 පීඩාකාරී බවට විරාමයක් දෙන්න සිතේ වෙනස්කම්
සිහියෙන් දකින්න
ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
සම්මා සම්බුදු රජාණන් වහන්සේනමක් ලොව පහළවීමෙන් ම පමණක් මේ ලොවට දැන ගත හැකි,
බුදුරජාණන් වහන්සේනමක් පහළ නො වූ කාලවල දී ලොවේ ඉස්මතු නො වන බෝධිපාක්ෂික ධර්මයන්
ලැබීම අප සියලු දෙනා ලද දුර්ලභ භාග්‍යයකි. බුදු සමිඳුන්ගේ ශ්‍රාවකයන් සම්බුදු සසුනට
ආශා කිරීමට එක් හේතුවක් නම් මෙම සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් සම්බුදු සසුනේ
පැවතීමයි.
ඉන්ද්‍රිය යනුවෙන් හඳුන්වන්නේ ජීවිතය හා ප්‍රතිබද්ධ ව පවතින දෙයට යි. බුදුරජාණන්
වහන්සේ සරණ ගිය ශ්‍රාවකයා මෙම ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන පංච
ඉන්ද්‍රිය ධර්ම තුළ පිහිටා සිටිය යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක.
ශ්‍රද්ධා ඉන්ද්‍රිය යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ සංයුක්ත නිකායේ ඉන්ද්‍රිය සංයුක්තයේ
විභංග සූත්‍රයේ දී පෙන්වා දී ඇත්තේ මෙලෙසිනි. “මහණෙනි, ශ්‍රද්ධා ඉන්ද්‍රිය යනු
කුමක්ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහන්නේ වෙයි.
එනම්, භාග්‍යවතුන් වහන්සේ පරම නික්ලේශී බවට පත් වූ සේක. (අරහං), ගුරු උපදේශ රහිත ව
මෙලොවේ සියල්ල ම අවබෝධ කළ සේක. (සම්මා සම්බුද්ධෝ), උපදවාගත් ඤාණයන්ට අනුව ම ජීවිතය
ගත කළ සේක. (විජ්ජාචරණ සම්පන්නෝ ), සොඳුරු නිවනට වැඩම කළ සේක. (සුගතෝ), සියලු ලෝක
අවබෝධ කර ගත් සේක. (ලෝක විදූ), දෙව් මිනිසුන් දමනය කිරීමෙහි අතිශයින් ම දක්ෂ වන සේක
(අනුත්තරෝ පුරිසදම්ම සාරථී), නුවණැති දෙව් මිනිසුන්ගේ එක ම ශාස්තෘන් වහන්සේ වන සේක
(සත්ථා දේවමනුස්සානං) අවබෝධ කළ ශ්‍රී සද්ධර්මය මහා කරුණාවෙන් දේශනා කළ සේක.
(බුද්ධෝ), මේ සියලු ගුණ දැරීමට තරම් භාග්‍යවන්ත වූ සේක. (භගවා)
මේ අයුරින් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය නිරන්තරයෙන් ඉගෙන ගනිමින් බුදුගුණ නිතර
මෙනෙහි කරමින් ශ්‍රද්ධා ඉන්ද්‍රිය දියුණු කර ගැනීමට උත්සාහවත් විය යුතු ය.
වීරිය අප කා තුළත් තිබෙනවා. මේ ලෝකේ ඉපදිලා ඉන්න සෑම දෙනා ම යම් යම් දේ් ලබා ගැනීමට
වීරිය කරනවා. මේ නොයෙක් දේ් ලබා ගැනීමට වීරිය කරන අය අතරේ කලාතුරකින් කෙනෙක්
භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කර ගන්න වීරිය කරනවා. වීරිය ඉන්ද්‍රිය ලෙස
භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙය යි. “මහණෙනි, වීරිය ඉන්ද්‍රිය යනු කුමක්ද? මෙහිලා
ආර්ය ශ්‍රාවකයා පටන් ගත් වීරිය ඇති ව වාසය කරයි. අකුසල් දහම් ප්‍රහාණය කිරීමට හා
කුසල් දහම් උපදවා ගැනීමට දැඩි වීරියෙන් යුතු වූයේ, දැඩි පරාක්‍රමයෙන් යුතු වූයේ,
කුසල් දහම් පිළිබඳ ව පසුබට නො වන වීරිය ඇත්තේ වෙයි. මහණෙනි, මෙය වීරිය ඉන්ද්‍රිය
යැයි කියනු ලැබේ.
