සුනාපරන්තයට වැඩම කළ පුණ්ණ තෙරණුවෝ
ගස්, ගල්, පර්වතවලට වඳිමින් අන්ධ ව සිටි මිනිසුන්ට පිදිය යුත්තන් පිදෙන උතුම් වූ
සත්කාරයක නිරත වෙමින්, අනාගතයේ හිතසුව වැඩ පිණිස ධර්මයෙහි හැසිරෙන්න.
මුල, මැද, අග කලණ වූ ධර්මය දේශනා කරන්න. දෙදෙනකු එක මඟ නොයන්න. යන ධර්මෝපදේශය
පිළිපදිමින් ක්‍රියාත්මක වුණු, ධර්ම චාරිකාවේ යෙදුණු එක් සන්ධිස්ථානයකි පුණ්ණ
තෙරුන් වැඩම කළ සුනාපරන්තය. අරාබි ඉතිහාසය විමසන විට පාලි සාහිත්‍යයෙන් අපූරු
ඓතිහාසිකත්වයක් ඉස්මතු කර ගත හැකි ය. ත්‍රිපිටකයේ පුණ්ණෝවාද සූත්‍රය පැරැණි ම
මූලාශ්‍රය වේ. සුනාපරන්ත දේශයෙන් වෙළෙඳාම පිණිස පැමිණි පුණ්ණ නම් පුද්ගලයකු
බුදුරජාණන් වහන්සේ පිළිබඳ දැන ගෙන උන්වහන්සේ හමුවීමට ජේතවනාරාමයට පැමිණියේ ය. බණ
අසා පැහැදී පුණ්ණ තමාගේ ගැල් පන්සීය ආදී වස්තුව තම බාල සොහොයුරු වන චූල පුණ්ණ වෙත
යවයි. අනතුරුව බුදුරජාණන් වහන්සේ සමීපයෙහි පුණ්ණ පැවිදි වන්නේ ය. නොබෝ දිනකින්
උන්වහන්සේ රහත් වන සේක. බුදුරජාණන් වහන්සේගෙන් තම ප්‍රදේශයට යෑමට උන්වහන්සේ අවසර
පතයි. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පුණ්ණ, සුනාපරන්තවාසී මනුෂ්‍යයෝ පරුෂයි.
ආක්‍රෝෂ කරන සුළුයි. පරිභව කරන සුළුයි. චණ්ඩයි. එනිසා ඒ පිළිබඳ ව කුමක් සිතන්නේ ද?
පුණ්ණ මහරහතන් වහන්සේ -
සුනාපරන්තවාසී මිනිස්සු මට ආක්‍රෝෂ කළත්, නින්දා කළත් ඒකාන්තයෙන් ම ඒ අය යහපත් ය.
මක්නිසාද යත් මට ඒ මිනිස්සු අතින් පයින් පහර නොදෙන නිසා ය.
බුදුරජාණන් වහන්සේ -
ඉදින් පුණ්ණ සුනාපරන්ත මිනිස්සු අතින් පයින් පහර දෙත් නම් ඔබ වහන්සේ කුමක් සිතන්නේ
ද?
පුණ්ණ මහරහතන් වහන්සේ -
සුනාපරන්තවාසී මිනිස්සු මට අතින් පහර දෙත් නම් ඒ අය යහපත් ය. මක්නිසාද යත් මට ඒ
මිනිස්සු ලී දඬුවලින් පහර නොදෙන නිසා ය.
බුදුරජාණන් වහන්සේ -
ඉඳින් පුණ්ණ, සුනාපරන්ත මිනිස්සු ලී දඬුවලින් පහර දෙත් නම් ඔබ වහන්සේට කුමක්
සිතෙන්නේ ද?
පුණ්ණ මහරහතන් වහන්සේ -
සුනාපරන්තවාසි මිනිස්සු මට ලී දඬුවලින් පහර දෙත් නම් ඒ අය යහපත් ය. මක්නිසාද යත් මට
ඒ මිනිස්සු තියුණු ආයුධවලින් පහර නොදේ.
