[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සත සිත සුවපත් කළ මහා කාරුණිකයාණෝසත සිත සුවපත් කළ මහා කාරුණිකයාණෝ

සත සිත සුවපත් කළ මහා කාරුණිකයාණෝ

බුදුරජාණන් වහන්සේ තුළ පැවති මහා කරුණාවට සමාන කරුණාවක් ලෝකයේ පහළ වූ බුදුරජාණන් වහන්සේ නමකට මිස වෙනත් කිසිම කෙනකු තුළ දැකගත නොහැකි ය.

අවිද්‍යාව හා මුළා වීම නිසා නොයෙක් ආකාරයේ දුක් පීඩා විඳීන සත්වයන් වෙත සැනසීම උදාකරලීම සඳහා බුදුරජාණන් වහන්සේ තම ජීවිතය ම කැප කළහ. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව කිසිදා නො සිඳෙන උල්පතක් බඳු මහා උතුම් ගුණයකි. අද ද එම මහා කරුණාව නිසා සිත් සුවපත් කර ගන්නා සත්වයෝ බොහෝ වෙති.

බුදුරජාණන් වහන්සේගේ දින චරියාවෙහි ප්‍රථම අංකය මහා කරුණා සමාපත්තියෙන් ලෝකය දෙස බැලීම යි. මෙහි මූලික අරමුණ අන්‍ය ජීවිතවලට ආලෝකයක් ලබා දීමයි.

මෙහි දී උසස් පහත්, උගත් නූගත්, දුප්පත් පොහොසත්, සැර පරුෂ, හෝ අහිංසක වැනි කිසිදු වෙනසක්, ප්‍රභේදයක් නොකළ බුදුරජාණන් වහන්සේ සෑම දෙනා කෙරෙහි ම මෛත්‍රියෙන් කරුණාවෙන් තම මෙහය ඉටු කළහ. මේ විවිධ චරිත බුදුරදුන්ගේ වදන් තුළින්, ක්‍රියාකාරකම් තුළින්, උපදේශනාත්මක මඟ පෙන්වීම් තුළින් නිවැරැදි මඟට යොමු වූ අයුරු දැක ගන්නට පුළුවන. මෙය බුදුරදුන්ගේ උදාර කරුණා ගුණ මහිමයේ ප්‍රතිඵලයකි.

බරපතළ ලෙස රෝගි වූ පූතිගත්ත තිස්ස හිමියන් බුදුරදුන්ගේ කරුණාවට ලක් වූ භික්‍ෂුවකි. මේ භික්ෂුව බලවත් සේ රෝගාතුර විය. පොරවාගෙන සිටි සිවුරු හා අඳන ලෙයින් හා සැරවවලින් පිරී දුර්ගන්ධවත් වස්ත්‍ර බවට පත් විය. උපස්ථාන කළ අයටත් ළං විය නොහැකි මට්ටමට පත්වීම නිසා කිසිදු කෙනකුගෙන් උපකාරයක් ලැබුණේ නැත.මේ නිසා ම තිස්ස කියන නමට මුලින් තවත් කොටසක් එකතු වී පූතිගත්ත තිස්ස තෙරුන් යැයි භාවිත කරන්නට පටන් ගත්හ. උදේ පාන්දරින් ම ලොව බලන තථාගතයන් වහන්සේ සිරුර කුණු වී ජරා ගොඩක සිටියත් පූතිගත්තතිස්ස තෙරුන්ට නිවන් දැකීමේ වාසනාව ඇති බව පෙනී ගියහ.

