අඹගස්පිටියේ ආනන්ද හිමිපාණන් වහන්සේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම්
ලබති
මහාචාර්ය
මුවඇටගම ඤාණානන්ද හිමි
උතුරුමැද පළාතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ එගොඩපත්තුවේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාසයට අයත් දිවුල්දමන, අරුණපුර ශ්‍රී මහින්දාරාම විහාරස්ථානය විහාරාරාංග
රාශියකින් පරිපූර්ණ සිද්ධස්ථානයකි.
වර්ෂ 1976 දී ආරම්භ කළ එම විහාරස්ථානයේ නිර්මාතෘන් වහන්සේ මෙන් ම වර්තමාන තත්ත්වයට
එය සංවර්ධනය කිරීමෙහි ලා නායකත්වය ලබාදී කටයුතු කළාහු ආරම්භක විහාරාධිපති
අඹගස්පිටියේ ආනන්දාභිධාන මහා ස්වාමිපාදයෝ වෙති. උන්වහන්සේගේ එම ජාතික හා ආගමික
සේවාවට උපහාර වශයෙන් මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර
පාර්ශ්වයේ අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ විංශද්වර්ගික කාරක මහා
සංඝ සභාව විසින් “උතුරුමැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක” පදවියට උන්වහන්සේ පත්
කරනු ලැබූහ.
ඒ පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානය සහ පිළිගැනීමේ උත්සවය 2025 ජනවාරි මස 19 සහ 21 යන
දිනයන්හි පිළිවෙළින් මහනුවර අස්ගිරි මහාවිහාරයීය උපෝසථාගාරයේ දී හා පොලොන්නරුව
දිවුල්දමන, අරුණපුර ශ්‍රී මහින්දාරාමයේ දී පැවැත්විණි. අතිගරු මහානායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්
පැවැත්වූූ එම උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකතුමන් සහ ශ්‍රී දළදා
මාළිගාවේ දියවඩන නිලමේතුමන් සහභාගි විය. මෙම සුවිශේෂ අවස්ථා නිමිති කර ගෙන
අඹගස්පිටියේ ආනන්දාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජාතිකාගමික අභිවෘද්ධිය උදෙසා
ඉටු වූ සේවය අළලා මේ ලිපිය පළ කෙරේ.
ගී‍්‍රෂ්ම ඍතුව පොලොන්නරුවේ ඈත පිටිසර ගම්මාන ගුරු වර්ණයට හරවයි. වසන්ත ඍතුව
අවසානයේ හමන දැඩි වියළි සුළඟට හසුව වියළුණු ගස්වැල් පවා ගිම්හාන ඍතුවේ දී සිය
ජීවිතය රැක ගන්නට මහත් වෙහෙසක් දරන බව සත්‍යයකි. ගී‍්‍රෂ්මයේ පීඩාවෙන් වාර්ෂික ව
මිය යන ඊළඟ පරම්පරාවේ තුරුලතා සමූහය ඉතා ම අපහසුවෙන් දිවි රැක ගන්නා ගස්වැල්
ප්‍රමාණයට වඩා වැඩි ය. මේ ප්‍රදේශය ශීත ඍතුවක අත්දැකීම ඉතා දුර්ලභ ව ලබන නමුත්
වර්ෂා ඍතුවෙන් පවා පීඩාවට පත්වන ගම්මාන සැලකිය යුතු ප්‍රමාණයක් තවමත් පවතින බව
සත්‍යයකි.
මහවැලි ජලය ලැබීමෙන් එගොඩ පත්තුවේ, බී කලාපයේ ඇතැම් ගම්මානවලට සිසිලසක්, සහනයක්
ලැබුණ ද ජල හිඟයෙන් තවමත් පීඩා විඳින ගම්මාන රාශියකි.
