Print this Article


ඝෝෂක සිටුවරයාගේ කතා පුවත

ඝෝෂක සිටුවරයාගේ කතා පුවත

එක් අවදියක දඹදිව “අජිත” නම් රටක් විය. එකල්හි එහි ඇති වූ දුර්භික්ෂයක් හේතු කොට ගෙන ජීවත් වන්නට ඇති අපහසුව නිසා “කොතුහලික” නම් ගෘහපතියා තම බිරිඳ “කාලි“ හා පුතු “කාපී” සමඟින් අත තිබූ මුදලුත් මඟ වියදම් පිණිස ගෙන මඟට බැස්සෝ ය.

මඟ දිග් වූ හෙයින් අත තිබූ වියදම් අවසන් ව මහත් දුකින් ඉදිරියට යන්නේ “සොඳුර අප දෙදෙනා නොමැරී ජීවත් වුවහොත් දරුවන් ලැබීම අසීරු නොවේ. මට නම් සා පිපාසාවෙන් තවදුරටත් මේ දරුවා ඔසවාගෙන ගිය නොහැක. ඒ නිසා ‘මූ මෙහි දමා යමු’යි කී ය.

පියෙකුගේ හදවතට වඩා මවකගේ හදවත සැබැවින් ම මොළොක් ය.” යන කියමන සැබෑ වන්නා සේ, මෙහිදී “ මා පණ තිබෙන තුරු ඒ වැඩේ නම් කරනු නොහැකි ය” කියා වරින්වර “අප දෙදෙනා පුතු වඩාගෙන යමු” කාළී කීවා ය. ඔහු එය පිළිගත් නමුත් සා පිපාසා ආ විට පළමු සේ ම කී මුත් නැවැත බිරිඳ ගේ කීමට අවනත ව යන්නේ ඔහුගේ වාරයේ දී බිරිඳ මඟහරවා දරුවා අතරමඟ දමා ආහ.මවුතොමෝ හැරී බලන්නේ පුතු නො දැක, පුතු කොහි දැයි විමසා තත් දැන හඬන්නී නැවැත පුතු ගෙන ඒමේ දී අතින් අත මාරු වීම් හා දරුවාගේ සාපිපාසය නිසා පියාගේ කර මත ම දරුවා මළේ ය. කෙසේ මුත් පුතු හැර දැමීමේ පවින් මේ පියා භවයෙහි සත්වරක් ම හැර දැමුනේ ය. එහෙයින් පාප කර්ම කිසිවක් සුලු කොට නො සැලකිය යුතු ය.

අනතුරුව මළ පුතු හැර දැමූ මේ දෙපළ ඉදිරියට යන්නේ ගොපලු ගෙදරකට පැමිණියෝ ය. එ දවස ගොනුන් පිළිබඳ මඟුලෙක් එහි විය. පසේ බුදු කෙනකු නිතර මෙහි වළඳති. මෙදින ද කිරිබත් වැළඳ වූ පසේ බුදුරජාණන් වහන්සේ පිටත්ව ගිය පසු ගෙහිමියා එහි පැමිණි මේ දෙදෙනාගෙන් තොරතුරු විමසා කරුණා උපදවා ඔවුනට ද කිරිබත් හා ගිතෙල් ස්වල්පය බැගින් දුන්හ. “හිමියනි, ඔබ ජීවත් වුවහොත් මා ද ජීවත් වූවා වැනි” යැයි පවසමින් තමා කිරිබත් ස්වල්පයක් ගෙන ඉතිරි සියල්ල බිරිඳ සැමියාට ම දුන්නා ය. දින ගණනක් සා දුකින් පෙළුනු ඔහු ඉතිරි නො කොට සියල්ල කෑයේ ය. මෙ වෙලෙහි ගොපලු තෙමේ ද කිරිබත් ගිතෙල් කමින් ළඟ සිටි බැල්ලියට ද කිරිබත් ලොකු පි¾ඩක් දෙනවා දුටු කොතුහලික “අයියෝ මේ බැල්ලිය කෙතරම් වාසනාවන්ත ද නිතර මෙබඳු රසවත් ආහාර ලබන්නේ යැයි සිතුයේ ය. එදා රෑම කිරිබත් දිරවා ගත නොහී කොතුහලික කලුරිය කොට ගෙදර බැල්ලිය කුස පිළිසිඳ ගත්තේ ය. බිරිය සැමියාගේ සිරුර පුළුස්සා දමා එම ගෙදර ම වැඩපල කරමින් උපයාගත් දෙයින් පසේ බුදුරජාණන් ට ද සංග්‍රහ කරමින් විසුවා ය.