කෙලෙස් ලෙඩට පමණක් නොව ශාරීරික රෝගවලටත් බෙහෙත් දන්නා බුදුරජාණන් වහන්සේ කෙලෙස්වලින් ගොඩ ගන්නට කලින් ශරීරගත රෝගය සුවපත් කළ යුතු යැයි සිතා තමන් වැඩ සිටින ගඳ කිළියෙන් නික්ම ගිනිහල්ගෙට වැඩම කළහ. පූතිගත්ත තිස්ස භික්ෂුව සිටින කුටියට වැඩම කොට ඇඳ ඔසවා රැගෙන යන්නට සූදානම් වන විට අනෙකුත් භික්ෂුහු ද පැමිණ ඇඳ පිටින් ම ගිනිහල්ගෙට ඔසවා ගෙන ගියහ. එහිදී උන්වහන්සේ ඇඳ සිටි සිවුරු හා අඳන සෝදා වියළෙන්නට තබා බුදුරදුන් සිය අතින් ම රෝගී භික්ෂුවගේ ඇඟ උලා, පැන් වත් කොට නහවා, පිරිසුදු රෙදි කඩකින් සිරුර පිස දා වේළුණු සිවුරු හා අඳන පෙර වීය. රෝගී තත්ත්වයෙන් සැනසිලිදායක මට්ටමට පත් වූ මේ භික්ෂුවගේ මනසට එදා බුදුරදුහු දේශනා කළ ධර්මය මහත් සැනසිල්ලක් විය. ධර්මය ඇසූ තිස්ස හිමි රහත්ඵලයට පත්විණි. කාගේවත් පිහිටක් නැති මෙවැනි අසරණ රෝගියකුට කළ උපස්ථානය කරුණාව යනු කුමක්දැයි ප්‍රායෝගික ව අපට පෙන්නුම් කරයි.

සමාජය තුළ විවිධාකාරයෙන් පීඩනයට, අසහනයට, වේදනාවට පත්වන අය දෙස බලන්න. අන්‍යයන්ගේ ඇනුම් බැනුම්, දෝෂාරෝපණ, නින්දා අපහාස විඳීමින් සිටින අය මො නතරම් ද? එදිනෙදා විවිධාකාර ගැටුම්කාරී මට්ටමට පත් වූ පවුල් ජීවිත කොතෙක් ද? මෙම ගැටුම්කාරී

ස්වභාවයට කරුණාව හා මෛත්‍රිය ඖෂධයක් කර ගන්නේ කෙසේද යන්න රජ්ජුමාලා දාසියගේ චරිතය අපට පෙන්වා දෙයි.

නිතිපතා ස්වාමිදුවගෙන් සිදුවන පහර දීම් ඉවසීමට බැරි තැන රජ්ජුමාලා වතුර ගෙනෙන්නට යන මුවාවෙන් කළයකුත් රැගෙන අසල ඇති වන ලැහැබකට ගොස්

මළපුඩුවක් සාදා ගෙල වැල ලා ගන්නට සූදානම් වී වටපිට බලන දාසියට රන්වන් පැහැයෙන් බබළමින් ගසක් මුල වැඩ සිටින බුදුරදුන් දැක ගැනීමේ වාසනාව උදාවුණා. බුදුහිමියන් දෙස ම බලා සිටියා. බුදු සමිඳුන් “දුවේ රජ්ජුමාලා එල්ලී මැරෙන්න එපා, දුවේ මා වෙත එන්න"

කියා රජ්ජුමාලාට කතා කළා. මෙය ඇසෙනවා සමඟ ම ඇයට සියලු දුක් වේදනා අමතක වුණා. ඇයට මහත් සැනසිල්ලක් ඇතිවුණා. බුදුරදුන් වෙත ගොස් ගෞරවයෙන් වැඳ පැත්තකට වුණා. බුදුරදුන් ඇයගේ මානසික පීඩාව දුරු කිරීමට අදාළ කරුණු පෙන්වා දුන්නා. ඉතා ඕනෑකමින් ධර්මය ඇසූ රජ්ජුමාලා සෝවාන් ඵලයට පත්වුණා. එතැන් පටන් තම ජීවිතය නසන්නට පැමිණියත් ඒ ඕනෑ ම කෙනකුට මෛත්‍රිය පතුරුවන කරුණාවෙන්, දයාවෙන් පිරි ආර්යාවක් බවට පත්වුණා.

“සියලු සත්වයෝ සුවපත් වෙත්වා“යි මෛත්‍රී කරමින් නිවස දෙසට ගියා.

