Print this Article


ලෝක බෞද්ධ උරුමයේ සංකේතය ලෙස සම්භාවනාවට පාත්‍ර වූ උතුම් දළදා වහන්සේ

ලෝක බෞද්ධ උරුමයේ සංකේතය ලෙස සම්භාවනාවට පාත්‍ර වූ උතුම් දළදා වහන්සේ

සමස්ත ලෝකවාසී බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන ශ්‍රී දළදා මාලිගාව ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතික අනන්‍යතාවේ කෝෂ්ඨාගාරය යි.

දළදා ගමනය හුදෙක් ආගමික වශයෙන් පමණක් නොව සංස්කෘතික, දේශපාලනික හා සාමාජීය වශයෙන් ද ප්‍රබෝධයක් ඇති කළ ඓතිහාසික සංසිද්ධියකි. කීර්ති ශ්‍රී මේඝවර්ණ රජසමයේ පටන් “එනම් ක්‍රි.ව. 301 - 328 සිට අද්‍යතන යුගය දක්වා ම ශ්‍රී ලාංකේය සමාජ විඤ්ඤාණයේ නියාමක බලය බවට ශ්‍රී දළදා වහන්සේ පත්ව ඇත. ලෝක බෞද්ධ උරුමයේ අසහාය සංකේතය ලෙස සම්භාවනාවට පාත්‍රව ඇති ශ්‍රී දළදා වහන්සේ ශ්‍රී ලාංකේය රාජ්‍යත්වයේ සංකේතය ලෙස ජන විඤ්ඤාණය තුළ ස්ථාපිත වීම තුළින් ලාංකේය බෞද්ධ සංස්කෘතික හරපද්ධතිය පෝෂණයෙහි ලා ලබා දී ඇති දායකත්වය අනල්ප ය.

මහසෙන් රජුගෙන් පසු රාජ්‍ය පදවිප්‍රාප්ත සිරිමේඝවණ්ණ හෙවත් කිත්සිරිමෙවන් රජුගේ නවවැනි රාජ්‍ය වර්ෂයේ දී එනම් ක්‍රි.ව. 371 දී කාලිංග දේශාධිපතිගේ දූ කුමරිය හා බෑණනුවන් විසින් දළදා වහන්සේ ලක්දිවට වැඩම වූ තැන් (ම.ව. 37.92) පටන් ම ශ්‍රී ලාංකේය සංස්කෘතිය වෙත ආගමික වශයෙන් සුවිසල් බලපෑමක් එල්ල කළේ ය.

අනුරපුර යුගය තුළ දේශපාලන සංස්ථාව කෙරෙහි වක්‍රව දළදා වහන්සේගේ බලපෑම් ලැබී ඇති බව ඉතිහාසය සමීක්ෂණයක දී අවබෝධ කර ගත හැකි ය. අනුරපුර අවධියේ රජවරුන්, ඇතුළුනුවර ම දළදා මාළිගය නිර්මාණය කරමින් එහි ආරක්ෂාව සලසාලුයේ දළදා වහන්සේගේ රැකවරණය තමන් වෙත පැවරී ඇතැයි සිතූ හෙයිනි. දළදා වහන්සේගේ පිළිවෙත් භාරව සිටි අභයගිරිය වෙත මහා විහාරයට සමානව ම ගරු සත්කාර කිරීමෙන් අනුරපුර රජවරු බලාපොරොත්තු වූයේ තම රාජ්‍යත්වය තහවුරු කර ගැනීමට දළදා වහන්සේ භාරව සිටි අභයගිරියේ අනුග්‍රහය යි. මහා විහාරයේ ප්‍රබල දායකයකු වූ ධාතුසේන රජු මහා විහාරයේ මූලස්ථානයක් වූ අම්බස්ථලය අභයගිරියට පවරා දීමට ක්‍රියා කළේ දළදා වහන්සේ නිසා අභයගිරියට ලබා තිබූ ජනපි‍්‍රයත්වයට පිටු පෑ නොහැකි බැවිනි. (ම.ව. 38 . 75 - 76)

දළදා වහන්සේගේ නාමය සිය නාමයට යොදා ගැනීමට ලාංකේය බෞද්ධයෝ පි‍්‍රය කළහ. විශේෂයෙන් ම රජ මැති ඇමැතිවරු ඒ අතර මූලිකත්වයට වැටෙති. පොදු ජනතාව අතර ජනපි‍්‍රය වීමට, සම්මානයට පාත්‍රවීමට එය කදිම උපක්‍රමයක් ලෙස ඔවුහු සිතන්නට ඇත. ධාතුසේන, දාඨෝපතිස්ස, හත්ථාදාඨ, දාඨාසීව, දාඨාපභූති, දළමුගලන් ආදී නම් ඊට නිදසුන් ය. අනුරාධපුර යුගය තුළ රාජ්‍යත්වය කෙරෙහි යම් ආකාරයක බලපෑමක් දළදා වහන්සේගෙන් ලැබී ඇති බවට ඉහත සාධක ප්‍රමාණත්ව ය.