මෙවන් උතුමකු දැකීම වුව ද පින් ලැබෙතැයි සිතමින් එහි ම විසී ය. බැල්ලිය ද පැටවා ප්‍රසූත කළ පසු ගොපලු තෙමේ පැටවාට විශේෂ කොට සලකමින් පසේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ද ලෙන්ගතු ව කටයුතු කළේ ය. උන්වහන්සේ ද ගෙදර වළඳන විට පැටවාට බත් පිඬක් දීමෙන් ස්නේහය වඩා සිටිය දී දිනක් උන්වහන්සේ තම සිවුර මසා ගැනීමට ඈත පෙදෙසකට අහසින් පිටත්ව යනු දුටු බලු පැටියා ඒ බලා සිට නොපෙනී යත් ම ළය පැලී මියගොස් මහත් සැප ඇති තව්තිසා දෙව්ලොව උපන. පසේ බුදුරදුන් දවස උන්වහන්සේට ආරක්ෂාව පිණිස මහමඟ යද්දී මහත් හඬින් බිරූ හේතුවෙන් කටහඬ ශබ්ද ඇති දෙවියකු වූයේ ඒ පිනේ හේතුවෙනි. නමින් ඝෝෂක නම් විය.

දෙව්ලොව සතර කරුණකින් දෙවියන්ගේ චුත වීම සිදුවේ. පින් පිරිහීමෙන්, ආයු පිරිහීමෙන්, ආහාර පිරිහීමෙන් හා කිපීමෙන් ය. මෙහි ආහාර පිරිහීමෙන් යනු රති ක්‍රීඩායෙහි යෙදෙන දෙවිවරුන්ට සමහර විට ආහාර ගැනීම අතපසු වේ. මෙලොව මෙන් නොව දෙවිවරු නියමිත එක් වේලකුදු ආහාර නොගත්තේ නම් ගලෙහි රත් වූ වෙඬරු පිඬක් සේ ඔවුන්ගේ ආත්මය වැනසේ යනුවෙන් අටුවාවන් හි සඳහන් වේ. බිඩ්ඩාපිදුෂික දෙවිවරු යනු ද මොවුහු ය.

කිපීම යනු දෙවිවරු අතර ද තරහ, ක්‍රෝධය, වෛරය පවතින බවත්, එසේ වූයේ ද චුත වීම සිදුවන බව සඳහන් වේ. ඔවුහු මනාපදුෂික දෙවිවරු නමින් ද හඳුන්වයි.

මේ ඝෝෂක දෙවියෝ රතියෙහි ඇලී ආහාර නොගැනීමෙන් දෙව්ලොවින් චුත ව අප බුදුරජාණන් වහන්සේ දවස කොසැඹෑ නුවර එක් වෙසඟනක කුස පිළිසිඳ පුත්‍රයෙක් ව ඉපදීමේ හේතුවෙන් කූඩයක දමා කුණු ගොඩකට දැමී ය. වෙසඟනන් ගණිකා වෘත්තිය රකින බැවින් මෙසේ වීය. එමෙන් ම පෙරදා තම දරුවා අතරමඟ දැමීමේ පවින් විපාක ලෙස මෙවන් ප්‍රවෘත්තියක් වූ බව සඳහන් ය. මෙය පළමු අවස්ථාව වන අතර, මේ දරුවා මෙසේ සත්වරක් ම විපාක වශයෙන් පහත සඳහන් අයුරු මරණයට ගොදුරු වූ මුත් ඒවායින් ගැලවුනේ ය. ඒ පසේ බුදුරජුන් කෙරෙහි එදා තිබූ පැහැදීම නිසා ය.

