Print this Article


පාපී දුර්වලයන් ඉදිරියේ වීර්යයෙන් පින් කරමු

පාපී දුර්වලයන් ඉදිරියේ වීර්යයෙන් පින් කරමු

දුප්පත්, පොහොසත්, උගත්, නූගත්, රූපී, විරූපී, ස්ත්‍රී, පුරුෂ, බාල, මහලු, බලවත්, දුර්වල ආදී නොයෙක් බෙදා වෙන්කිරීම් ලෝකයේ කොතෙකුත් දකින්නට ලැබුණත් සම්බුදු සසුනක දී අපි හැමෝම බෙදෙන්නේ කොටස් දෙකකට පමණ යි. ඒ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා සහ අශ්‍රැතවත් පෘථග්ජනයා ලෙසයි.

ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා සහ අශ්‍රැතවත් පෘථග්ජනයා අතර බෙදීම ඇති කරන්නේ තම සිත විසිනු යි. මේ සිත විසින් අප සසරේ බොහෝ දුර ගමනක් රැගෙන යනවා. සුගති දුගති ලෝකවලට ඇද දමමින් යන මේ ගමන සිතත් සමඟ යන ගමනක්. සිත තමා අපට පිනට පමාවෙන්න එපා, කුසල් දහම් කරන්න කියා කියන්නේ. ඒ සිත ම තමා අප පාපයේ යොදවන්නේ.

සිත ගැන පරිපූර්ණ ලෙස අවබෝධ කළ අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ සිත විශ්වාස කරන්න එපා. මේ සිත වඩන්න කියල යි. ඒ වැඩූ සිත අවබෝධ කරන්න කියල යි. සිත වැඩිය යුත්තේ සමථ විදර්ශනාව තුළින්.

පි‍්‍රය මනාප දේ ගැන ආශාව ඇතිවන්නේ සිතේ. ඒ තුළින් සැප විඳීමක් ඉපදෙනවා. අපි‍්‍රය අමනාප දේ ගැන තරහව, ඊර්ෂියාව, ක්‍රෝධය ආදිය ඉපදෙන්නේත් මේ සිතේම යි. ඒ තුළින් දුක් විඳීමක් ඉපදෙනවා. ඒ වගේම ඒ විඳීම් දෙක ම නූපදවාගෙන අපට පෙනෙන, ඇසෙන, දකින, දැනෙන, විඳින දේ බොහොමයක් තිබෙනවා. ඒ දැනීම විශේෂ කොට නො තේරුණාට ඒ වෙලාවේ සිතේ සැප, දුක් රහිත විඳීමක්, උපේක්ෂාවක් තමා උපදින්නේ. එයට ‍මෝහය මූලික වෙනවා. අශ්‍රැතවත් පෘථග්ජනයා ලෝකයත් සමඟ ගනුදෙනු කරන්නේ ඒ මුළාව තුළයි.

ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඇත්ත ඇති සැටියෙන් දකින්න සිත පුහුණු කරමින් සිටින කෙනෙක්. ලෝක ධර්මතාවන්ට මුහුණ දෙද්දී ඔහුට සිහි වෙන්නේ ම ශ්‍රී සද්ධර්මය යි. සම්බුදු රජාණන් වහන්සේ මේ ලෝකය අවබෝධ කළ බව, ඒකාන්තයෙන් ම ශ්‍රී සද්ධර්මය මැනවින් දේශනා කරන ලද්දක් බව, ආර්ය මහා සංඝරත්නය කෙලෙස් නසා ඒ මඟෙහි පිළිපන් බව ආර්ය ශ්‍රාවකයා නිතර ම මෙනෙහි කරනවා. හේතුවක් නිසා හටගත් දේට ආශාවෙන් ඇලීයාම හෝ ගැටීයාමට නො ගොස් එහි ඇති අනිත්‍යයත්, දුකත්, තමා වසඟයෙහි පැවැත්විය නොහැකි බවත් දකින නුවණැස පාදා දෙනවා. ඒ තමා ඒ දෙපිරිසේ වෙනස.

ආර්ය ශ්‍රාවකයා සහ පෘථග්ජනයා මේ ලෝකයේ තිබෙන නොයෙක් හැලහැප්පීම් , සිත් රිදීම්, සතුටුවීම් ආදී දේට මුහුණ දෙනවා. ඒ දෙදෙනා ම කාලයත් සමඟ මරණය කරා යනවා. එහෙත් ඇතැම් දෙනා සිතනවා මරණය කියන්නේ කතාබහට ලක් නො කළ යුතු මාතෘකාවක් කියල යි. මරණය ගැන කෙරෙන කතා, ජන සමාජයේ හඳුන්වන්නේ මූසල කතා කියල යි. මරණයට නියත උරුමයක් තිබෙද්දීත් ඒ ගැන කතා කරන්න, සිහි කරන්න සිතේ පැකිළීමක් තිබෙන්නේ. එසේ පැකිළුණත් නැතත්, අප සියලු ම දෙනා යම් දවසක මරණය කරා යනවා. ඉපදුණ දා පටන් නො නැවතී යන එක ම ගමන මරණය වෙත ළං වීම යි. තමාට මේ ලෝකයේ දමා යන්න බැරිම කෙනාත් දවසකට අපට දාලා යන්න වෙනවා. ඒ ඒ මරණයන්හි දී ඒ මොහොතට මුහුණදීලා මිනිසුන් ආයෙමත් සාමාන්‍ය ආකාරයට කටයුතු කරනවා. මරණය නැවත නැවත සිහි කළ යුතු දෙයක් නොවේ කියන්නේ පෘථග්ජනයා යි.