මේ ආකාරයට වීරිය ඇති කර ගැනීම සඳහා ශ්‍රාවකයා උත්සාහ කළ යුතු ය. නිතර ම මරණය ගැන
මෙනෙහි කළ යුතු ය. සතර අපා භය සිහි කළ යුතු ය. අපගේ භාග්‍යවතුන් වහන්සේ සක්කාර
ගරුකාර සූත්‍ර දේශනයේ වදාළේ ශාස්තෘන් වහන්සේට සත්කාර ගරු බුහුමන් දක්වන ශ්‍රාවකයා
අකුසල් ප්‍රහාණය කොට කුසල් වඩන බවයි.
සතිය යනු සිහිය යි. සිහිය එක් එක් පුද්ගලයන් තුළ අඩු වැඩි වශයෙන් පිහිට යි. සතර
සතිපට්ඨානය තුළ සිහිය ඉන්ද්‍රියයක් වශයෙන් බලපැවැත්වීමයි සති ඉන්ද්‍රිය වශයෙන්
භාග්‍යවතුන් වහන්සේ වදාළේ.
“මහණෙනි, සති ඉන්ද්‍රිය යනු කුමක් ද? මෙහිලා ආර්ය ශ්‍රාවකයා සිහි ඇත්තේ වෙයි. උතුම්
සිහියෙන් හා අවස්ථාවෝචිත නුවණින් යුක්ත වූයේ වෙයි. බොහෝ කලකට පෙර කළ දෑත්, බොහෝ
කලකට පෙර කියූ දෑත් සිහි කරයි. නැවත නැවත සිහි කරයි. මහණෙනි, මෙය සති ඉන්ද්‍රිය
යැයි කියනු ලැබේ.
යම් කෙනකුගේ ජීවිතයට මේ කියූ සතර සතිපට්ඨානය බද්ධ වුවහොත් එය සති ඉන්ද්‍රිය යි. අප
එදිනෙදා කටයුතු කරන අවස්ථාවල දී ද මේ සිහිය දියුණු කර ගැනීමට පුළුවනි. එදිනෙදා
කටයුතු කරන අවස්ථාවල දී කායානුපස්සනා භාවනාවක් පුරුදු කර ගැනීමට උත්සාහවත් විය යුතු
ය. අප තුළ ඇතිවන සැප, දුක්, උපේක්ෂා විඳීම් ගැන සිහිය පැවැත්වීමට පුරුදු විය යුතු
ය. සිතේ ඇතිවන වෙනස්කම් ගැන සිහිය පැවැත්වීමට පුරුදු විය යුතු ය. පංච නීවරණ ගැන,
පංච උපාදානස්කන්ධය ගැන, ආයතන පිළිබඳ, චතුරාර්ය සත්‍යය පිළිබඳ සිහිය පැවැත්වීමට
උත්සාහවත් විය යුතු ය. එවිට අප තුළ සති ඉන්ද්‍රිය ටිකෙන් ටික දියුණු වී යයි.
සාමාන්‍ය ලෝකයේ වෙසෙන මිනිසුන් බොහෝ දෙනකුගේ සිත්වල ස්වභාවය නම් නිරන්තරයෙන් පංච
නීවරණවලින් පීඩා විඳීමයි. සාමාන්‍ය සිතක ස්වභාවය නම් නිරන්තරයෙන් අරමුණෙන් අරමුණට
විසිර පැවතීම යි. සමාධි ඉන්ද්‍රිය පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා වදාළ
සේක. “මහණෙනි, සමාධි ඉන්ද්‍රිය යනු කුමක්ද? මෙහිලා ආර්ය ශ්‍රාවකයා නිවන අරමුණු කොට
සමාධිය ලබයි. සිතෙහි එකඟ බව ලබයි. මහණෙනි, මෙය සමාධි ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ.