බුදුරජාණන් වහන්සේ -
ඉදින් පුණ්ණ, සුනාපරන්ත මිනිස්සු තියුණු ආයුධවලින් පහර දෙත් නම් ඔබ වහන්සේට කුමක්
සිතෙන්නේ ද?
පුණ්ණ මහරහතන් වහන්සේ -
සුනාපරන්තවාසී මිනිස්සු මට තියුණු ආයුධවලින් පහර දෙත් නම් ඒ අය යහපත් ය.
මක්නිසාදයත් මා ඝාතනය නොකෙරේ.
ආදී වශයෙන් බුදුන් වහන්සේ නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දුන්හ.
එසේ නම් ඔබ සුනාපරන්තයට යාමට සුදුසු ය. බුදුරජාණන් වහන්සේ අනුමත කළහ. අනතුරුව
උන්වහන්සේ සුනාපරන්ත දේශයට වැඩියහ. එහිදී උපාසකයන් පන්සියයක් හා උපාසිකාවෝ
පන්සියයක් බුදුදහම වැලඳගත්හ. මෙම සූත්‍රය පිළිබඳ ව විවරණයක් මජ්ක්‍ධිම නිකායේ
අටුවාවේ අන්තර්ගත වේ. ඒ අනුව අපට පැහැදිලි වනුයේ සුනාපරන්තවාසී ප්‍රථම භික්ෂූන්
වහන්සේ පුණ්ණ මහරහතන් වහන්සේ බවයි.
සුනාපරන්ත ජනපද නාමයෙහි පුරාණයෙහි හැඳින්වෙන උතුරු ඉන්දියාවේ සිට විහිදගිය උත්තරාපථ
නමැති වෙළෙඳ මාර්ගය සුනාපරන්ත මහ ජනපද රාජ්‍යය තුළ විහිදී ගියේ ය. නැඟෙනහිර සිටත්,
බටහිර සිටත් දේශ ගවේෂකයෝ ද, සාත්තුවාහකයෝ ද, ධර්ම ශවේෂිහු ද මේ මහ මඟ ඔස්සේ ගමන්
කොට සුනා හිදී අභිමත පරිදි අවැසි ගනුදෙනු හුවමාරු කොට ගත්හ. බෞද්ධ ජාතක කතාවලින් ඒ
බව තවදුරටත් සනාථ වේ. සුනාපරන්ත අර්ධද්වීපයෙහි යවන දේශ, යෝනක දේශ, යවන ලෝක නමිනුදු
හැඳින්වේ. පූර්වයෙහි සුනාපරන්ත රට නමින් හැඳින්වුණු අරාබි ලෝකය නූතනයෙහි මැදපෙරදිග
යනුවෙන් ගැනේ. ආර්ය සභ්‍යත්වය මැද පෙරදිගටත්, යුරෝපයටත් පැතිර ගියේ මුලින්, සඳහන්
කළ උත්තරාපත මාර්ගයෙහි ය.
අට්ඨ කතාවේ සුනාපරන්ත ප්‍රදේශය තුළ බුදු දහම ඉතා ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වූ බව ප්‍රකට
වේ. ශාන්ති නායක බුදුපියාණන් වහන්සේ පවා සුනාපරන්තයට වැඩම කළ බවත්, ඉතා ම දියුණු
විහාරස්ථාන හතරක් පුණ්ණ මහරහතන් වහන්සේ යටතේ ඉදි වූ බවත් සඳහන් වේ.
උන්වහන්සේ සුනාපරන්ත රටට වැඩම කොට අම්බට්ඨ පර්වතයෙහි වැඩ සිටි වෙළෙඳ ගමට පිඬු පිණිස
වැඩි සේක. ඉන් අනතුරු ව සමුද්දගිරි විහාරයට ගියහ. එහි අයස්කාන්ත ගලින් නිම කරන ලද
සක්මනක් ඇත. එහි සක්මන් කරන්නට කිසිවකුට නොහැකි ය.එනම් මුහුදු රළ පැමිණ අයස්කාන්ත
ගල්වල හැපී මහත් ශබ්ද නැඟෙන බැවිනි. එම නිසා කමටහන් මෙනෙහි කරන තෙරුන් වහන්සේට මෙය
බාධාවක් නිසා එය නිශ්ශබ්ද කරවීය. ඉන් අනතුරුව මා පර්වතයට වැඩි සේක. එහිදී පක්ෂීන්ගේ
ශබ්දය දිවා - රාත්‍රියේ ම ඉහළින් ඇසේ. මෙම ස්ථානය අපහසු යැයි කියා මකුලකාරාම
විහාරයට ගියහ.