කිසිවකු නොමළ ගෙයක් කොහෙවත් හොයා ගන්න බැහැ. ඒ ආකාරයට තමාගේ ආදරණීයයන් මරණයට පත් වෙද්දී අපි හඬා වැලපෙනවා. ඇතැම් කෙනෙක් කඳුළු නො සලා සිතේ හයියෙන් ඉන්නවා. එසේ සිතේ හයියට සිටි අය හෝ හඬා වැලපුණු අය හෝ තම සමීපතමයාගේ මරණයේ මුල් කාලයේ ඒ ගැන සිහි කළත්, කාලය ගතවෙද්දී අපි එයට හුරු වෙනවා. අපගේ මරණය එළෙඹෙනතුරු ම එය තමා කතාව. ආයේ ආයේ ඉපදුණොත් ආයේ ආයේ මුහුණදීම ගැන තමා කතාව.

එනිසා මරණය සිහි කළත්, නැතත් අපත්, අන් අයත් යම් දවසක මැරෙනවා තමයි. මැරෙන දවස ඒ ගැන කිය කියා අපගේ පස්සෙන් එන්නේ නැහැ තමයි. හැබැයි මරණය සිහි කිරීම තුළ අප්‍රමාදය උපදිනවා. ඒ අප්‍රමාදය උපදින්නේ කුසල් දහම් දියුණු කරලීම පිණිස සහ අකුසල් ප්‍රහාණය පිණිස යි. කෙලෙස් සහමුලින් ම නසනා කුසලයෙහි පිරිපුන් බවට පැමිණෙන, එයින් විමුක්තියට පරිපූර්ණ මඟ ඔස්සේ සම්බුද්ධ ශාසනය තුළ යම් කෙනෙක් අප්‍රමාදී වෙනවා නම් ඊට වඩා ලාභයක් මේ ජීවිතයට වෙන කොයින් ද?

එනිසා අප මරණය ජීවත් කළ යුතු නොවේ ද? ඒ තුළින් අප අප ව පින සහ කුසලය තුළ ජීවත් කරලීමටයි අනුග්‍රහය දක්වන්නේ. සම්බුද්ධ ශාසනයක් ගැන අසන්නටත් නැති යුගයක නම් මරණය ගැන සිහි නොකර ඉන්න තිබුණා. හැබැයි අප මේ ගෙවා දමන්නේ සම්බුද්ධ සසුනක ජීවමාන යුගයක්. පිරිසුදු ව, මිහිරි ව ශ්‍රී සද්ධර්මය කියා දෙන සත්පුරුෂයන් වහන්සේ වැඩ වෙසෙන යුගයක්. එහෙම යුගයකත් අප ප්‍රමාද නම් ඒ වරද කාගෙ ද? ශ්‍රී සද්ධර්මයේ ද? මේ යුගයේ ද? සත්පුරුෂයන් වහන්සේගේ ද? නැහැ. ඒ වරද අප්‍රමාදී වන අපගේ යි.

තමනුත් මැරෙන බව දන්න, ඒ මරණය ජීවිතයේ සෑම මොහොතක් ම ගිල ගැනීමට සිටින බවත් දන්නා ශ්‍රී සද්ධර්මය දරාගෙන සිටින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයකුට නම් මේ ගෙවී යන කාලයේ දී අනුන් ගැන සොයමින්, අනුන්ගේ වැරැදි අඩුපාඩු සමඟ පොර බදමින් සාධාරණය, අසාධාරණය ගැන ඔට්ටු වෙවී නාස්ති කරන්නට තමන්ගේ කාලය යොදවන්නේ නැහැ.

නූපන් කුසල් උපදවා ගන්නත්, උපන් කුසල් දියුණු කර ගන්නත් ඔහු අප්‍රමාදී වෙනවා. ඒ වගේ ම උපන් අකුසල් ප්‍රහාණය කරන්නත්, නූපන් අකුසල් නූපදවා සිටින්නත් ඔහු අප්‍රමාදී වෙනවා. එසේ අප්‍රමාදී බව උපදින්නේ සිත විශ්වාස කිරීමෙන් නොවේ. ධර්මය විශ්වාස කිරීමෙන් පමණයි.