Print this Article


ඉපැරැණි සිරිලක අසිරි සිරි ගැන්වූ වෙසක් පූජෝත්සව

ඉපැරැණි සිරිලක අසිරි සිරි ගැන්වූ වෙසක් පූජෝත්සව

ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ බෞද්ධ සංස්කෘතික හර පද්ධතීන් ප්‍රමාණවත් පසුබිමක් යටතේ ස්ථාපිත වූයේ ක්‍රි. පූ. 3 වැනි සියවසේ දී නොහොත් බුද්ධවර්ෂ 236 දී සිදු වූ මහින්දාගමනයෙන් පසුව ය.

එබැවින් බුදු සමයේ ආභාෂය මත එතෙක් මෙරට පැවති සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බවට පරිවර්තනය විය. තත්කාලීන ව සමාජගත ව පැවති අභිචාරවිධි සියල්ලක් ද අනුක්‍රමයෙන් වෙනස් මඟකට අවතීර්ණ විය. බෞද්ධ ජීවන ප්‍රතිපදා මාර්ගයට අනුගත වූ ජනතාව ආගමික උත්සව පැවැත්වීම කෙරෙහි ද වැඩි රුචිකත්වයක් දැක් වූහ. අවිහිංසාව, ශ්‍රද්ධාව, භක්තිය හා බුද්ධිය පදනම් කරගත් ආගමික උත්සව රැසක් ද ඒ හා සමඟ ම ආරම්භ විය. මෙම පූජෝත්සවයන් පැවැත්වීම තුළින් අපේක්ෂිත පරමාර්ථය වූයේ හුදෙක් ධාර්මික විනෝදය ලබා ගනිමින් කෙමෙන් කෙමෙන් බෞද්ධ ජීවන ප්‍රතිපදා මාර්ගයට ජනතාව අනුගත කරවීම යි.

අනුක්‍රමයෙන් සංඛ්‍යාත්මක ව වැඩිදියුණු වී ගිය මෙබඳු උත්සව වසර පුරාම මහත් හරසරින් පවත්වන තත්ත්වයක් පෙන්නුම් කෙරිණි. අනුරාධපුර යුගයේ පටන් ම ක්‍රමවත් පදනමක් යටතේ ඇරඹි මෙම උත්සව ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ තදින් ම මුල්බැස ගත්තේ ඒවායෙහි පවත්නා උසස් ආගමික, දාර්ශනික හා සංස්කෘතික වටිනාකම් නිසා ය.

මෙම උත්සව අතර පාරම්පරික රාජ්‍ය චාරිත්‍රයක් වන වෙසක් උත්සවය ශ්‍රී ලාංකේය බෞද්ධයනට අන් හැම උත්සවයකට ම වඩා වැදගත් ය. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුදුවීම හා පිරිනිවීම යන අවස්ථාත්‍රය සිහිකිරීම් වස් මැයි මාසයේ දී මෙම වෙසක් උත්සවය පැවැත්වෙයි. වෙසක් මඟුල අතිපුරාණ බෞද්ධ උත්සවයක් බවත්, ආදි කාලයේ පටන් ඉන්දියාවෙහි පවා පැවැත්වුණ බවත් චීන ජාතික පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවලින් හෙළි වෙයි.

පුරාතන ශ්‍රී ලංකාවේ පැවති වෙසක් උත්සවයක් පිළිබඳ ප්‍රථම වාර්තාව මහාවංසයෙහි හමුවන්නේ දුටුගැමුණු (ක්‍රි. පූ. 101-77) රාජ්‍ය සමයේ දී ය. “මහා වේසාඛ පූජා ච චතුවීසති කාරයිං” යනාදී වශයෙන් දුටුගැමුණු රජු වෙසක් උත්සව විසි හතරක් පැවැත් වූ බව එහි කියැවෙයි. ඓතිහාසික ලිඛිත වාර්තා නොමැති වුව ද වෙසක් උත්සවය එයට පෙර ද පැවැත්වුණු බව විශ්වාස කළ හැකි ය. දේවානම්පියතිස්ස රජු වෙසක් උත්සවය සිදුකරන්නට ඇතැයි, පිළිගැනීම හේතු යුක්ති සහගත ය. ඒ අනුව පෙනෙන්නේ බෞද්ධ ලංකාවේ වීරයා වූ දුටුගැමුණු රජු වෙසක් උත්සවය යළි පිහිටුවා පෙරටත් වඩා විචිත්‍ර අන්දමින් පැවැත්වූ බව යි.

