Print this Article


ලොව යහපත් වන්නේ ගුණගරුක මවුපියන්ගෙනි

ලොව යහපත් වන්නේ ගුණගරුක මවුපියන්ගෙනි

පින්වත් දරුවන් බිහිවන්නේ පින්වත් මවුපියන්ට ය. සැබැවින් ම පින්වත් දරුවන් අපේක්ෂා කරන මවුපියන් දහමට යොමු වූ සදාචාරාත්මක ජීවිතයක් ගත කළ යුතු ය. එසේ වූ කල්හි ගිහි ජීවිතය පී‍්‍රතිමත් එකක් වනු ඇත

බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුව ගිහි ජීවිතයක් ගත කරන පුද්ගලයන්ට කාම සම්පත් වින්දනය අකැප දෙයක් නොවේ. එහෙත් කාම සම්පත් වින්දනය කළ යුත්තේ සදාචාරාත්මක දැහැමි පිළිවෙතක් අනුව ය.

බෞද්ධ දර්ශනය අනුව මේ අත්භවයේ දී විවාහ වී කාමභෝගී ජීවිතයක් ගත කරන ස්ත්‍රී - පුරුෂ දෙදෙනා අතර ඇත්තේ සංසාර බැඳීමකි. සසර පුරුද්දකි. සැබැවින් ම මේ ආකාරයෙන් සංසාරික වශයෙන් එකිනෙකා හඳුනාගත් ස්ත්‍රී - පුරුෂයන් විවාහ ජීවිතයේ දී ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් ය.

දැහැමි පවුල් ජීවිතයක් ගත කරන්නෝ විවාහය නම් ආයතනය තුළ අඹුදරුවන් පෝෂණය කරමින් ධර්ම මාවතක ගමන් කරති. දැහැමි පවුලක විශේෂයෙන් ම මවුපියන් හා දූදරුවන් අතර ඇත්තේ අවිච්ඡින්න වූ සම්බන්ධතාවකි.

මෙය මෙලොව පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය වූ සමාජ අංගයකි.

බුදුරජාණන් වහන්සේ විසින් පවුල නම් ඒකකයක පහත දැක්වෙන පරිදි කුල ආකාර හතරක් ඔස්සේ විවරණය කරනු ලැබ ඇත.

සබ්‍රහ්ම පවුල (කුලය), සපුබ්බාචරිය පවුල, සපුබ්බදේව පවුල හා සාග්‍රණෙය්‍ය පවුල ය.

මෙයින් සබ්‍රහ්ම පවුල යනුවෙන් දක්වා ඇත්තේ බ්‍රහ්මයා සහිත පවුලයි. තමාගේ දූ දරුවන් කෙරෙහි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන ගුණාංග දක්වන මවුපියන් වෙසෙන නිවෙස සබ්‍රහ්ම පවුලක් ජීවත්වන ගෙදරකි. සැබැවින් ම නවීකරණය වුණු, ගෝලීයකරණය වුණු නූතන සමාජයේ වඩාත්ම දක්නට ඇත්තේ කාමභෝගී, ආත්මාර්ථකාමී දිවිපෙවෙතක් ගත කරන ආත්ම කේන්ද්‍රීය වූ පුද්ගලයෝ ය. මෙවැනි මිනිසුන් අතරින් අදත් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතරබ්‍රහ්ම ගුණ ඉතිරි ව ඇත්තේ මවුපියන් තුළ ය.

සපුබ්බාචරිය පවුල දැක්වෙන්නේ මේ අයුරිනි. දරුවන්ගේ පූර්ව ආචාර්යවරුන් වන්නේ ඔවුන්ගේ මවුපියන් ය. දරුවකු මවු කුසින් ඉපදුණු දා සිට හදාවඩා බහ තෝරන්නට පටන් ගන්නා විට ම දරුවාට හොඳ, නරක පෙන්වා යහපත් හැසිරීම් රටාවන් උගන්වා, පුරුදුපුහුණු කොට හැඩවැඩ කරන්නේ මවුපියන් ය. එසේ හෙයින් දරුවන්ගේ පූර්ව ආචාර්යවරුන් වන්නේ මවුපියන් ම ය.

මවුපියන් දරුවන්ගේ පූර්වාචාර්යවරුන් ලෙසින් දරුවන්ට ලබා දෙන දැනුම හා ශික්ෂණය මූලික අංශ දෙකක් ඔස්සේ ක්‍රියාත්මක වේ.

1.ගහාපෙන්ති - යමක් ග්‍රහණය කර ගැනීමට, වටහා ගැනීමට, තේරුම් ගැනීමට අවස්ථාව සැලසීම

2. සික්ඛාපෙන්ති - සමාජයට හිතකර වූ ආකල්ප ඇති ශික්ෂාකාමී චර්යා පුරුදු පුහුණු කිරීම

එසේ හෙයින් බුදුරජාණන් වහන්සේ සපුබ්බාචරිය පවුලක මවුපියන් විසින් දරුවාට දැනුම පමණක් නොව, ශික්ෂණය ද, හැදියාව ද, චරිත සංවර්ධනය ද ඇති කළ යුතු බව දේශනා කොට වදාළහ. මෙය නූතන අධ්‍යාපනයෙන් ගිලිහී යමින් පවත්නා අංගයකි. දැනුම පමණක් හිසට පුරවන අධ්‍යාපනය මඟින් ශික්ෂාකාමී, සදාචාරවත්, ගුණගරුක දරුවකු බිහිකළ නොහැකි ය. මෙය අද අපට මැනවින් ප්‍රදර්ශනය වන්නකි.

