Print this Article


ස්වර්ණමාලි සෑ රදුන් උදෙසා රිදී ලබා දුන් සතුටට ඉදිකළ රිදී විහාරය

ස්වර්ණමාලි සෑ රදුන් උදෙසා රිදී ලබා දුන් සතුටට ඉදිකළ රිදී විහාරය

කුරුණෑගල නගරයට නුදුරින් නීල ආකාශය පරදවමින් නැඟී සිටිනවා සේ දිස්වෙන මනරම් කඳු මුඳුනකි. උස අඩි දෙසීයක් පමණ ය. ඒ නීල කඳු පාමුල ඉපැරැණි කටාරම් කෙටූ ගල් ලෙන් හා ගුහා, පොකුණු ආදියෙන් සුසැදි ආරාමයක නටබුන් දැකිය හැකි ය.

එහි පුරාවිද්‍යාත්මක සාධක බොහෝ ය. වසර දෙදහසකටත් වැඩි දිගු ඉතිහාසයක් ඇති, වනවාසී රහතන් වහන්සේගේ සේනාසනයක් ව පැවති මේ පුණ්‍ය භූමිය වර්තමානයේ රිදී විහාරය ලෙස ජනප්‍රසාදයට පත්ව තිබේ.

දුටුගැමුණු මහ රජතුමා විසින් ස්වර්ණමාලී මහා සෑ රදුන් ඉදිකරවනු ලැබූ අවස්ථාවේ එම සෑරදුන් ඉදිකිරීම සඳහා අමුද්‍රව්‍ය සියල්ල ශ්‍රී ලංකාද්වීපයේ විවිධ ස්ථානයන්හි පහළ වූ බව ඉතිහාසයේ සඳහන් වේ. ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් වෙන ලෙස ස්වර්ණමාලි සෑ රදුන් නිම වීමේ දී භාවිත කළ රිදී ලබා ගෙන ඇත්තේ මෙම ප්‍රදේශයෙනි.

දුටුගැමුණු රාජ සමයේ අනුරාධපුරයේ සිට මලය රටට යන මාර්ගයක් තිබී ඇත්තේ වර්තමාන රිදී විහාරය අසලින් බව කියැවේ. කරත්තවල බඩු පටවා ගෙන ඒ මාර්ගයේ ගමන් කළ වෙළෙඳ කණ්ඩායමක් අනුරාධපුරයේ සිට මලය රට බලා පිටත්වන්නට විය. එසේ ගමන් කරන අතර විවේකය සඳහා මෙම ස්ථානයේ නතර ව ඇත. එම අවස්ථාවේ දී ගොනුන් කිහිප දෙනෙක් කැලෑවට වැදී ඇත. ආපසු පිටත්වීමට ගොනුන් සොයා වෙළෙඳුන් කිහිප දෙනෙක් කැළයට ගියහ. එසේ යන විට පැණිවරකා ගහක ඉදුණු වරකා ගෙඩියක් දකින්නට ලැබුණි. එම වරකා ගෙඩිය කඩා ගත් වෙළෙඳුන් එහි පළමු කොටස හාමුදුරු නමකට පූජා කළ යුතු යැයි සිතන අවස්ථාවේ ම රහතන් වහන්සේ හතර නමක් වැඩි බව කියැ වේ. ඒ අතර වැඩ සිටි ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ අසල ගල් ලෙනකට වැඩම කොට වරකා වැළඳූ බව ද සඳහන් ය. ආපසු යන්නට අවසර ඉල්ලා සූදානම් වන වෙළෙඳ කණ්ඩායමට උන්වහන්සේ රිදී විහාරය අසලින් ම වැටී ඇති මඟ පෙන්වා ඇත. ඒ මඟ ගමන් කරන වෙළෙඳ කණ්ඩායම ගල් ලෙනක් තුළ රිදී ඉල්ලමක් දැක ඇත. ඒ බව ඔවුහු දුටුගැමුණු මහා රජතුමාට දැන්වූහ. රජතුමා සතුටු ව අමාත්‍යවරුන් ලවා රිදී රැගෙන ගොස් ස්වර්ණමාලී සෑයට අවශ්‍ය රිදී වැඩ සියල්ල ඉටු කළ බව කියැවේ.

රිදී ලැබූණ සතුටට මෙම ස්ථානයේ රිදී විහාරය කළේ යැයි ද සඳහන් ය. එ මෙන්ම විශ්ව කර්ම ප්‍රතිරාජයා ඇතුළු ගල් වඩුවෝ තුන් සියයක් පමණ මෙම විහාර කර්මාන්තය කිරීමට පැමිණි බව ද කියැවේ. ඒ වගේ ම දුටුගැමුණු රජතුමා මේ විහාරය පන්දහසක් අවුරුදු බුද්ධ ශාසනය පවතිනතුරු කල් පවතින්නට ආරක්ෂා කර ගන්නට යැයි මහා භූමි පූජාවක් ද සිදු කළ බව සඳහන් ය.