දුටුගැමුණු රජුගෙන් පසු තවත් බොහෝ රජවරු වෙසක් උත්සවය අඛණ්ඩ ව පැවැත්වූ හ. භාතිය රජු (ක්‍රි. ව. 38-67) වෙසක් උත්සව විසි අටක් සිදු කළේ ය. සම්බුද්ධ රූපය තනා, රථයක තැන්පත් කොට වීථි සංචාරය කරමින් පැවැත් වූ මෙම උත්සවයේ දී දුගී මගී යාචකාදීන්ට ආහාරපානාදිය දීමේ සිරිත ද පැවතිණ. වසභ රජු ද (ක්‍රි. ව. 127-171) ඔටුනු පලන් වර්ෂයේ පටන් ම පිළිවෙලින් වෙසක් උත්සව විසි හතරක් සිදු කළේ ය. වෝහාරතිස්ස රජු ද (ක්‍රි. ව. 269-291) වෙසක් උත්සවය සිදු කොට ලක්දිව සියලු භික්ෂූන් වහන්සේට තුන් සිවුරු පිදී ය. එමතු නොව ගෝඨාභය රජු ද (ක්‍රිි. ව. 323-333) ජෙට්ඨතිස්ස රජු ද (ක්‍රි. ව. 611-617) දල්ලමොග්ගල්ලාන රජු ද (ක්‍රි. ව. 851-885) 2 වන සේන රජු ද රටවාසීන් හා එක්ව මහත් හරසරින් වෙසක් උත්සවය පැවැත්වූ බව සඳහන් ව තිබේ.

වෙසක් උත්සවය රාජානුග්‍රහය මත වර්ෂයක් පාසා ම අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම කෙරෙහි පූර්වෝක්ත රජවරුන් උත්සාහ ගෙන ඇත. මේ අනුව රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් විශාල ප්‍රමාණයක් ද වෙසක් උත්සවය සඳහා වෙන් කෙරිණ. සෑම රජකෙනකු ගේ ම අනිවාර්ය රාජ්‍ය චාරිත්‍රයක් වූ මෙය පොලොන්නරු යුගය වන විට තවතවත් දියුණුවට පත් විය.

දඹදෙණි යුගයේ පැවති ඉතා චමත්කාරජනක වෙසක් උත්සවයක් පිළිබඳ පූජාවලිය තුළ මෙවන් වාර්තාවක් හමු වෙයි.

"ඒ දවස් මේඝ රාජයාණන් හස්තිරූප ව්‍යාජයෙන් බුදුමඟුලට බැස මිහි මඬලෙහි ඇවිදිනා සේ ඒ ඒ දිග් හි යන්ත්‍ර බලයෙන් ඇවිදිනා හස්තිරූප පංක්තීන් හා පූජා ලෝලීන් දිවූ සමුද්‍ර රාජයා ගේ මහ රළ පෙළ සේ ඒ ඒ දිග් හි යන්ත්‍ර බලයෙන් දිවන අශ්වරූප පංක්තීන් හා බුදුරදුන් ගේ මහා මංගල්‍යයෙහි අලංකෘත වූ පූජාවෙන් වෙහෙර සරසා සහස් සුවහස් ගණන් සංඝයා හා මුළු ලක්දිව සියලු මනුෂ්‍ය සේනා රැස්කොට වෙහෙර සිසාරා ගවු ගවු මානයෙහි පූජා පෙළහරින් සිටගත් මනුෂ්‍ය සේනාව ම අතුරු නො දී සිටිනා සේ නියෝග කොට."

