Print this Article


පංචස්්කන්ධයේ මායාව

පංචස්කන්ධයේ මායාව

මසැස (මංස චක්ඛු) මස් ඇස සත්ත්වයන් සියල්ලන්ට ම ඇති ස්වභාවික ඇස - පියවි ඇසට නමෙකි. සාමාන්‍ය ස්වභාවික ඇසකට වඩා බුද්ධ ඇසෙහි විශේෂයක් ඇත.

තුන් ලොවට දිව ඇසක් බඳු වූ ලෝකනාථයන් වහන්සේට මේ ඇසින් චතුරංග සමන්වාගත කළුවරක වුව ද යොදුනක් පමණ ඝන හෝ දුරින් ඇති දියමන්ති පර්වතයක් වුව ද විනිවිද ගොස් සියුම් රූප දක්නා පඤ්ච වර්ණයකින් බැබළෙන ඇසෙක් සේ විස්තර කර ඇත.

දිවැස (දිබ්බ චක්ඛු)

මේ සක්වල ඇති 31 ලෝකය හා ආනන්ත අප්‍රමාණ සක්වලයන්හි උපදින්නා වූ ද - හැසිරෙන්නා වූ ද - මිය යන්නා වූ ද - පින්පව් අනුව සැපදුක් අනුභව කරන්නා වූ ද, හීන - ප්‍රණීත ලොකු - කුඩා සියලු සත්ත්වයන් ඉතිරි නැති ව දක්නා ඇස මෙනම් වේ. දෙවියන්ට – ඍෂීන්ට ද මේ දිව්‍ය ඇස ඇත. එනමුත් බුද්ධ දිබ්බක්ඛුස එයට වඩා ලක්ෂ කෝටි වාරයකින් දියුණු වූවකි.

පැණැස (සමන්ත චක්ඛු) අතීත,අනාගත, වර්තමාන යන තුන් කල්හි ම අයත් සියලු ලෞකික - ලෝකෝත්තර ධර්මයන් ආවරණ රහිත ව සියලු ආකාරයෙන් පිරිසිඳ විනිවිද දක්නා සර්වඥතා ඥාන (ඤාණ චක්ඛු) නමැති නුවණැස මෙනමින් හඳුන්වයි.

බුදු ඇස (බුද්ධ චක්ඛු) දස සහශ්‍රී ලෝක ධාතුවෙහි ලෝභ, ද්වේෂ, මෝහාදී කෙලෙස් බහුල වූ ද, කෙලෙස් තුනී වූ ද, ශ්‍රද්ධා, ප්‍රඥ, වීර්යයාදී ඉන්ද්‍රිය ධර්මයන් තියුණුව ඇත්තා වූ ද, හීන ව ඇත්තා වූ ද සත්ත්වයන්ගේ හේතු සම්පත් විභාග කොට දක්නා ඇස.

සමතැස (ධම්ම චක්ඛු) බුදුවරයන් වහන්සේට නොවැටහෙන කිසියම් ධර්මයක් විශ්වයේ නැත. ඉතිරි නැති ව සියලු ධර්මයන් සියලු ආකාරයෙන් අවබෝධ කිරීම් වශයෙන් නිර්මල ව දක්නා බුදු නුවණ නමැති ඇස.

විඥානයක් (නැවැත ඉපදීමට ආශා කරන සිත) සකස් කර ගන්නා තුරු අප නැවත නැවත උපදී. ඇසින් රූප දැක, කනින් ශබ්ද අසා, නාසයෙන් ගඳ සුවඳ ගෙන දිවෙන් රස විඳ, කයෙන් මුදු මොළොක් ස්පර්ශ හා සිතෙන් අරමුණු (සිතිවිලි) ස්පර්ශ කොට සුබ, දුක්ඛ,අදුක්ඛම සුඛ වශයෙන් වේදනා සකස් කර ගැනීමෙන් අපි නැවත නැවත උපදී. එසේ වන්නේ මේ සිත හා කය, මම - මගේ, මම වෙමි - මගේ ආත්මය වශයෙන් පුද්ගලයෙක්, සත්ත්වයෙක් වශයෙන් අල්ලාගෙන නිත්‍ය, සුඛ ආත්ම වශයෙන් ගන්නා හෙයිනි “එසේ නො ගන්න” යනු බුද්ධ අවවාදයයි.

