Print this Article


බෞද්ධ භික්ෂුවගේ සමාජ වගකීම

බෞද්ධ භික්ෂුවගේ සමාජ වගකීම

ශාසනය පිරිහී ගිය යුගයකින් අනතුරුව වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජයන් වහන්සේගේ යුගයේ ආයෙමත් උපසම්පදා වූ සඟ පරපුරක් ලබන්නට තරම් අප වාසනාවන්ත වුණා. එසේ අප පසු කොට පැමිණි ඇතැම් යුගවල දී භික්ෂූන් වහන්සේට පෙර කී මූලික ශාසනික ප්‍රතිපදාවෙන් බැහැර ව ජනතා අරගලවලට නායකත්වය දෙන්නට පවා සිදු වුණා

මින් වසර 2523කට පෙර වෙසක් පුන් පොහොය දිනයක දී අපගේ මහ බෝසතාණන් වහන්සේ නේරංජනා ගං තෙර ඇසතු බෝ රුක් සෙවණේ දී දස මරසෙන් පරදා සියලු කෙලෙසුන් නසා උතුම් සම්මා සම්බුදුබවට පත් වී වදාළා. සම්බුදු බවට පත් වූ උන්වහන්සේගේ සිතේ මෙවන් අදහසක් ඇති වුණා.

“ලෝකයා ආශාවන්ට ම ඇලිලා, ආශාවන්ගෙන් ම සතුටු වෙවී, එහි ම බැසගෙනයි වාසය කරන්නේ. ඉතින් මා අවබෝධ කළ ධර්මය නො ඇල්ම ගැන ඉගැන්වෙන එකක්. උඩුගම් බලා යන එකක්. ගැඹුරු එකක්. කීමට දුෂ්කර එකක්. ඉතා සියුම් එකක්. අවිද්‍යා අන්ධකාරයෙන් වැසුණු, රාගයෙන් ඇලුණු මේ සත්වයෝ මේ ධර්මය කෙසේ නම් අවබෝධ කරන්න ද?”

තථාගතයන් වහන්සේට මුලින් ම ඇති වුණේ මෙවැනි අදහසක් නිසා තථාගතයන් වහන්සේගේ සිත ධර්ම දේශනාවට නැමුණේ නෑ. ඒ වෙලාවේ සහම්පති බ්‍රහ්මරාජයා බුදුරජාණන් වහන්සේගේ සිත තුළ උපන් මේ සිතිවිල්ල දැක්කා. ක්ෂණික ව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පහළ වෙලා උන්වහන්සේට මෙසේ ආරාධනා කළා.

“ස්වාමීනි, මේ ලෝකයේ කෙලෙස් අඩු සත්වයින් ඉන්නවා. ධර්මය අසන්නට නො ලැබුණොත් ඒ අය පිරිහී යාවි. ධර්මය අසන්නට ලැබුණොත් අවබෝධ කරන අය පහළ වේවි.”

ඔබට මෙතැන දි සිතේවි සර්වඥ වූ තථාගතයන් වහන්සේට මේ කරුණ මුලින් නො පෙනුණේ ඇයි ද?, එහෙනම් මහා බ්‍රහ්මයා ද වඩාත් හොඳින් ලෝකය දකින්නේ කියලා. එහෙම වෙන්නෙ ධර්මතාවක් නිසා. ඒ තමයි බෝසතාණන් වහන්සේ නමක් මනුලොව උපදින්නෙත්, දහම් දෙසන්නෙත්, පිරිනිවන් පාන්නෙත් ආරාධනාවකින් ම වන නිසා.......”

ඉතින් ඒ ආරාධනාවෙන් පස්සෙ භාග්‍යවතුන් වහන්සේ මහා කරුණා නෙතින් ලෝකය දෙස බලද්දී මේ ලෝකය දුටුවේ නෙළුම් පොකුණක් විදියට. සත්වයන්ගේ කෙලෙස් අඩු වැඩි බව, ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන්ගේ අඩු වැඩි බව උන්වහන්සේට මනා කොට අවබෝධ වුණා. ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ මේ විදියට සහම්පති බ්‍රහ්මයාට පිළිතුරු දුන්නා.