මෙම වෙසක් උත්සවය සිදු කරනුයේ දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජු ගේ (ක්‍රි. ව. 1250-1285) මූලිකත්වයෙනි. ඒ තුළින් වෙසක් උත්සවයක තිබිය යුතු සියලු ම අංග ප්‍රකාශ වෙයි. එබැවින් මෙය පුරාතනයේ පැවති වෙසක් උත්සවයක නියම ස්වරූපය යැයි, නියත වශයෙන් ම පැවසිය හැකි ය.

මෙහි “බුදු මඟුලට බැස” යනුවෙන් සඳහන් ව ඇති බැවින් වෙසක් උත්සවය සඳහා “බුදු මඟුල” යන්න යොදා ඇති බැව් පැහැදිලි ය.

මහනුවර යුගයේ මෙරට පැවති උත්සව හතරක් ගැන සඳහන් වන අතර එහි පළමුවැන්න වෙසක් උළෙල ලෙස දක්වා ඇත. තව ද වෙසක් උත්සවය පැවැත්විය යුතු ආකාරය දක්වමින් සම්මත නීති මාලාවක් ද එකල පැවති බව මහාවංශයෙන් තහවුරු වෙයි. වෙසක් උත්සවය ආරම්භ කළ යුත්තේ කෙසේ ද ? ආරම්භ කරන්නේ කුමකින් ද ? යන්න එම නීති මාලාවට අන්තර්ගත වී තිබෙන්නට ඇතැ යි, විශ්වාස කළ හැකි ය.

කෝට්ටේ යුගයෙහි කළ වෙසක් උත්සව ගැන කරුණු විරල ය. බුද්ධ පූජා පැවැත් වූ රජවරුන් රාශියක් ගැන සඳහන් වෙතත්, ඒවා වෙසක් උත්සව දැයි නිර්ණය කිරීම අපහසු ය. කොළඹ යුගයේ දී ඉතා විචිත්‍ර අන්දමින් වෙසක් උත්සවය සිදු කෙරිණ. අද වනවිට රාජ්‍ය වෙසක් උත්සවය ප්‍රමුඛ ව ලංකාවේ වෙසක් උත්සව ඉතා චිත්තාකර්ෂණීය අන්දමින් සිදු කෙරෙයි. වෙසක් පොහොය වෙනුවෙන් වෙසක් පහන් කූඩුවක් හෝ වෙනයම් වෙසක් සැරසිල්ලක් හෝ නොමැති නගරයක්, ගමක් හෝ බෞද්ධ නිවසක් හෝ සොයා ගැන්මට නො හැකි ය. නගරයේ නිවෙස්වල පටන් ඈත ගම්දනව්වල නිවෙස් දක්වා ම මෙම වෙනස එක සේ දැකිය හැකි ය.

විවිධ ජාතක කතා වස්තු හා වෙන වෙනත් බෞද්ධ තේමාවන් නිරූපණය කෙරෙන වෙසක් තොරණ ද ලංකාවේ සතර දිග් භාගයේ ම ප්‍රදර්ශනය කෙරෙයි. වෙසක් තොරණ හා පහන් කූඩු නිර්මාණයෙහි යම් තරගකාරී බවක් මෙකල පෙනෙන්නට තිබේ. විශාල පහන් කූඩු ඉදිකොට ඒ වටා එක් එක් ප්‍රමාණයෙන් පරිවාර පහන් කූඩු ද රැසකින් අලංකාරවත් කොට සිදු කෙරෙන නිර්මාණකරණය එයට උදාහරණයකි. එලෙස වඩාත් දැකිය හැකි වන්නේ පොදු මහජන ප්‍රදර්ශනය

සඳහා නිර්මාණය කෙරෙන පහන් කූඩුවල ය. ඒවායෙහි එකිනෙක පරයා යන අන්දමේ නිර්මාණ කෞශල්‍යයන් සුලභ ව දැකිය හැකි වෙයි.