රිදී විහාරය පිහිටා තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ග්‍රාමයේ ය. රිදී විහාරයට යෑමට මාර්ග දෙකකි. එකක් පුරාණ පඩිපෙළයි. අනෙක අලුතින් සකස් කළ මහා මාර්ගය යි. වර්තමානයේ මෙහි දකින්නට ලැබෙන විහාරය මහනුවර යුගයේ රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් කරවන ලද්දක් බව ද කියැවේ. මහාවංශයට අනුව අතීතයේ දී මෙම ස්ථානය ‘රජත ලෙන’ ලෙස හඳුන්වා ඇති බව කියැවේ.

අතීතයේ භික්ෂූන් වහන්සේ රිදී විහාරය ගල් ලෙන් තමන් වහන්සේගේ වාසයට සුදුසු ආකාරයට සකස් කරවා ගෙන එහි වැඩ සිටිමින් බණ භාවනා කළ බව ද සඳහන් ය. එසේ වැඩ සිටි එක් මහ තෙර නමකි. ධම්මරක්ඛිත හිමිපාණන් වහන්සේ, උන්වහන්සේ වැඩ සිටි ලෙන වර්තමානයේ ද හඳුනා ගන්නට හැකි ය.

ඒ ලෙනේ කටාරමට යටින් කොටා ඇති බ්‍රාහ්මීය අක්ෂර උදව්වෙනි. රිදී විහාරය අනුරාධපුර යුගයේ සිට ම ඉතිහාසගත ව ඇති බවත්, මෙය පිළිබඳ ව මුලින් ම අසන්නට ලැබෙන්නේ මිහිඳු හිමියන් ලක්දිවට වැඩමවීමෙන් ටික කාලයකට පසුව බවත් පැවසේ.

ඒ මහරහතන් වහන්සේ පන්සියයක් පමණ මෙහි වැඩ හිඳිමින් බණ භාවනා කළ බව ය. ඒ බව එම ලෙන් රාශියක කොටා ඇති බ්‍රාහ්මීය අක්ෂරවලින් පැහැදිලි වේ.

රිදී විහාර භූමිය තුළ ප්‍රධාන වශයෙන් විහාර ත්‍රිත්වයක් දක්නට ලැබෙන බව කියැවේ. ඒ මහා විහාරය, උඩ විහාරය සහ වරකා වැළඳූ විහාරය යි. එම විහාර තුනම ගල් ලෙන්වලින් සමන්විත ය.

මෙහි පිහිටි ප්‍රධානම විහාරය මහා විහාරය යි. විශාල උස ගල් ලෙනක් යට පිහිටා තිබෙන විහාරයට ඇතුළුවන ප්‍රධාන දොරටුවට ඉහළින් තිබෙන ගලේ අලංකාර සිතුවම් කිහිපයක් දක්නට ඇත. එහි සිතුවම් අතරින් බුදුරජාණන් වහන්සේ වැඩ හිඳින සිතුවම හා මහා විහාරය තුළ පිළිම රාශියක් ද දක්නට ඇත. එයින් රනින් කළ පිළිම වහන්සේ නමක් ද වැඩ සිටී. එම පිළිම වහන්සේ රිදී විහාරයට අහසින් වැඩි බව ජනප්‍රවාදයේ සඳහන් ය. ඊට අමතර ව විහාරය තුළ සැතපෙන බුදු පිළිම වහන්සේ නමක් ද, හිටි පිළිම වහන්සේ පස් නමක් ද දැක ගත හැකි ය.

මහා විහාරයට ඉහළින් තිබෙන්නේ උඩ විහාරයයි. එහි ප්‍රධාන පිළිමය බුදුරජාණන් වහන්සේගේ හිටි පිළිමයයි. ඒ වගේ ම සෑම බිත්තියක් ම සිතුවමින් අලංකාර වී ඇත. උඩරට බිතු සිතුවම් සම්ප්‍රදායේ මූලික ලක්ෂණ හඳුනාගැනීමට මෙම සිතුවම් උපකාරී වේ. ඒ වගේ ම ඇත් දල උළුවස්ස විශේෂිත ය. එය දේශීය කැටයමින් අලංකාර ය.

රිදී විහාර භූමියෙහි පිහිටා ඇති ගොඩනැඟිලි අතරින් තරමක් වෙනස් ගොඩනැඟිල්ල වන්නේ වරකා වැළඳූ විහාරය යි. එහි ලක්ෂණ හින්දු දේවාලයක ලක්ෂණවලට සමාන ය. චන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේ වරකා වැළඳූ ස්ථානය බවට විශ්වාසයක් ද පවතී.