, දුෂ්චරිතයෙන් තොර, සුචරිත සමාජයක් සඳහා මිහිඳු හිමියෝ සිය දේශනා යොදා ගත්හ. කර්මය සහ කර්ම ඵලය විශ්වාස කරන, හොඳ නරක, යහපත අයහපත හඳුනන, ගුණගරුක සමාජයක් ගොඩනැඟීම පිණිස තම ධර්ම දේශනා අවස්ථාවට ගැලපෙන පරිදි යොදා ගත්හ.

සමාජ සාධාරණත්වය, සාමය, සමඟිය, අන්‍යොන්‍ය විශ්වාසය තුළින් ශක්තිමත් සමාජ සංස්ථාවක් ගොඩනැඟීම පිණිස මිහිඳු හිමියෝ ත්‍රිපිටකයේ එන විවිධ සූත්‍ර ධර්ම තෝරා බේරා ගෙන ධර්මය දේශනා කළහ.

අන්තඞපුර කාන්තාවන් සඳහා උන්වහන්සේ තෝරා ගත්තේ විමානවත්ථු, පේතවත්ථු ආශ්‍රිත කතා ප්‍රවෘත්ති ය. එ මඟින් කුසල අකුසල කර්මඵල විපාක සහ ආනිසංස ගැන දැනුවත් විය. ලෝභ, ද්වේශ, මෝහ වැනි අකුසල මූලයන් මුල්ව සිදු කෙරෙන අකුසල් සහ දුෂ්චරිතවල විපාක ලෙස දුගතිවල උපදින බවත්, අලෝභ, අදෝෂ, අමෝහ ආදී කුසල් සිතින් සිදු කෙරෙන පුණ්‍යක්‍රියාවලින් සුගතිවල උපදින බවත්, එදා ජනතාව වටහා ගන්නට ඇත.

පවින් වැළකී යහපත් පුණ්‍ය ක්‍රියාවල යෙදෙන්නට මේ අනුව ඔවුහු පෙළඹුණු බව නිසැක ය.

සාමාන්‍ය ජනතාවගේ ජීවිත වරදින් මුදවා දැහැමි ජීවිත බවට පත්කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම මිහිඳු හිමියන් සමාජගත කළ දේවදූත සූත්‍රය සහ බාලපණ්ඩිත වැනි සූත්‍ර දේශනාවලින් සිදුවිය.

ජීවිතයේ අනිවාර්ය ලක්ෂණයක් වූ ජාති, ජරා, ව්‍යාධි, මරණ තේරුම් ගෙන ජීවිතය දෙස උපේක්ෂාවෙන් බැලීමටත්, එ මඟින් වරදින් මිදී යහපත් ජීවිත ගොඩනඟා ගැනීමටත් එදා ජනතාව මේ ඉගැන්වීම් තුළින් පෙළඹෙන්නට ඇත.

බාල පණ්ඩිත සූත්‍රයේ දැක්වෙන බාල පුද්ගලයකු තුළ දක්නට ඇති අයහපත් සිතුවිලි, වචන සහ ක්‍රියා සමාජයේ පිරිහීමට හේතුවන බවත්, නැණවත් පුද්ගලයකු සතු යහපත් සිතුවිලි, වචන සහ ක්‍රියාවන් සමාජ උන්නතියට හේතුවන බවත් එදා සමාජය මිහිඳු හිමියන් වෙතින් ඉගෙන ගත්හ.

ලංකා ඉතිහාසයේ තවත් අගනා කඩඉමක් සනිටුහන් කරමින් ලක්දිවට වැඩම වූ සංඝමිත්තා තෙරණියෝ මිහිඳු හිමියන් සිදු කළ සේවයට තවත් ඌණ පූර්ණයක් එක් කළහ. එතුමිය වැඩම කළේ අටළොස් කුලයක ශිල්පීන් සමඟ ය. ඔවුන් ප්‍රගුණ කළ විවිධ කලා නිර්මාණ, හැකියාවන් ලක්දිවට දායාද විය. එ මඟින් ශ්‍රී ලාංකික කලා පරපුරක් බිහි වූ අතර, ඔවුහු තම ලාංකික

අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් කැටයම් කලාව, මූර්ති කලාව, චිත්‍ර කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, වාරි කර්මාන්තය මෙන් ම රන්, රිදී, ලෝකඩ කර්මාන්ත දියුණුවට පත්කළහ. ලෝකයේ විශිෂ්ට නිර්මාණ බවට පත්වූ අවුකන ප්‍රතිමා වහනසේ, සමාධි පිළිරුව, සඳකඩ පහණ, ඉසුරුමුණි කැටයම් ඇතුළු බොහෝ නිර්මාණ පසුකාලීන ව බිහිවීමට මිහිඳු හිමියන් එදා සමාජය තුළ ඇති කළ මානසික ඒකාග්‍රතාව, කායික සංවරය, ඉවසීම, සංසුන් මනස පදනම් වූ බව කිව යුතු ය.

මෙම දිවයින පෙරදිග මුතු ඇටය, පෙරදිග ධාන්‍යාගාරය, ධර්මද්වීපය බවට පත්වූයේ මිහිඳු හිමියන්ගේ ලංකා ගමනය නිසා ය. රූමත් තරුණ කාන්තාවකට වටිනා මැණිකක් සුරත දරාගෙන තනිව ම දිවයිනේ උතුරු කොනේ සිට දකුණු කොන දක්වා නිරුපද්‍රිත ව ගමන් කිරීමට තරම් නිදහස් සාමකාමී පරිසරයක් ඇති වූයේ මිහිඳු හිමියන්ගේ සම්ප්‍රාප්තිය හේතුවෙනි. උන්වහන්සේ මෙරට ඇති කළ සංස්කෘතිය මිහිඳු සංස්කෘතිය යි.

ලංකා ඉතිහාසයේ රන් අකුරින් සටහන් වන මහින්ද මහ රහතන් වහන්සේගේ ලංකාගමනය නිසා මෙරට බිහි වූ නව සංස්කෘතිය නැවත නැවතත් කියවමින්, යථාවත් කරමින් රැකගත යුතු ය. අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගත යුතු ය.