ගෙදර ප්‍රධාන බමුණා මෛත්‍රියෙන් බබළන ඇය දැක පුදුමයට පත් වී, දුව වතුර ගෙන එන්නට ගොස් මෙතෙක් ප්‍රමාද වූයේ ඇයි දැයි ප්‍රශ්න කළා. අද ඔබගේ මුහුණ වෙනදා වගේ නොවේ අද ආදරබර හැඟීමකින් කටයුතු කරන බවයි පේන්නේ. මෙහෙම වෙනසක් වුනේ කොහොමදැයි රජ්ජුමාලාගෙන් ප්‍රශ්න කළා.

අද මම මෙලොව ශ්‍රේෂ්ඨතම උත්තමයා වූ බුදුරදුන් සරණ ගියා. තුනුරුවන් වෙනුවෙන් ජීවිතය පූජා කළා. මා සියලු දෙනාට ම මෛත්‍රී කරනවා. මේ දක්වා ම මා අතින් වරදක් සිදුවී ඇත්නම් මට සමා වන්න යැයි රජ්ජුමාලා අයැද සිටියා. මෙය ඇසූ බමුණා රජ්ජුමාලා හොඳ තැනැත්තියක් වූවා යැයි සිතා තම ලේලිය වෙත ගොස්,

“දුවේ අදින් පසුව රජ්ජුමාලාට මොනම පීඩාවක්වත්, හිංසාවක්වත් කරන්න එපා” කියා අවවාද කළා. බමුණා බුදුරදුන් වෙත ගොස් තම නිවසට වැඩම කර ගෙන විත් මහත් භක්තියෙන් දානය පිරිනැමුවා. බුදුරදුන් වැඩම කළ බව අසා අසල්වාසීන් ද එක් රැස්වුණා.

රජ්ජුමාලාට හිංසා කළ තරුණිය ඇතුළු සියලු දෙනාට ම බුදු සමිඳු බණ දේශනා කළා. තරුණ බැමිණියගේ සිත මෘදු මොළොක් බවට පත්වුණා. ඇය ඇතුළු සියලු දෙනා ම සියලු සත්වයන්ට කරුණාව, මෛත්‍රිය වඩන අය බවට පත්වුණා. මහලු බමුණා අද සිට රජ්ජුමාලා තමාගේ දාසියක් නොව මගේ ආදරණීය දුවක් බවට පත්වූවා යැයි සිතා දරු සෙනෙහසින් කටයුතු කළා.

තරුණ බැමිණිය ද එක කුස උපන් සහෝදරියකට මෙන් රජ්ජුමාලාට ආදරයෙන් කරුණාවෙන් සැලකුවා.

බුදුරදුන් ලෝකයට පෙන්වා වදාළ මහා කරුණාව අසරණ සත්වයන් වෙත දායාද කිරීමේ හැකියාව අප තුළ ඇත. කරුණාව පමණක් අරමුණු කර ගෙන සිදුකරන එම සත් ක්‍රියාවන් අපේ සිත් ද සුවපත් කරනු ඇත. යම් අවස්ථාවක දී අප ද අසරණ වීමට ඇති ඉඩකඩ බොහෝ ය. ඒ සෑම අවස්ථාවක දී ම බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව අපට පිහිට වනු ඇත. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය ජීවමාන ය. ඒ කරුණා ගුණයෙන් අප සිත් ද සුවපත් කර ගනිමින් අනෙකුත් සත්වයන්ගේ ජීවිත ද සුවපත් කිරීමට අපි අධිෂ්ඨාන කර ගනිමු.

බක් පුර පසළොස්වක

 අප්‍රේල් 12 සෙනසුරාදා පූ.භා 03.24 පුර පසළොස්වක ලබා 13 ඉරිදා පූ.භා 05.53න් ගෙවේ.
12 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 12

Second Quarterඅව අටවක

අප්‍රේල් 21

Full Moonඅමාවක

අප්‍රේල් 27

First Quarterපුර අටවක

මැයි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]