මේ දරුවා කුණු ගොඩක දැමූ මුත් පෙර පසේ බුදුරදුනට ආරක්ෂාව පිණිස බිරීමෙන් කළ ආදර සංග්‍රහ පරිදි බලු කපුටෝ එක්ව රැක ගත්හ. මේ අතර එක් මිනිසෙක් බලු කපුටෝ රැස්ව සිටිනු දැක ළං ව බලද්දී දරුවකු සිටින බව දැක ස්නේහය උපදවා ගෙදර ගෙනගොස් රැක්කේ ය. මේ පෙදෙසෙහි සිටාණෝ මෙදින රාජ සේවයට යන්නේ නැකැත් තරු ගණින පෙරෙවි බමුණා මඟ දී හමුව දවසේ ශුභ අශුභ විමසන්නේ, අද උපන් දරුවකු මෙ පෙදෙසෙහි වේ නම් ඔහු කවදා හෝ මෙහි ප්‍රධාන සිටු වන්නේ යැයි කීහ. මෙහිදී සිටු බිරිඳ ද ගැබ් ගත්තී නමුදු තවමත් නො වැදූ බව දැන දාසියක කැඳවා දහසක් දී අද උපන් පිරිමි දරුවකු සොයා ගෙන එවයි කී විට දාසිය ගම පුරා ඇවිද ඉහත කී දරුවා හමුව අසුලා ගෙන ආ අයට දහසක් දී දරුවා ගෙන ආවා ය. සිටුතුමා දරුවා, දැක සතුටු වී මට දුවක ලැබුණේ නම් මොහුට ඇය පාවා දීමටත්, පුතකු වැදුවේ නම් මරා දැමීමටත් සිතා පෝෂණය කළේ ය. සිටු බිරිඳට පුතකු ම ලැබුණේ මොහු මරා දැමීමට සිටු තීන්දු කළහ.

මු නැති කල මගේ දරුවාට සිටු තනතුර ලැබෙන්නේ යැයි සිතා දාසියක කැඳවා මොහු ගෙන ගොස් ගොනුන්ගේ ගාල් දොර මැද පාගා මැරී යන සේ නිදි කර එවයි යැවීය. වෙනදා අවසන් ව එන ප්‍රධාන ගවයා මෙදා පළමුව පැමිණ කුඩා දරුවා දැක පා සතර මැදි කොට අනෙක් ගොනුන්ට යෑමට සැලැස්වීය.

ගොපල්ලා මෙය දැක දරුවකු ලැබුණි යැයි සතුටු ව ගෙදර ගොස් රැක්කේ ය. දාසිය මේ පුවත සිටුහට දැන්වූවා ය. මේ දෙවන අවස්ථාව ය. සිටු තවත් දහසක් දී ඒ දරුවා ගෙනැවිත් නැවැත අලුයම වෙළඳාමේ යන කරත්තවලට හසුව මියැදීමට පාර මැද දමා එව යි දාසිය අත යැවීය. මෙදින ඉදිරියෙහි ආ ගැල් දෙටුවාගේ කරත්තයෙහි බැඳි ගොනුන් දරුවා ළඟට පැමිණ අඟලකුදු ඉදිරියට නොයා දරුවා රැක්කා ය. මෙය දුටු ගැල් දෙටුවා විමසන්නේ දරුවකු දැක මට පුතෙක් ලැබුනාහ’යි සතුටු ව ගෙට ගෙන ගියහ. දාසිය සිටුහට මේ බව දැන්වීය. දරුවා බේරුණු තෙවන අවස්ථාව මෙය වීය.