දළදා වහන්සේගේ බලපෑම ඉතා පැහැදිලි ව දක්නට ලැබෙන්නේ පොලොන්නරු යුගයේ සිටයි. මහා විජයබාහු රජුගේ මරණයෙන් පසු රාජ්‍ය උරුමය සඳහා ඇති වූ අරගලයෙන් පසු ලංකා රාජ්‍ය කොටස් හතරකට බෙදී ගියේ ය. ඒ රජරට, අටදහස් රට, දොළොස් දහස්රට හා දක්ෂිණ දේශය වශයෙනි. රජරට පාලනය කරන ලද්දේ මහා විජයබාහුගේ පුත් වික්‍රමබාහු විසිනි. රෝහණයට අයත් වූ අටදහස් රට හා දොළොස් දහස් රට මෙන් ම දක්ෂිණ දේශය ද පාලනය වූයේ වෙනත් පාලකයන් තිදෙනකු අතිනි. මෙම පාලකයන් ජනතාව පීඩනයට පත් කළ බව මහාවංශය සඳහන් කරයි. (ම.ව. 61 - 49 - 73) පොලොන්නරුවේ සිටි වික්‍රමබාහු ආගමික වස්තු කොල්ල කෑ ආකාරය මහාවංශය මැනවින් ඉදිරිපත් කර තිබේ. එකල රුහුණට ගෙනයන ලද දළදා වහන්සේ පිළිබඳ ව මහා වංශයේ නැවත තොරතුරු සඳහන් වන්නේ රුහුණේ සිටි 11 මානාභරණ, ගජබාවන් අල්ලාගෙන පොලොන්නරුවේ දී බලයට පත් වූ සිද්ධියෙනි. ධ්ධ් වැනි මානාභරණ තමාට පොලොන්නරුවේ බලය ස්ථිරව ම ලැබෙන බව සිතා රුහුණේ තිබුණ දළදා වහන්සේ පොලොන්නරුවට ගෙන්වාගත් බව එහි දැක්වේ. මෙයින් පෙනෙන්නේ තමා සතු ව දළදා වහන්සේ පැවති නිසා මානභරණ බලය මෙන් පොලොන්නරුව අල්ලා ගැනීමට පෙළඹුණු බවයි. පරාක්‍රමබාහුට තරම් හමුදා ශක්තියක් තමාට නොතිබුණත් දළදා වහන්සේ තමා සතුවීම නිසා ගජබාහුගේ ද ආධාර ලබා ගෙන මානාභරණ පැරකුම්බාවන්ගේ හමුදා පරදා රජරට අල්ලාගත් බව පෙනේ. පොලොන්නරුවේ පැරකුම්බා රජුගේ හමුදාවලින් ජනතාව පීඩාවට පත් වූහ. එවිට ඔවුහු ඒ ගැන පැමිණිලි කරන ලද්දේ මානාභරණ රජුට ය. එහෙත් විය යුතු ව තිබුණේ පරාක්‍රමබාහු රජුට පැමිණිලි කිරීමයි. ජනතාව මෙසේ මානාභරණගේ උදව් පැතුවේ ඔහු සතු ව දළදා වහන්සේ තිබුණු නිසා ය. එයින් පැහැදිලි වන්නේ ජනතාව පක්ෂපාතී කර ගැනීමට දළදා වහන්සේගේ භාරකාරත්වයට හැකියාවක් ඇති බවයි.

මෙය තවත් පැහැදිලි කරතොත්, පොලොන්නරුව බේරා ගන්නා ලෙස ජනතාව මානාභරණ රජුට සැල කළේ දළදා වහන්සේ අයිති වීමෙන් මහාපැරකුම්බා රජුට වඩා රාජ්‍යය පිළිබඳ බලයක් ඔහුට ලැබී තිබීම නිසා ය. මෙය තවදුරටත් අර්ථවත් වන්නේ තමා ලද ජයග්‍රහණයෙන් පසු ස්වකීය රාජ්‍යය ස්ථිර කර ගැනීම සඳහා මානාභරණ රුහුණේ තිබූ දළදා වහන්සේ රජරටට ගෙන්වා ගත් බවට පැහැදිලිව ම මහාවංශයේ සඳහන් කර තිබීමෙනි.