ඒ වෙනුවට මේ පඤ්චස්කන්ධය (රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ) උපමාවල දක්වන පරිදි සිතීමට යමෙක් දක්ෂ වුවහොත් ඔහු නිවනට ළං වේ.

රූපය පෙණ පිඬුවක් මෙන් ය. පෙණ පිඬුව ජලයේ හටගත් තැන්හි දි මසන් ගෙඩියක් පමණට ඉපිද පහතට ගලා යද්දි විශාල වේ. පෙණ පිඬෙහි සිදුරු ඇති අතර ක්ෂුද්‍ර ප්‍රාණීහු වැදී සිටිති. පෙණ පිඬ නැඟී, පැවැති බිඳී යයි. මෙය හටගත් ක්ෂණයෙහි ද, මඳ දුරක් පාවි ගොස් ද සැතපුම් ගණන් ගොස් හෝ මුහුදට වන් විට හෝ අනිවාර්යයෙන් බිඳී යයි. මෙසේ මිනිස් රූපයත්, මුලදි එළු ලෝමයකින් හත්වරක් ගසා දමා ඉතිරි වූ තෙල් බිඳුවක් පමණ වූ මිනිස් ඇසට පවා විෂය නොවන කුඩා ම කුඩා ධාතුවක් වූ කලලයකි. මෙය ක්‍රමයෙන් ආහාර ගොදුරු කොටගෙන මිනිස් සත්ත්වයෙක් නම් බඹයක් පමණ ද ගොඩබිම් තිරිසන් සත්ත්වයෙක් නම් අලියෙක් පමණ ද, දියෙහි වේ නම් කැස්බ, තිමිර, පිංගල වැනි සුවිශාල මත්ස්‍යයන් ලෙස ද විශාල වේ. මෙවන් රූපයේ ද පෙණ පිඬුවේ මෙන් ලොකු කුඩා සිදුරු ඇත. කුල වශයෙන් අසූවක් පමණ පණු වර්ග ඇත. උන්ගේ බිහිවෙන ගෙයද වැසිකිළිය ද, රෝහල ද, සුසානය ද වනුයේ මේ ශරීරය ම ය. එමෙන්ම පෙණ පිඬ මෙන් හටගත් මොහොතේ ම බිඳී යයි. පෙණ පිඬ ටික දුරක් ගොස් බිඳී ගියා සේ මේ ශරීරය ද එක් හැවිරිදි, දස විසි පනස් හා පරමායුෂ වර්ෂ 100ක් හෝ ගතකර අනිවාර්යයෙන් බිඳී යන්නේ පෙණ පිඬ මුහුද දක්වා ගොස් බිඳීයන පරිදි ය. එනිසා මහණෙනි මේ ශරීරය පෙණ පිඬක් හා සමානයි. බුදුරජාණන් වහන්සේ වදාළේ ගංගා ඉවුරේ සිටි අවස්ථාවක ය.

වේදනාව - දිය බුබුලක් වැනි ය - දිය බුබුලෙහි අරටුවක්, බලයක්, සාරයක් නැත. කෙතරම් අසාර ද යත් අතට ගන්නටවත් නොහැකි තරම් දුර්වල ය. ගත් කෙණෙහි ම බිඳී යයි. එහෙයින් නිත්‍ය සාරවූවක් ලෙස ගත නොහැක. ගත්තත් එසේ නො සිටියි. මෙසේ අපි ස්පර්ශයෙන් (සිතින්) අල්ලා ගන්නා වේදනාව ද දිය බුබුලක් වැනි ය. භෞතික ව අපට නො දැනුනාට එක් අසුරුගසන ක්ෂණයක කෙල ලක්ෂ ගණනක් වේදනා සිතිවිලි ඉපිද නිරුද්ධ වෙති. මෙසේ අපට ඇතිවන සැප, දුක් – කවර වේදනාවක් වුව ද කලක් නො පවතී. නිත්‍ය බවක් ස්ථීර බවක් නැත. බොල් වූවකි.