අනතුරුව සිටු තෙමේ දාසිය ලවා දහසක් දී නැවත දරුවා ගෙන්වා ගෙන බලු සිවලුන්ට හෝ අමනුෂ්‍යයන්ට බිලිවන්නට යි සිතා මූ අමු සොහොනට ගෙන ගොස් දමවයි දාසියට කීය. මෙසේ දැමූ ඔහුට බල්ලෙක්, කපුටෙක් හෝ අමනුෂ්‍යයෙක් ළං නොවූයේ බලු ව උපන් කාලයේ පසේ බුදුරදුන් කෙරෙහි ස්නේහයෙන් කළ බිරීමේ අනුහසින් ය. ඒ අතර දහස් ගණනක් එළුවන් රැගෙන තණ බිමට යන එක් එළු එඩේරෙක් සොහොන් බිමෙහි කොළ කමින් සිටි එළු දෙනක් දෙදණ බිම ඇණ ඒ දරුවාට කිරි පොවනු දුටුවේ ය.

දරු ස්නේහය උපන් ඔහු පුතකු ලැබුණයි ගෙට ගෙන ගියහ. සිව්වෙනි වරට ද මෙසේ දිවි ගැලවිණි. දාසිය මේ තොරතුරු සිටුහට කී විට නැවැත දහසක් දී දරුවා ගෙන්වා හොරුන් හෙළන කඳු මුදුනකට ගෙන ගොස් මූ බිම හෙළව යි කීහ. එසේ කල කල්හි දී උණ පඳුරක රෑනව වැවුණු ඔළිඳ වැලක පැටලී දිවි බේරුනේ පස්වැනි වතාවට ය. එදවස එක් නළාකාරයෙක් පුතු සමඟ උණ දඬු කපන්නට ගොස් දරුවා දැක ගෙදර ගෙන ගියහ. දාසියගේ තොරතුරු අනුව එවර ද දහසක් ගෙවා දරුවා ගෙන්වා ගෙන මහත් කෝපයට පත්ව නැවතත් උපායක් සොයන්නට විය. දරුවා ද කෙමෙන් වයසින් මෝරා යන්නේ ය.

දවසක් සිටුතුමා සිටු ගෙට වළන් සපයන කුඹලා සොයා ගොස් මගේ අවජාතක දරුවෙක් ඇත. කාටත් නොදැනෙන ලෙසට මූ මා මෙහි එවූ විට අල්ලා මරා කෑලිවලට කපා පෝරනුවට දමවයි දහසක් අත තබා පසුව තවත් සලකන බව කියා හෙට කොලුවා එවන බවත් දන්වා ආපසු ගියේ ය. පසුදා ඝෝෂක කැඳවා

“කුඹලාට මා පණිවිඩයක් කියා ඇත. කවරකු හෝ එහි නොගියොත් ඒ වැඩේ සිදු නොවන හෙයින් දැන් පුතු ඔබ එහි යා යුතු යැයි කියා” පිටත් කර හැරියහ. මෙසේ යන ඔහු මල්ලී සෙල්ලම් කරන තැනට ගියවිට,

“අයියේ, මොවුන් මගෙන් මසු ලක්ෂයක් දිනාගෙන තිබේ. කුඹල් ගෙදර පණිවිඩය මම ගොස් කියන්නම්. අයියා මොවුන්ගෙන් මට එය දිනා දෙන්න.”

“මල්ලී මට බැහැ. මම එහි නොගියොත් පියා මට තළන්නේ ම ය. මම එයට බිය වෙමි.”

“අයියා බිය නොවන්න. මම එය බලා ගන්නම්.”