අපේ ආනන්ද නායක හාමුදුරුවන් වහන්සේ පිළිබඳ කතාව ආරම්භ වන්නේ මාදුරුඔය මහවැලි
ව්‍යාපාරය ආරම්භ වීමටත් වසර කීපයකට පෙර සිට ය. එනම් 1976 වර්ෂය වන විට දිඹුලාගල
කොට්ඨාසයේ බොහෝ ගම්මානවල භික්ෂූන් වහන්සේ වැඩ නො සිටි අතර, පාංශුකූලයට පවා භික්ෂූන්
වහන්සේ නමක් වැඩම කරවා ගන්නට නොහැකි ව ගිහියන් විසින් ම පාංශුකූලය පවත්වන ලද අවස්ථා
තිබුණු බව සත්‍යයකි. මාදුරුඔය ගමට තිබූ එක ම පොදු ගොඩනැඟිල්ල වූ පාසල්
ගොඩනැඟිල්ලත්, පාසල් දරුවන්ගේ ආගමික කටයුතු සඳහා ගම්වැසියන්ගේ ආධාරයෙන් ඉදිකරන ලද
කුඩා බුදුමැදුරත් නිසා වෙසක් පොහොයට ගම්වැසියන් සීල සමාදානයේ යෙදුණේ මාදුරුඔය
කනිෂ්ඨ විද්‍යාලයේ ය. සීල සමාදානය කරවීමට හෝ අනෙකුත් ආගමික කටයුතු මෙහෙයවීමට හෝ
භික්ෂූන් වහන්සේ නමක් නොමැති වීම නිසා එදා ඒ සියලු කටයුතු ද සිදුකරන ලද්දේ ගිහියන්
විසින් ම ය.
ගෞරවාර්හ ආනන්ද ස්වාමීන් වහන්සේ දිවුල්දමන - අරුණපුර ප්‍රදේශයට එවකට මාදුරුඔය,
ට්‍රැක් 14 පොල් කොළනියට වැඩම කිරීම ඒ ප්‍රදේශයේ වර්තමාන දියුණුවේ ආරම්භය විය. එදා
උන්වහන්සේ ප්‍රදේශයේ ප්‍රභූන්ගේ සහ දානපතියන්ගේ පරිත්‍යාගවලිනුත්, ගම්වැසියන්ගේ
ශ්‍රමයෙනුත් ඇප කැප වී ‘ශ්‍රී මහින්දාරාමය’ නමින් විහාරස්ථානයක් පිහිටුවා
ප්‍රදේශවාසීන්ට සලසන ලද ඉමහත් සේවය උන්වහන්සේට කරන ගෞරවයකි. නොයෙක් වර රෝගාදියෙන්
පීඩාවට පත් වුව ද උන්වහන්සේ සිය නිජබිම හා සිය මූල විහාරස්ථානය පිහිටි නුවරඑළිය
දිස්ත්‍රික්කයට හෝ මහනුවර දිස්ත්‍රික්කයට ආපසු නොවැඩියහ.
ශාසන මාමකත්වයෙන් ඔදවැඩුණු සිතින් හා උට්ඨානවීර්යයෙන් යුක්තව තුරුණූු වියේ සිට
උන්වහන්සේ පීඩාවට පත් වූ අසරණ ජනතාවට සහනයක් වෙමින් ඒ පිරූ පාරමිතාව අතිශයින් ම
පූර්වාදර්ශයකි. අද එය මල්ඵල ගැන්වී ඇති බව දැකීම උන්වහන්සේට ද මහත් සොම්නසකි.
1978 නොවැම්බර් 23 වැනි දා නැඟෙනහිර පළාතට හා විශේෂයෙන් උතුරුමැද පළාතේ බොහෝ
ස්ථානවලට මහත් ව්‍යසනයක් සිදු කරමින් හමා ගිය ප්‍රචණ්ඩ සුළිසුළඟින් එවකට පැවති
කටුමැටි ගැසූ පන්සල බිමට සමතලා කර හැඳ පෙරව සිටි අඳනය සහ සිවුර පමණක් ඉතිරි ව
සිටියි. උන්වහන්සේ සිනාමුසු මුහුණින් ගමේ තරුණ පිරිස හා එක්ව එදා ම රාත්‍රියේ
සංඝාවාසයේ කටයුතු ආරම්භ කළ අයුරු අද ද වයෝවෘද්ධ වියට පත් වැඩිහිටියන් කියති.
