 උපසම්පදාවෙන් අඩසියවස සපුරණ
බද්දේගම සිරිරතන නා හිමියෝ
රාජකීය පණ්ඩිත
වැලිවිටියේ සුජීව හිමි
බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේ නමකගෙන් අපේක්ෂා කළ, ආත්ම විමුක්තිය සලසා ගැනීමට
අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගන්නා ගමන් තම මෙහෙවර සමාජය හමුවේ සැත්තෑ වසක් මුළුල්ලේ
සිදු කරමින් වැඩවසන, සිදුකරන සංඝ පිතෘන් වහන්සේ නමකි, කිරිබතාවිල ශ්‍රී අමරවංශ මහ
පිරිවෙනේ අධ්‍යක්ෂ බද්දේගම සිරිරතන නායක ස්වාමින් වහන්සේ. උන්වහන්සේගේ නිර්මල
පැවිදි දිවියෙහි උතුම් වූ උපසම්පදාව ලැබ 2025 මැයි මස 30 වැනි දිනට අඩසියවසක්
සපුරති.
බද්දේගම සිරිරතන හිමිපාණෝ හික්කඩුව නාලාගස්දෙණිය ශ්‍රී සෝරත පිරිවෙණෙන් හා කොළඹ
මාළිගාකන්ද විද්‍යොදය පිරිවෙණෙන් පැවිදි ජීවිතයට අවශ්‍ය මූලික බණ දහම් හා ශබ්ද
ශාස්ත්‍ර ඉතා දක්ෂ ලෙස හදාළහ. 1981 සැප්තැම්බර් මස 08 වන දින තම ගුරු දේවයන් වහන්සේ
අපවත්වීමෙන් අනතුරුව ස්වකීය විහාරස්ථානයේ අධිපතිත්වය භාර ගැනීමට සිරිරතන හිමිපාණන්ට
සිදුවිය.
ඉතා ක්‍රියාශීලි දක්ෂ තරුණ භික්ෂූන් වහන්සේ නමක් වූ සිරිරතන ස්වාමින් වහන්සේ තම
විහාරස්ථානයේ විහාරංග වැඩි දියුණු කරමින් හා ප්‍රතිසංස්කරණය කරමින් නව ආලෝකයක් එක්
කිරීමට සමත්ව සිටිති.
සිරිරතන ස්වාමින් වහන්සේ සිදුකරන ජාතික ආගමික සේවාවන් අතර ඉතා උත්කෘෂ්ඨ සේවාව ලෙස
කැපීපෙනෙනුයේ තම ගුරු දේවයන් වහන්සේට උපහාර පිණිස ශාසනයට අවැසි සිල්වත් ගුණවත්
භික්ෂු පිරිසක් බිහි කිරීම සඳහා ශ්‍රී අමරවංශ නමින් පිරිවෙණක් ආරම්භ කිරීමයි. අද
මෙම පිරිවෙණ සියයකට ආසන්න පැවිදි ශිෂ්‍ය පිරිසකට ශාස්ත්‍රාලෝකය ලබා දෙන ගාලු
දිස්ත්‍රික්කයේ ප්‍රධාන පහන් ටැඹක් බවට පත්වී ඇත. අනාගතයේ ශාසනය බැබළවිය හැකි උගත්,
දක්ෂ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පහළොස් නමකට වැඩි පිරිසක් බිහි කිරීම උන්වහන්සේ සිදු
කළ විශිෂ්ඨ ශාසනික සේවාවන් අතර ප්‍රමුඛස්ථානය ගනිති.
බද්දේගම සිරිරතන නායක ස්වාමින් වහන්සේ ශාසනානුලෝමි ගුණයෙන් හෙබි, අල්පේච්ඡ, චාම්,
සරල දිවිපෙවෙතකින් යුක්තය ය. එසේම සිල්වත් හා ගුණවත් බවින් යුක්ත වූ උන්වහන්සේ ගිහි
පැවිදි සැම දෙනාගේ ම ප්‍රසාදය දිනා ගැනීමට සමත්ව සිටිති.
උන්වහන්සේගේ ශාසනික සේවාව අගය කළ මල්වතු මහා විහාරයීය අතිපූජ්‍ය මහානායක
ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සානුනායක කාරක මහා සංඝ සභාව උන්වහන්සේ වෙතවිනය
කීර්ති ශ්‍රී විචිත්‍ර භාණක’යන ගෞරව නාමය සහිතව කර්මාචාර්ය පදවියක් ද,විනය කීර්ති
ශ්‍රී ප්‍රඥාසාර’ යන ගෞරව නාමය සහිතව ගාලු පලාතේ උපප්‍රධාන සංඝ නායක පදවිය ද
පිරිනමා ඇත. |