Print this Article


උතුම් මහරහත් උදාන

උතුම් මහරහත් උදාන

ඉස්සර ඔබ තුළ මා ගැන ශ්‍රද්ධාවක් තිබුණා. ඒත් අද ඊට වෙනස්. ඒ ශ්‍රද්ධාව පෙනෙන්නට නෑ. ඔබ යමක් කර ගත්තා නම් ඒක ඔබට ම වේවා! ඔබ හිතන ආකාරයේ දුෂ්චරිතයක් මා තුළ නැහැ.

පෘථග්ජන උදවියගේ ශ්‍රද්ධාව අනිත්‍ය එකක්ම යි. ඒ ශ්‍රද්ධාව මොහොතකින් වෙනස් වෙනවා. මම ඒක හොඳට දැකල තියෙනවා. වෙලාවකට ඒ උදවිය එතන දී පැහැදිලා සතුටු වෙනවා. තවත් වෙලාවක දී අපැහැදිලා කලකිරෙනවා. ඉතින් එතන දී පිරිහී යන්නෙ මුනිවරයා කියලා හිතනව ද?

මුනිවරයාට ගෙයක් පාසා බත් ටික ටික නමුත් පිසෙනවා. ඒ නිසා මම පිණ්ඩපාතෙ කර ගෙන ජීවත් වෙනවා. තවමත් මගේ දෙපා හයිය යි.


වතුර ගෙන යන උදවියට තමන් කැමැති පරිදි වතුර ගෙන යන්නට පුළුවන්. හී වඩුවන්ටත් පුළුවන් කැමැති පරිද්දෙන් ඊතල නමා ගන්නට. තමාගේ කැමැත්ත පරිදි ලී දඬු නමා ගන්නට ලී වඩුවන්ට පුළුවන්. අන්න ඒ ආකාරයෙන් ම තමන් ව කැමැති පරිදි දමනය කර ගන්නට සත්පුුරුෂයන්ට පුළුවන්.


භේසකලා වනයේ ඉන්නේ බුදු පියාණන්ගේ දායාදය ලබා ගත් භික්ෂුවක්. ඇටසැකිල්ල ගැන භාවනා කරල මේ මුළු පොළොව ම ඒ භාවනා අරමුණින් වසාලන්ට ඔහුට පුළුවන් වුණා. මා හිතන්නේ නම් ඔහු ඉතා ඉක්මනින් කාමරාගය නැති කර දමන බවයි.


සංසාර දුකට මගේ සිතේ දැන් කිසි බියක් නෑ. අපගේ ශාස්තෘන් වහන්සේ අමා නිවන් ලබා දෙන්නට අතිශයින් ම දක්ෂයි. සසර දුක් නැති තැන වන ඒ අමා නිවන වෙත භික්ෂූන් වහන්සේ ගමන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්.


අමා නිවන අවබෝධ කරන්නට සිතන කෙනා පාප මිත්‍රයන් ව අත් හරින්ට ඕනෑ. උත්තම පුද්ගලයන් සේවනය කරන්නටත් ඕනෑ. ඒ උතුමන්ගේ අවවාදයේ පිහිටා සිටින්නටත් ඕනෑ.

මුහුදට වැටිච්ච කෙනා කුඩා දර දැබැල්ලකට නැඟ ගත්තොත් ගිලෙන්නේ මුහුදෙ ම යි. අන්න ඒ වගේ කුසීතයා ඇසුරු කරන යහපත් පුද්ගලයත් පිරිහෙනවා. එනිසා හීන වීරිය ඇති කුසීත පුද්ගලයන් ව ආශ්‍රයෙන් ඈත් කළ යුතුයි.

තනියම ජීවත්වන, දිවි දෙවැනි කොට ධර්මයේ හැසිරෙන, ධ්‍යාන වඩන, පටන් ගත් විරිය නිතර පවත්වන උතුමන් ව යි ඇසුරු කළ යුත්තේ.


බුදු රජාණන් වහන්සේගේ අවවාදය මා පිළිගත්තේ ඉතා ගෞරවයෙන්. එදා දානයට මම වැළඳුවේ මී පැණි මිශ්‍ර කිරි බතක්. ඊට පස්සේ උණ පඳුරක් සෙවණේ හිඳගත් මම භාවනා කරන්නට පටන් ගත්තා. පංච උපාදානස්ඛන්ධයන් මුල් කොට මේ දුක හට ගන්නා හැටිත්, ඒ දුක නැති වන හැටිත් නුවණින් විමසා බැලුවා. මම ගොඩාක් කැමැති විවේකයට ම යි. එනිසා මම ආයෙමත් සානු වනයට ම යනවා.


අඥාන කෙනා නිදිමතින් පීඩා විඳ විඳ කුස පුරවා ගැනීමට යි බොහෝ ආහාර ගන්නේ. ඊට පස්සෙ කරන්නේ ඒ මේ අතට පෙරළි පෙරළි නිදා ගැනීම යි. ඌරු බත් කාල තර වුණ ඌරකු ගේ ජීවිතයක් වගෙයි. ඔහුට සිදුවන්නේ ආයෙමත් මවුකුසට රිංගන්නට යි.


මට නම් මරණය ගැන කිසිම බියක් නැහැ. ජීවත්වීම ගැන අමුතු ආශාවකුත් නැහැ. ඉතා හොඳින් සිහියත්, නුවණත් පිහිටුවා ගෙන ම යි මේ ශරීරය මම අත්හැර දමන්නේ.

කාරංචි වනයේ ඉන්න මේ මොනරුන්ට තිබෙන්නේ නිල් පාට ලස්සන බෙල්ලකි. උන් එක රංචුවටයි නාද කරන්නේ. මේ හමන සීතල සුළඟට උන් සතුටු ඇති. ඒ නිසයි ඒ හඬ මේ තරම් මිහිරි. නිදාගෙන සිටින උදවියත්, ධ්‍යාන වඩන උදවියත් ප්‍රබෝධවත් කරන්නට ඒ හඬට පුළුවන්.


ගිහිගෙය අත්හැරල ශ්‍රද්ධාවෙන් ම ශාසනයට පැමිණි නවක භික්ෂුව පිරිසුදු ජීවිතයක් ගෙවන්නට ඕනෑ. වීර්යවන්ත වෙන්නට ඕනෑ. කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ඇසුරු කරන්නට ඕනෑ.

ගිහිගෙය අත්හල ශ්‍රද්ධාවෙන් ම ශාසනයට පැමිණි නවක භික්ෂුව සංඝයා ඇසුරේ ම වසන්නට ඕනෑ. හොඳට ධර්ම විනය ඉගෙන ගන්නට ඕනෑ.

ගිහිගෙය අත්හැරල ශ්‍රද්ධාවෙන් ම ශාසනයට පැමිණි නවක භික්ෂුව කැප අකැප හඳුනා ගැනීමට දක්ෂ වෙන්නට ඕනෑ. තණ්හාව පෙරට නොගෙන වාසය කරන්නට ඕනෑ.