“එහෙනම් මල්ලී ඔයා යන්න. දිනාගත් ලක්ෂය මම ඔබට ලබා දෙමි”යි කිවූ විට මල්ලි කුඹල් ගෙදර ගියේ ය. සිදුවිය යුත්ත ඒ අයුරෙන් ම සිදු වූ අතර, හයවැනි වතාවෙහි ද මෙසේ ඝෝෂක මරණින් ගැළවිණි.

මුදල් දිනා ගත් ඝෝෂක මල්ලී එනතෙක් බලා සිට සවස් වූ හෙයින් ආපසු සිටු මැදුරට ගියේ ය. සිටු ඔහු දැක ඇයි පුතේ නුඹ කුඹල් ගෙදර නොගියේ දැයි ඇසූ විට සියලු විස්තර ලොකු පුතා කියන්නේ සිටු ගැහෙන්නට විය. හැඬුණේ ය. වෙව්ළන්නට විය. ලේ උණු විය. සිහිමුලාව කුඹල්ගෙදරට දුවගොස් සිදු වූ විපත දැන මැරෙන තුරුම ඔහුට එය විඳවන්නට විය.

මෙතැන් සිට ඝෝෂක දෙස හැරීවත් නො බලන සිටු තෙමේ කෙසේ හෝ මොහු මරන්නට ම කල් මැරීය. ටික දවසක් ගත විය. ගම්මුලාදෑනියා ලවා මරවම්’යි සිතා ඔහුට ලියුමක් ලිවීය. “මූ මට අවජාතකයෙකි. කෙසේ හෝ මොහු රහසේ මරා වළලා ඒ බව මට දන්වා එව. මෙය කළ යුත්තක් ම ය. පසු සැලකුම් මම නො වළහා ඔබට කරමි”යි යනුවෙන් ලියා ඝෝෂකට කථා කොට ඔහු ඇඳි රෙද්දේ කෙළවර එම ලියුම් කරදාසිය බැඳ පිටත් කළේ ය.

උපන් දා පටන් මරන්නට විධි යෙදූ හෙයින් ඝෝෂක හට අකුරු ඉගෙනීමක් නො වීය. මඟට බට ඝෝෂක, “පියාණෙනි, මඟට වියදම් නැතැයි කීය. වියදම් වුවමනා නැත. එ ගමෙහි සිටාණෝ මගේ යහළුවෙකි ය” යී කී ය. දිග් මගට බට මොහු මඟ ගෙවා වෙහෙස ව සිටි හෙයින් සිටු ගෙදරට ගොඩ විය. ආ ගිය තොරතුරු විමසා සිටු දේවිය, පුත් සෙනෙහසින් මහත් සත්කාර කොට විවේකයට ද ඉඩ සැලසීය. මෙහි දහසය හැවිරිදි සිටු දියණියකි. ඇය පෙර කොතුහලිකගේ බිරිඳ ව සිට පසේ බුදුරදුන්ට දන් පිළිගැන්වීමේ පිනෙන් මේ සිටු ගෙදර උපනි. මේ අතර තම දාසිය මඟින් ඝෝෂක ආ තොරතුරු දැන පෙර පැවැති ආදරය සිහිගැන්වී මොහු දක්නට කාමරයට ගොස් නිදා සිටි ඔහුගේ වස්ත්‍රයේ ගැටය දැක එය ලිහා බලා කියවා සිදුවන්නට යන විපත දැක වහා එ ඉරා දමා මෙසේ ලියුමක් ලියා එහි දැවටීය.

“මුලාදෑනිය, මෙම ලියුම ගෙන එන්නේ මගේ පුත් ඝෝෂක ය. මගේ වතුපිටි ආදායමෙන් මොහුට පහසුකම් සහිත ගෙයක් සාදවා මුරකරු රැකවල් ලා, ජනපද සිටු දියණිය විවාහ කර දී මට දන්වන්න. ඔබට කළ යුතු සත්කාර මම කරමි.” යනුවෙනි. මේ සත්වැනි වරටත් පිනෙන් දිවි බේරුණු ඇයුරු ය.