“නැණැති දනන් හට ඒ අමා නිවන් දොර ඔන්න මං විවෘත කළා. සදහම් අසනු කැමැත්තෝ ශ්‍රද්ධාවට පැමිණෙත්වා... පින්වත් බ්‍රහ්මය, මා මේ නො ඇල්ම පිණිස වූ ධර්මය, මිනිසුන්ට එකවර ප්‍රකාශ නො කළේ එය වෙහෙසක් පමණක් වේ ය යන අදහස නිසයි.”

මෙසේ ලොවට නිර්වාණයේ ස්වර්ණ ද්වාරය විවර වීමෙන් අනතුරුව පළමුව උන්වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කිරීමේ වාසනාව උදාවුණේ පස්වග භික්ෂූන් වහන්සේට යි. භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාවෙන් හික්මුණු උන්වහන්සේ නොබෝ දිනකින් ම අරහත්වයට පත් වුණා. පස්නමක් වූ රහතන් වහන්සේ සමඟ සර්වඥයන් වහන්සේ පළමුවැනි වස් කාලය ගත කළේ බරණැස ඉසිපතන මිගදායේ දී. වස් එළැඹි හය වන දිනයේ දී යසකුල පුත්‍රයාත්, ඔහුගේ මිත්‍ර කුමාරවරු පනස් හතර දෙනෙකුත් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් පැවිදි ශ්‍රාවකයන් බවට පත් වුණා. නොබෝ දිනකින් ම ඒ පින්වත් ස්වාමීන් වහන්සේ ද සියලු කෙලෙසුන් නසා උතුම් අරහත්වය සාක්ෂාත් කළා. මෙසේ හැටනමක් වූ රහතන් වහන්සේ සමඟ භාග්‍යවතුන් වහන්සේ වස් එළැඹී සමවත් සුවයෙන් කාලය ගත කළා.

වස් අවසානයේ භාග්‍යවතුන් වහන්සේ හැටනමක් වූ රහතන් වහන්සේට මෙසේ අවවාද කොට ධර්මය ප්‍රචාරය පිණිස පිටත් කොට හැරියා.

“පින්වත් මහණෙනි, බොහෝ ජනයාගේ හිත පිණිස, බොහෝ ජනයාගේ සැපය පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙවි මිනිසුන්ට වැඩ පිණිස චාරිකාවේ වඩින්න. මුල, මැද, අග පිරිසුදු වූ, අර්ථ සහිත, පැහැදිලි ප්‍රකාශන මාධ්‍යයකින් යුක්ත වූ, මුළුමනින් ම පාරිශුද්ධ වූ නිවන් මඟ ම දේශනා කරන්න.”

මේ ආකාරයෙන් දෙවි මිනිසුන්ගේ යහපත පිණිස ආරම්භ වූ වැඩපිළිවෙළ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පාන මොහොත දක්වා ම පන්සාළිස් වසක් මුළුල්ලේ ම නො සිඳී පැවතුණා. උන්වහන්සේගේ පැවිදි ශ්‍රාවක පිරිස වූ භික්ෂූන් වහන්සේ ද තම ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාව තුළ හික්මෙමින්, තමන් වහන්සේ යම් අර්ථයක් පිණිස ගෞතම බුදුසසුනේ මනා කොට පැවිදි බවට පත් වූවා ද, ඒ අර්ථය සාක්ෂාත් කිරීමට වෙහෙසෙමින්, චාරිකාවේ වඩිමින් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය ඒ අයුරින් ම දේශනා කළා. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ පිනැති දෙවි - මිනිසුන් සතර අපාය මහා ගෙදර කර ගත් බියකරු සසර ගමනින් එතෙර වීමේ මඟට පැමිණීමට වාසනාවන්ත වූවා. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු රහතන් වහන්සේ ඉතා දූරදර්ශී ලෙස ක්‍රියා කරමින් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නො නැසී පැවතීම පිණිස සංගායනා කොට කටපාඩමින් දරා ගැනීමට භික්ෂූන් වහන්සේට භාර කළේත්, භාග්‍යවතුන් වහන්සේගේ මුල් ඔවදන චිරාත් කාලයක් ක්‍රියාවේ යෙදවීමට ඇවැසි පසුබිම සකසමින්.

භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළින් තමන් වහන්සේගේ ජීවිතවලට සනාතන රැකවරණය සලසා ගත් උන්වහන්සේ ඒ ධර්මය මතු අනාගතයටත් සුරක්ෂිත කිරීම පිණිස දිවිහිමියෙන් කැපවුණා. පසුකාලීන ව භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල ධර්මය ග්‍රන්ථාරූඪ කොට සුරක්ෂිත කිරීමටත් උන්වහන්සේ පියවර ගත්තේ ඒ උතුම් අර්ථය සලකා ගෙන ම යි. සංඝයා වහන්සේගේ ඒ දූරදර්ශී බව නොතිබෙන්නට අද අප ගුණ ධර්මයක් නො වඩන, කුසල්, අකුසල් ගැන කිසිවක් ම නො දන්නා, නිකම් ම නිකම් හිස් ජාතියක් වන්නටත් ඉඩ තිබුණා.

කාලයාගේ ඇවෑමෙන් දඹදිව බුදු සසුන අතුරුදන් වුණා. ධර්මය චිරස්ථායි වූ ලක්දිවටත් විවිධ විදෙස් ආක්‍රමණ එල්ල වුණා. ඒ ආක්‍රමණ හමුවේ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ වදාළ මූලික අරමුණ ම ක්‍රියාවේ යොදවමින් ශාසන ප්‍රතිපදාවේ යෙදෙන්නට නො හැකි යුගයක් උදා වුණා. එසේ ශාසනය පිරිහී ගිය යුගයකින් අනතුරුව වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජයන් වහන්සේගේ යුගයේ ආයෙමත් උපසම්පදා වූ සඟ පරපුරක් ලබන්නට තරම් අප වාසනාවන්ත වුණා. එසේ අප පසු කොට පැමිණි ඇතැම් යුගවල දී භික්ෂූන් වහන්සේට පෙර කී මූලික ශාසනික ප්‍රතිපදාවෙන් බැහැර ව ජනතා අරගලවලට නායකත්වය දෙන්නට පවා සිදු වුණා. එහෙත් ඒ කිසි කලෙක සසුන් ප්‍රතිපදාවන් සහමුලින් ම වනසා ගෙන අරගල කරන්නට භික්ෂූන් වහන්සේ මැදිහත් වුණේ නැහැ. ඒ නිසා මේ දක්වා ම සම්බුද්ධ ශාසනය සුරක්ෂිත වුණා.

මේ ගෙවී යන්නේ ගෞතම බුද්ධ ශාසනයේත් අවසාන භාගය බව අපට රහසක් නොවෙයි. ඉතින් වර්තමානයේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය නියෝජනය කරන සඟරුවන තමන් වහන්සේගේ වගකීම ඉතා නිවැරැදි ව ඉටු කරන්නේ නම්, එය දෙව් මිනිසුන්ට බොහෝ හිත සුව පිණිස පවතිනවාට කිසිම සැකයක් නැහැ. උන්වහන්සේගේ පරමාදර්ශී චරිත ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ ගෞතම ශාසනය ශෝභමාන කරමින් වැඩ සිටි සාරිපුත්ත, මොග්ගල්ලාන මහරහතන් වහන්සේයි. උන් වහන්සේගේ ගුණ සුවඳ, පාරිශුද්ධ සීලයේ බලය අදටත් තියෙනවා. වර්තමානයේ යම් භික්ෂුවක් රහතන් වහන්සේ වැඩි මඟ අනුගමනය කරමින් ගුණ ධර්ම දියුණු කරනවා ද, ඒ පින්වතුන් වහන්සේ ලෝකයට ම කල්‍යාණ මිත්‍රයෙක්.