මානාභරණ රජු දළදා වහන්සේ ගෙනවුත් පොලොන්නරුවේ බලය තහවුරු කරගත් නමුත් පැරකුම් රජුගේ ආක්‍රමණය නිසා ඔහුට පොළොන්නරුව අතහැරීමට සිදු විය. පරාක්‍රමබාහු රජුගේ සෙනෙවියන් පොලොන්නරුව ආක්‍රමණය කරද්දී ඔවුන් අතට පත්වූයේ මානාභරණ රජුගේ අන්තඞපුරයත්, මෑණියනුත්, පුත් කුමාරයාත්, ධනයත් පමණි. දළදා වහන්සේ ඔවුන් අතට හසු නොවීය. එහෙත් වංස කතා තොරතුරු අනුව මානාහරණ රජු දළදා වහන්සේ පොලොන්නරුවට ගෙන්වාගත් බව ප්‍රකට ය. (ම.ව. 70. 266) එහෙත් පැරකුම් රජුගේ සේනාව අතට පත් නොවූයේ කවර හේතුවක් නිසා ද?

ඒ වන විටත් මානාභරණ දළදා වහන්සේ රැගෙන පලාගොස් තිබීම ඊට හේතුවයි. පැරකුම් රජු හමුදාව පොලොන්නරුව ආක්‍රමණය කරද්දී මානාභරණ ලංකාධිකාරී නම් පැරකුම්ගේ සෙනවියා සමඟ සටනට යෙදී සිටි බව මහාවංශයේ දැක්වේ. (ම.ව. 70 307) එසේ සටන් කළේ දළදා වහන්සේ රැගෙන පලායන අවස්ථාවේ දී ය. මානාභරණ සිය මෑණියන්ට හා දරුවාටත් වඩා දළදා වහන්සේ අගය කළේ හුදු ශ්‍රද්ධාව නිසා ම නොවේ. එය තමා සතුවීම බලය තහවුරු කර ගැනීමේ සාධකය වන නිසා ය. පොලොන්නරුව අල්ලාගත් මානාභරණ යටත් කර ගැනීම සඳහා පැරකුම්බාවන්ට බලවත් සටනක නිරතවීමට සිදුවිය. දළදා වහන්සේ හිමිවීම නිසා මානාභරණට විශාල ජනතා සහයෝගයක් ලැබී තිබීම ඊට හේතුවයි. ගජබාහු තමාව මුදා ගන්නැයි පැරකුම්ගෙන් ඉල්ලා සිටි විට (ම.ව. 70 - 272 - 273 ) පැරකුම් සිය සේනාවට සම්පත් දුන් බවක් මහාවංශය සඳහන් කරයි. ඔහු එසේ කරන්නට ඇත්තේ සිය සේනාව වෙහෙසට පත්ව සිටි නිසාවෙන් ම විය නොහැක.

දළදා වහන්සේ අයිති ව තිබීම නිසා තම සේනාව ද මානාභරණට පක්ෂපාතීවීමට ඉඩ තිබේ යැයි සිතූ නිසා ද විය හැකි ය.

පරාක්‍රමබාහු සමග කළ පොලොන්නරු සටනින් පැරදුණු මානාභරණ රුහුණට පලා ගියේ දළදා වහන්සේ සමඟින් ම ය. (ම.ව. 70 - 310) පොලොන්නරුවේ සිටි ගජබාහු මිය ගිය පසු මානාභරණ නැවතත් සේනාව මෙහෙයවීය. මේ අවස්ථාවේ දී මානාභරණ පොලොන්නරු රාජ්‍ය ලබා ගැනීමට යොමුවූයේ රජරට ඇමතිවරුන්ගේ ඉල්ලීම පිටයි. ඒ වන විටත් පරාක්‍රමබාහු රජු පොලොන්නරුවේ ප්‍රධාන පාලකයා ලෙස කටයුතු කරමින් සිටි නමුත් ඇමතිවරුන් මානාභරණව සොයා ගියේ දළදා වහන්සේ සතු ව සිටි පාලකයා මානාභරණ ම බැවිනි. (ම.ව.70 257 සහ 71.7)

මෙම ලිපියේ ඉතිරි කොටස බක් අමාවක පෝදා (27) අන්තර්ජාල කලාපයේ පළවේ.