සපුබ්බදේව පවුල -

දරුවන්ගේ පූර්ව දේවතාවෝ මවුපියන් ය. දේවතාවරුන්ගේ කාර්යය පුද්ගලයාට ආරක්ෂාව හා රැකවරණය සැලසීම ය. සැබැවින් ම දරුවාගේ ජීවිතය පුරා ආරක්ෂාව හා රැකවරණය සලසන්නේ මවුපියන් නොවේද? එසේ හෙයින් මෙවැනි මවුපියන් වෙසෙන පවුල සපුබ්බදේව පවුලකි.

සාග්‍රණෙය්‍ය පවුල -

ගිහියාට ඇති උතුම් ම, අගනාම සම්පත නම් අන් කිසිවක් නොව තමන්ගේ දරුවෝ ය. මේ බව සංයුක්ත නිකායේ වත්ථු සූත්‍රයේ ‘පුත්ථා වත්ථු මනුස්සානං’ යනුවෙන් සඳහන් ව ඇත.

සෑම ආගමක ම, සෑම ජාතියක ම මවුපියෝ තමන්ගේ දූ දරුවන් හදාවඩා යහපත් පුද්ගලයන් කිරීමට දැඩි වෙහෙසක් දරති. බුද්ධ දේශනාවේ එය මේ අයුරින් සඳහන් වේ.

මවුපියවරු දරුවන්ට බොහෝ උපකාරී වෙති. ඔවුන් මෙහෙයවන්නෝ ද වෙති. (ආපාදකා) පෝෂණය කරන්නෝ වෙති. (පෝසකා) මේ ලෝකය හඳුන්වා දෙන්නෝ ද වෙති. (ඉමස්ස ලෝකස්ස දස්සේතාරෝ)

මෙහි 'ඉමස්ස ලෝකස්ස දස්සේතාරෝ' යනුවෙන් මවුපියන් සතු වගකීම් හා යුතුකම් තුනක් හමුවේ. දරුවන් ලොකුමහත් වී සමාජගත වීමත් සමඟ ම වියපත් වන, දුබල වන මවුපියන් වෙනුවෙන් දරුවන් විසින් ආහාරපාන ඇඳුම් පැලඳුම් මෙන් ම ආදරය, කරුණාව, දයාව ද, රැකවරණය ද සැලසිය යුතු ය. මෙසේ මවුපියන් විෂයයෙහි දරුවන් විසින් කරනු ලබන සත්කාර, සම්මාන, ආහාරපාන ලැබීමට මවුපියෝ සුදුසුකම් ලබති. එසේ වන්නේ ඔවුන් දරුවන්ට සබ්‍රහ්ම, සපුබ්බාචරිය, සපුබ්බදේව වශයෙන් ඉටු කර ඇති අනන්ත වූ යුතුකම් ය. එසේ හෙයින් සාග්‍රණෙය්‍ය වශයෙන් දරුවන්ගේ සියලු සත්කාර ලැබීමට මවුපියෝ සුදුසු වෙති.

මවුපියන් විසින් දරුවකු පිළිසිඳ ගත් දා සිට එම දරුවා මෙලොවට බිහි ව සමාජගත වන තුරුත් ඉන් ඉදිරියටත් දරුවා වෙනුවෙන් අමිල කැපකිරීමක් කරනු ලැබේ. දරුවාගේ කායික, මානසික ආධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් ද, ඔවුන් නිසි මඟට යොමු කිරීම වෙනුවෙන් ද මවුපියන් දරන වෙහෙස හා දුක අපමණ ය. බාල වියේ සිටම අවශ්‍ය රැකවරණය ලබා දී, ආහාරපාන ලබා දී, බෙහෙත් ලබා දී, දුකට පිහිට වී අසරණ දරුවාට සරණ ව ලෝකය හඳුන්වා දී හොඳ, නරක, යහපත, අයහපත පෙන්වා දී ඇස් පාදන්නෝ මවුපියෝ ය.

බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව පින්වත් දරුවන් බිහිවන්නේ පින්වත් මවුපියන්ට ය. සැබැවින් ම පින්වත් දරුවන් අපේක්ෂා කරන මවුපියන් දහමට යොමු වූ සදාචාරාත්මක ජීවිතයක් ගත කළ යුතු ය. එසේ වූ කල්හි ගිහි ජීවිතය පී‍්‍රතිමත් එකක් වනු ඇත. දරුවාගේ ජීවිතයේ සාර්ථක අසාර්ථකභාවය පවතින්නේ මවුපියන්ගේ චර්යා සහ ආකල්ප මත ය. ඔවුන් තුළ ඇති ධර්මානුකූල වූ ත්, සදාචාරාත්මක වූ ත් දිවිපෙවෙත කෙරෙහි ය. සදාචාරාත්මක මවුපියන්ගේ දරුවෝ දැහැමි මාවතේ ගමන් කොට, සදාචාර සම්පන්න පුරවැසියෝ වන්නෝ ම ය. මෙවැනි මවුපියන් වෙසෙන පවුල් සංස්ථාවේ සියල්ලන්ගේ ම ජීවිත සැබැවින් ම මෙලොව වශයෙන් ද, පරලොව වශයෙන් ද සැනසිලිදායක වනවා නියත ය.