ධර්මයේ හැසිරෙන්නාට මේ ලෝකයේ උපකාර ලැබෙන්නේ කලාතුරකින්. ඉතින් මෙවන් වකවානුවක සසුන් බර උසුලා සිටින භික්ෂූන් වහන්සේ විශේෂයෙන් ම ඒ මාර උගුලට හසු නො වී සිටීමට ප්‍රවේශම් විය යුතුයි. මන්ද යුද්ධ කෝලහල ලෝකයේ හැමදාම පවතිනවා. අරගල, ආක්‍රමණ ලෝකයේ හැමදා ම පවතිනවා. ආගමික ත්‍රස්තවාදයත් ලෝකයේ හැමදා ම පවතිනවා. ඒත් බුද්ධ ශාසනයක් ලෝකයේ පවතින්නේ කලාතුරකින්. අරහත් ධජය දරාගත් ස්වාමීන් වහන්සේ මේ මහ පොළොව මත පා තබා ඇවිද යන්නේ කලාතුරකින්.

වර්තමාන ලෝකයේ ඉතා ම දුර්ලභ වන්නේ දේශපාලන නායකයින් නොවෙයි, කැරලි කණ්ඩායම් නායකයනුත් නොවෙයි, සමාජ ශෝධකයනුත් නොවෙයි..... ඔවුන් කවර කලෙකත්, අබුද්ධෝත්පාද කාලවල දී පවා ලොවට පහළ වෙනවා. ඒත් කල්‍යාණමිත්‍ර සම්පත්තිය එසේ මුණ ගැසෙන්නේ නැහැ. පවිටු මාරයාගේ බලපෑම ප්‍රබල මේ යුගයේ සම්බුදු සසුනේ පැවැත්ම තහවුරු කරන භික්ෂුව උන්වහන්සේගේ ඓතිහාසික කාර්යභාරයෙන් වෙනතකට හැරවීමට සියලු බලතල යොදන බවට සැකයක් නැහැ. ඒ නිසා අද ජීවත්වන අල්ප පිනැති ගිහි පැවිදි අප සියලු දෙන නො මඟ වැටීමට ඇති ඉඩ - හසර බොහෝයි. එයින් වැළකීමට අප භාවිත කළ යුත්තේ ද ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය ම යි.

උන්වහන්සේ වදාළා පැවිදි ශ්‍රාවකයන් වහන්සේ විසින් නිතර නිතර මේ කරුණු සිහිපත් කළ යුතු බව..........

මම දුර්වර්ණ භාවයට පැමිණියෙක් වෙමි.

මාගේ ජීවත්වීම අන්‍යයන්ගේ සිව්පසය හා බැඳී තිබෙන්නේ ය.

මා විසින් පැවිද්දන්ට ගැළපෙන අන්‍ය වූ ආකල්පයක් ඇති ව සිටිය යුත්තේ ය.

මාගේ සිත ශීලය හේතුවෙන් මට චෝදනා කරන්නේ ද?

නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේ කරුණු සහිත ව මා හට ශීලයෙන් චෝදනා කරන්නේ නැති ද?

මා හට පි‍්‍රයමනාප වූ සියලු දෙයෙහි වෙනස් වෙන ස්වභාවයන්ට පත්වීම, විනාශයට පත්වීම තිබෙන්නේ ය.