සඤ්ඤා - මිරිඟුවක් වැනි ය. යම් වස්තුවක් හඳුනා ගැනීම සංඥාවයි. උණුසුම් මධ්‍යාහ්නයෙහි ඈතින් පොළොවෙන් නඟින සැලෙන මිරිඟුව දකින ඇස් ඇති යමෙක් ඒ ගැන සිතන්නේ ය. නුවණින් පරික්ෂා කරන්නේ එය හිස් වූවක්, බොල් වූවක් මෙන් ම නැති ජලයක් ඇති සේ පෙනෙන බව වැටහෙන්නේ ය. මෙසේම අපේ සිතේ ඇතිවන සංඥා සිතිවිල්ල (හඳුනා ගැනීම) නුවණැති යමෙක් ප්‍රඥාවෙන් පිරික්සන්නේ නම් නැති දෙයක් (හැඟීමක්) ඇති දෙයක් ලෙසත්, හිස් වූවක් – බොල් වූවක් සේ ම වටහා ගන්නේ ය.

සංඛාර - කෙසෙල් කඳක් වැනි ය. පැවැත්මට උපකාර වන දෙය හටගත් දෙය වශයෙන් විවිධ අර්ථ ඇත. ඉවතට දමන කුණු රොඩුවලට යොදන නාම පදයකි. එහෙත් පටිච්ච සමුප්පාද ධර්මයට අනුව ගන්නා විට පව්, පින් හා බවයන් පතා භාවනා කිරීම වැනි ධර්මතාවලට යොදන පදයකි. එහෙයින් සසර ගමන් කෙළවර කළ යුතු නිවන් මඟට යමෙක් පිළිපන්නේ ද ඔවුහු මේ ධර්මතා තිදෙන හිස්වූවක්, බොල්වූවක්, හරයක් නැති සේ ප්‍රඥාවෙන් දැන දැක කුණªරොඩු සේ සිතෙන් ඉවතට දැමිය යුතු හෙයින් සංඛාර හෙවත් සංස්කාර යනුවෙන් යොදා ඇත. හරය ඇති ඇද නැති ගසක් සොයා කෙටේරියක් ගෙන වනයට වදින මිනිසකුට ඇද නැති අළු පවා නොහටගත් බඩය ඇති මහත් කෙසෙල් කඳක් දැක එය බිමට කපා දමා ගසේ මුල් ද අග ද සිඳ පතුදමන්නේ ය. දැන් පුරු ගලවන්නේ එලයක් ද (පොත්තට ඇතුළින් අරටුවට පිටින් ඇති ශක්තිමත් නොවන දැව කොටස) හමු නොවීය. එසේනම් එහි අරටුවක් කොයින් ද? දැන් මේ මිනිසා මේ ගැන නුවණින් විමසන්නේ එය හිස් වූවක්, බොල්වූවක්, හර නැත්තක් ම සේ වැටහෙන්නේ ය. කෙසෙල් කඳෙහි හරයක් වේ ද? නැත. මෙසේ ගත් විට සත්ත්වයා විසින් සිදු කෙරෙන මේ ත්‍රිවිධ සංස්කාරයෝ ම (පව් පින් බව පතා භාවනා සසර දුක්ම ලබා දෙන අල්ප වින්දනයක්, ආස්වාදයක් ඇති බොල් වූ හිස් වූ අරටුවක් නැති කෙසෙල් කඳකට සමාන වේ.