පසුදා ඝෝෂක නින්දෙන් නැඟිට මුව සෝදා ගෙන සිටු ගෙදරින් සංග්‍රහ ලැබ පිටත්ව ගොස් ගම්මුලාදෑනි හමුව පියා ලියුමක් දුන්නා යැයි ගැට ගසා තිබූ ලියුම දුන්නේ ය. සිටුතුමා මට කොතරම් ස්නේහයහි ද ලියුම කියවා බලා සතුටු වූ ගම්මුලාදෑනියා අලුතෙන් නිවසක් සාදා විවාහය ද කරදී සියලු කටයුතු ඉක්මනින් අවසන් කොට ඒ බව සිටුහට දන්වා යැවීය.

මෙහි දී සිටු තදින්ම තමාට වූ විපත් සමඟින් පුතු මළ ශෝකයෙන් කල් ගෙවන්නේ ලේ අතීසාරයෙන් පෙළෙන්නට වූයේ ය. මේ අතර ඝෝෂක භාර්යාව වූ සිටු කුමරිය කොසඹෑ සිටු මැදුරෙන් යම් පණිවිඩයක් ගෙන කෙනකු ආවොත් මා වෙත කැඳවා ගෙන එවයි.” මුරකරුවන්ට නියෝග කළා ය. තෙවරක් ම පණිවිඩ රැගෙන ආ දූතයන්ගේ තොරතුරු අසා හොඳින් සලකා රඳවාගෙන සිටි අතර සිටුහට දැන් අසාධ්‍ය බව දැන ඝෝෂක සමග පිය සිටු බැලීමට ගියෝ ය. එහි ගිය ඔවුන් බිරිඳගේ යෝජනා අනුව පියා හිස ලා සිටි තැන ඝෝෂක බිරිඳ වූ සිටු දේවිය ද, පා අසලින් ඝෝෂක පුතු ද සිටිය දී ඝෝෂක පැමිණි බව සේවකයකු දන්වා සිටි විට බලවත් අපහසුවෙන් ඇස් ඇර බැලූ සිටු තෙමේ ඔහු දැක අයකැමි කැඳවා උපභෝග පරිභෝග ධනයේ වටිනාකම විමසා ඝෝෂක හට කිසිවක් නොදෙමි කියන්නට ගිය ද, ඒ සියල්ල ‘දෙමියි’ කී සැණින් සිටු හට එය වැරදුණු බව දැන නැවත කතා කිරීමට නො හැකි වන සේ සිටු කුමරිය ශෝකයෙන් මැඩුනු අයකු සේ හඟවා හිසකෙස් විහිදවා “පියාණෙනි, අප ආවේ ධනය පතා නොව පියා ජීවත් කරවන්නට” යැයි කියමින් සිටාණන්ගේ පපුව මැද ඔලුව හප්පමින් අඬන්නට වූයේ ඒ තද පහරින් ම සිටු කලුරිය කළේ ය.

ඉන්පසු ඝෝෂක තම පියා මළ බව උදේනි රජුට දැන්වීමෙන් වෙනත් පුත් කුමරකු නැති බව දැන පියා සතු ධනය සමඟ සිටි තනතුර ඝෝෂක හට දුන්නේ ය. පසුව ඝෝෂක සිටු බිරිඳ හා ආරම්භයේ දී ම මොහු මැරීමට සම්බන්ධ වූ දාසියගෙන් ඉකුත් තොරතුරු සියල්ල දැනගත් ඝෝෂක සිටුතුමා මෙසේ සත්වරක් ම මරණයෙන් මිදුණු මම පව්කාර ජීවිතයක් ගත කිරීම නොසුදුසු ය. පිනට කුසලයට නැමුණු ජීවිතයක් ගත කළ යුතු යැයි සිතා දිනපතා බොහෝ වියදම් කොට අඳ, ගොළු, බිහිරි, දුගී මගී යාචකයනට දන් දීමට පටන් ගත්හ.