මා කරන ලද දෙයින් ඇතිවන විපාකය මා සතු දේ වශයෙන් ඇති ව සිටින කෙනෙක්මි. මා කරන ක්‍රියාව ම දායාදය කොට සිටින කෙනෙක්මි. මාගේ ක්‍රියාව මා උපදින තැන තීරණය කරන ස්වභාවයෙන් යුතු වෙමි. මාගේ ක්‍රියාව ම ඥාතියා කොට වසමි. කල්‍යාණ වූ හෝ පාපී වූ හෝ යම් ක්‍රියාවක් කරන්නේ නම්, එහි ඵලය දායාදය කර ගන්නෙක් වෙමි.

මට රාත්‍රියත්, දහවලත් ඉක්ම යන්නේ කොයි අයුරින් ද?

මම ධර්මයේ හැසිරීමට යෝග්‍ය වූ ජනශූන්‍ය තැනෙක සිත් අලවා වාසය කරන්නේ ද?

මා විසින් සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවා ගිය, ආර්ය වූ ඥාන දර්ශන විශේෂයක් අත් පත් කරගෙන ඇත්තේ දැයි අවසාන කාලයේ සබ්‍රහ්මචාරීන් වහන්සේ විමසන ලද්දේ නම් මම තේජස් රහිත ව මුව යටට හරවා නො සිටින්නෙමි.

(දස ධම්ම සූත්‍රය - අ. නි.)

මේ කරුණු සිහිපත් නො කරන තාක් පැවිදි ජීවිතවලට උත්තරීතර ඉලක්කයක් ඇති වෙන්නේ නැහැ. උත්තරීතර වූ ලෝකෝත්තර ඉලක්කයක් ඇති නොවන තාක් ජීවිතයකට තිබෙන්නේ ලෞකික වූ කාමයන්ට අයිති ඉලක්ක පමණයි. එවැනි ඉලක්ක හා සම්බන්ධ ප්‍රතිපදාවකින් යුක්ත කෙනකුට තමන් කොපමණ කැමැති වුවත් ලෝකයට යහපත උදා කරන්නට හැකියාවක් නැහැ.

භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සුරකිනු පිණිස යම් පිරිසක් සංවිධානගත වන්නේ නම්, ඒ ඒ සංවිධානවල ඉලක්ක, අරමුණු, ප්‍රතිපත්ති ආදිය භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ මූලික ඉලක්කවලින් බැහැර නො විය යුතුයි. ධර්මයේ නාමයෙන් යුද කෝලාහල ඇති වී නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අතුරුදන් වනු කැමැති යම් යම් කණ්ඩායම් ඔවුන්ගේ පහත් අරමුණු මුදුන්පත් කර ගැනීම පිණිස දුෂ්ට සිතින් භාග්‍යවතුන් වහන්සේටත්, ධර්මයටත්, ආර්ය මහා සඟ පිරිසටත් නිග්‍රහ වන අයුරින්, කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරනු මෙකල බොහෝ කොට දකින්නට පුළුවන්. එවන් අවස්ථාවල දී පවා අප කටයුතු කළ යුත්තේ ධර්මානුකූලව ම යි. මෛත්‍රී කරුණා පෙරදැරිවයි. යමෙක් අවුළුවන්නට උත්සාහ කරද්දී, ඇවිළෙන්නේ නැති ව ඉන්න පුළුවන්කමයි දක්ෂකම.

අද අපට මහා වටිනාකමක් ඇතිවාක් මෙන් පෙනෙන, යාන - වාහන, ගෙවල් - දොරවල්, ඉඩ කඩම්, යාළු මිත්‍රාදීන්, නෑදෑයන්, නිලතල, නම්බුනාම, තනතුරු, සම්මාන මේ සියල්ල නැති වෙලා යනවා. කොටින්ම අපේ කියලා හිතාගෙන ඉන්න මේ ශරීරයත් වෙනස් වෙලා නැති වෙලා යනවා. එවැනි ස්වභාවයක් ඇති ව ඉතා සුළු කලකට ලද මිනිසත් භවයේ දී අතිශය දුර්ලභ ව ලද උතුම් බුදුසසුනේ ලාභය ගිහි පැවිදි අප කාටත් අහිමි නො වේවා.