විඤ්ඤාණ (සිත) මායාවක් වැනි ය. ඉන්ද්‍ර ජාලිකයකු, ඇස් බැන්දුම්කරුවකු, විජ්ජාකරවකු නැති දෙයක් ඇති සේ පෙන්වීම මේ මායාව නම් වේ. පුද්ගලයකුට මනුෂ්‍යත්වයේ විපුල ප්‍රයෝජන ලබා ගැනීමට නම් මස් ඇස මෙන්ම නුවණැස (ඤාණ චක්ඛු) යන දෙ ඇස ම තිබිය යුතු ය. මස් ඇස අඳුරු පටලයන්ගෙන් තොර පිරිසුදු වූවක් ලෙසින් තිබීම ද ප්‍රඥා ඇස සාර - අසාරවත්වය දැකීමට සමත්වූවක් ලෙසින් තිබීම ද මෙයින් අදහස් කෙරේ. මෙවැන්නකුට අසාර වූ අර්ථයෙන් හා ප්‍රයෝජනයට ගත නොහැකි අර්ථයෙන් විඤ්ඤාණය දෙස බලන්නේ නම් එය විජ්ජාකරුවකු දක්වන මායා සංදර්ශනයක් බඳු සේ දැකිය හැකි ය. මායාකරු මායා දර්ශනය මවාපා දක්වන්නේ ස්වල්ප කාලයකට හා කෙටි වැටහීමක් ඇතිවන ආකාරයට ය. විඤ්ඤාණය ඊට ද වඩා කෙටි වූවකි. හටගෙන ක්ෂණයක් පැවැති විනාශ වී, නැවත නැවත මෙසේම වීම විඤ්ඤාණයේ ස්වභාවය යි. ඇතිවෙන සිත එකෙකි. ක්ෂණයක් පවතින සිත තවකෙකි. වෙන්ව ගිය සිත අනෙකකි. නමුත් මේ ත්‍රිවිධ අවස්ථා එක්සිතක් ලෙස විඤ්ඤාණය අපට දක්වයි. ඒ නැති දේ ඇති දේ කර පෙන්වන රැවටීමකි. මායාකරු ද මෙසේ ය. එහෙයින් විඤ්ඤාණය ද මායාවක් හා සමාන ය. ගැඹුරෙන් විමසා බලන්න. විඤ්ඤාණය පිළිබඳ ව ද මෙසේ සිතන නුවණින් පිරික්සන ඔහුට එය හිස්වූවක් සේ ම බොල්වූවක් සේ ම හර නැත්තක් සේ ම වැටහෙයි.

මහණෙනි මෙසේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන අසාර පඤ්චස්කන්ධයෝ මම - මගේ ආත්මය වශයෙන් දැඩිව අල්ලා ගැනීම නම් වූ පඤ්ච උපාදානස්කන්ධ කර ගැනීම නුවණින් සම්‍යක් ප්‍රඥාවෙන් දක්නා ශ්‍රැතවත් ( සද්ධර්මය අසා දැන සිටින) ආර්ය ශ්‍රාවකයා මේ සියල්ල පිළිබඳ කලකිරෙන්නේ (නිබ්බින්දති) නො ඇලෙන්නේ (විරාගා) පඤ්ච උපාදානස්කන්ධයෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යැයි දැනීම (විමුත්තිඤාණං) හෙවත් ප්‍රත්‍යාවේක්ෂ ඥානය වෙයි. පඤ්ඤා විමුක්ත හෙවත් අරහත්ඵල ඤාණය ද මෙයයි. ජාතිය ක්ෂය වෙයි. මග බඹසර වැස නිම කරයි. අරහත්වය පිණිස අන් කිසිවක් නැතැයි දැන ගනියි. අපිද උපාදාන කොටගෙන ඇති මේ පඤ්චස්කන්ධය හරයක් නැති බව එළඹ සිටි සිහි ඇතිව (සතියෙහි පිහිටා අප්‍රමාද ව) දකින්නට වීර්යය කරමු.