මෙම ස්ථානය සුනාපරන්තයට දුරත් නැති, ළඟත් නැති ප්‍රදේශයකි. නිශ්ශබ්ද සහ විවේකී
පරිසරයකි. තෙරුන් වහන්සේ මෙම ස්ථානය පහසු ස්ථානයක් හෙයින් එහි වස් වැසීය. මේ
ආකාරයෙන් පුණ්ණ තෙරුන් ස්ථාන හතරෙහි ම වැඩ වාසය කළහ.
මෙම කාලයේ එක් දවසක වෙළෙන්දන් පන්සියයක් එතෙර බලා පිටත් වූ අතර, බාල සහෝදරයා
පන්සිල් ගෙන පුණ්ණ තෙරුන්ට වැඳ අවසර ලබා නැව් නැඟ වෙනත් රටකට ගියහ. එහි සඳුන්
වනයකි. මෙයින් සඳුන් ගෙන වෙනත් රටකට යාමට සිතා එය ගැනීමට උත්සාහ කළේ ය. මෙයින්
සඳුන් වනයට අධිගෘහිත අමනුෂ්‍යයෝ කෝපයට පත් ව ඔවුන් මරණයට ලක් කරන්නේ යැයි සිතා මහ
මුහුද මැද නැව ගිල්වනවාමයි පැවසූහ.
එහිදී නැවට නැඟ ටික වේලාවකින් සුළි සුළඟක් හමමින් භයානක රූප මැවිණි. මෙයින් බියට
පත් මිනිස්සු තමන්ගේ දෙවියන් වැන්දේ ය. පුණ්ණ තෙරුන්ගේ බාල සහෝදරයා කියාසිටිනුයේ
“මාගේ සහෝදරයා පිහිට වේවා'යි පතමින් පුණ්ණ තෙරුන් සිහිපත් කළේ ය. එවිට පුණ්ණ තෙරුන්
එම අවස්ථාවේ ම අහසට පැන නැඟ ප්‍රාතිහාර්ය පාමින් පෙනී සිටියහ. අමනුෂ්‍යයෝ පුණ්ණ
තෙරුන් දැක එයින් ඉවත් වූහ. බියට පත්ව සිටි සියල්ලෝ ම සැනසීමට පත්වූහ. අනතුරුව
සියලු දෙනා ම තිසරණයෙහි පිහිටා උපාසක උපාසිකාවෝ බවට පත්වූහ.
මෙයින් සතුටට පත් ඔවුහු පුණ්ණ තෙරුන්ට ඔවුන්ගේ ලාභයෙන් කොටසක් පූජා කළහ. එම කොටස
පුණ්ණ තෙරුන්ට අවශ්‍ය නැති බවත්, එයින් බුදුරජාණන් වහන්සේට මණ්ඩල මාලයක් කර දෙන
ලෙසත් ඉල්ලා සිටියහ. ඉන් අනතුරුව පුණ්ණ තෙරුන් සෘද්ධියෙන් වැඩම කළහ. බුදුන් වහන්සේ
දැකීමට සුනාපරන්ත වැසියෝ කැමැති යැයි පැවසූහ. මෙහිදී ඒ අතර මිථ්‍යාදෘෂ්ටිකව සිටි
තාපස තෙමේ ද සම්‍යක් දෘෂ්ටි ගෙන රහත් වූ අතර, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට
මහා දාන දී මකුලකාරාමයෙහි වැඩ සිටියහ. එහි කිහිප දවසක් වැඩ විසූ අතර පුණ්ණ තෙරුන්ට
එම ප්‍රදේශයේ ම වැඩ සිටින ලෙස පවසා බුදුරජාණන් වහන්සේ නැවත වැඩම කළහ.
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.
-
හේමමාලා රන්දුනු
|