ආර්ය ශ්‍රාවකයා සතර සතිපට්ඨානය තුළ සිහිය පැවැත්වීම දිගින් දිගට ම සිදුකරන විට
ඔහුගේ සමාධිය පළමුවන ධ්‍යානය, දෙවන ධ්‍යානය, තුන්වන ධ්‍යානය, සතරවන ධ්‍යානය ලෙස
දියුණු වී යයි. සමාධිය ඇති කර ගැනීම සඳහා ශ්‍රාවකයා පළමු ව ශ්‍රද්ධාව ඇති කර ගත
යුතු ය. ඉන්පසු ඇස් කන් ආදී ඉඳුරන් සංවර කර ගැනීමට පුරුදු විය යුතු ය. භාවනා අරමුණු
තුළ නිතර සිහිනුවණ පැවැත්විය යුතුයි. එවිට ටිකෙන් ටික සිත සමාධිගත වීමට පටන් ගනියි.
ඉන්ද්‍රිය ධර්මයන් අතරින් අග්‍ර වන්නේ, ශ්‍රේෂ්ඨ වන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය බව
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් සේක. ප්‍රඥාවන්ත ශ්‍රාවකයා තුළ ඒ අනුව යන ශ්‍රද්ධාව
පිහිටයි, වීරිය පිහිටයි, සිහිය පිහිටයි, සමාධිය පිහිටයි, ප්‍රඥා ඉන්ද්‍රිය පිළිබඳ ව
අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙලෙසිනි.
“මහණෙනි, ප්‍රඥා ඉන්ද්‍රිය යනු කුමක්ද? මෙහිලා ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවන්ත වෙයි.
හටගැනීමත්, නැතිවීමත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ආර්ය වූ තියුණු
අවබෝධය ඇති කරවන, මැනැවින් දුක් ක්ෂය කරවන ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මෙය
ප්‍රඥා ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ.”
ඔහු මෙය වනාහී දුක නම් වූ ආර්ය සත්‍යය, දුක හටගැනීම, දුක නැතිවීම, දුක් නිරුද්ධ
වීමේ ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය යැයි යථාභූත ඤාණය ඇති කර ගනියි. කෙනකුගේ ජීවිතය
තුළ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය බද්ධ වී නිවන අවබෝධ වීම සඳහා ඒ ප්‍රඥාව තමන්ට
උපකාර කරයි නම් ඒ ප්‍රඥාව ප්‍රඥා ඉන්ද්‍රිය බවට පත් වේ. මේ ලෝකයේ තිබෙන සෑම දෙයක ම
යථාර්ථය නම් හටගැනීම හා වැනසී යාමයි පංච උපාදානස්කන්ධය, ආයතන හය, ධාතු පිළිබඳ ව
හටගැනීම වැනසීම ඒ අයුරින් ම දැකිය යුතුය. ඒ සෑම දෙයක් ම අනිත්‍ය බව නුවණින් වටහා ගත
යුතු ය. චතුරාර්ය සත්‍යය මෙනෙහි කළ යුතු ය.
මේ ආකාරයට පංච ඉන්ද්‍රිය ධර්මයන් පරිපූර්ණ ලෙස පිහිටා ඇත්තේ උතුම් රහතන් වහන්සේ තුළ
ය. ඊටත් වඩා මෘදු ලෙස අනාගාමී උතුමන් තුළ, සකදාගාමී, සෝතාපන්න ශ්‍රාවකයින් තුළ මෙම
ඉන්ද්‍රිය ධර්ම පිහිටයි. ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී ශ්‍රාවකයින් තුළ ද මෙම
ඉන්ද්‍රිය ධර්ම ඉතා මෘදු ලෙස පිහිටා ඇති බවත් යම් කෙනකු තුළ මෙම ඉන්ද්‍රිය ධර්ම
මොනම ආකාරයකින්වත් නැති නම් ඔහු මේ ශාසනයට අයිති නැති බාහිර පෘථග්ජන පක්ෂයට අයත්
කෙනකු බවත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ සේක. |