සුළිසුළඟින් සිදුවූ විපතින් පීඩාවට පත් වූවන්ට පිහිටක් වන්නටත්, ඇදවැටුණූ තුරුලිය
වෙනුවට අභිනවයෙන් රුක් රෝපණය කරන්නටත් උන්වහන්සේ යුහුසුළු වූහ. නායකත්වය සැපයූහ. එම
සිදුවීම තහවුරු කරනුයේ උන්වහන්සේ උතුම් ගුණයන්ගෙන් ද යුක්ත වන බව යි.
ආරම්භයේ දී එපමණ ජනතාවක් නොවු ව ද කෙටි කලක දී ජනගහනයෙන් වර්ධනය වූ මහවැලි බී කලාපය
යටතේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනයා පදිංචි කරවීම නිසා ඇති වූ සමාජ හා සංස්කෘතික
ගැටලු නිරාකරණය කිරීමටත්, ඔවුන්ගේ සාමාජීය හා ආගමික අවශ්‍යතා නොපිරිහෙළා ඉටු කර
දීමටත් අපේ හාමුදුරුවෝ දිවා රාත්‍රී වෙහෙස ව ක්‍රියා කළහ. ඉවසීමෙන් හා ඉතා දුරදක්නා
නුවණින් කටයුතු කරමින් සමගියෙන් සහ අන්‍යොන්‍ය උපකාරීත්වයෙන් කටයුතු කිරීමේ
වැදගත්කම ඔවුන්ට පෙන්වා දුන්හ.
ගමනාගමන අපහසුකම් විඳදරාගත් උන්වහන්සේ එදා තරුණයකු විසින් පදින ලද පාපැදියක
දකුණතෙහි රුවාගත් වටාපතත් වමතින් පාපැදියේ හැඬලයත් අල්ලාගෙන පාංශුකූලයට, බණට,
දානයට, පිරිතට, පමණක් නොව තමන් වහන්සේගේ අනුශාසනා හා උපදෙස් අවශ්‍ය වූ සැම තැනට ම
වැඩම කළහ.
නිහතමානී බවින් යුක්ත ව කටයුතු කරන අපේ ආනන්ද නායක හාමුදුරුවෝ වයස, තරාතිරම, හැකි
නොහැකිකම් නො සලකා සියලු දෙනාට ම ගරු කරන බව අපි අත්දැක ඇත්තෙමු. පි‍්‍රයශීලි
වචනයත්, සංග්‍රහශීලි ආකල්පයත්, පරිත්‍යාගශීලි ක්‍රියාකලාපයත් උන්වහන්සේගේ නමට ම
උචිත ආනන්දය හෙවත් සන්තුෂ්ටිය සතු සහජ ගුණාංග ලෙසට ම පත්ව ඇති බවට ප්‍රකට
උදාහරණයකි.
ත්‍රස්තවාදී උවදුරු පැවති වකවානුවේ දී තමන් වහන්සේ වැඩ සිටින ගම්මානයත්, ප්‍රදේශයේ
ජනතාවත් ආරක්ෂා කර ගැනීම සඳහා ආනන්ද නායක හාමුදුරුවෝ බොහෝ වෙහෙස මහන්සි වූහ.
උපක්‍රමශීලි වූහ. ගමේ සහ ජනතාවගේ ආරක්ෂාව සඳහා තාවකාලික හමුදා කඳවුරක් පිහිටුවා
ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා දීමටත් උන්වහන්සේ පුරෝගාමී ව ක්‍රියා කළහ. ඇතැම් දිනවල
නිදිවර්ජිත ව රැය පහන් කළ උන්වහන්සේ බංකරයෙන් බංකරයට යමින් රැකවලෙහි යෙදී සිටියි.
තරුණ පිරිස උද්‍යෝගිමත් කළහ. ආහාරපාන සපයමින් ඔවුන් දිරිමත් කළහ. ඇතැම් විටෙක,
ත්‍රස්තවාදි තර්ජන උත්සන්න වූ විට ජනතාව විහාරස්ථානයට කැඳවා තාවකාලික ව ඔවුන්ට
වාසස්ථාන ලබා දී දෛනික ව ආහාරපාන සපයා දීමට පවා කටයුතු කළහ.
සිය උපසම්පදාවෙන් යම්තමින් වසරක් පිරෙද්දී දුෂ්කර පළාතකට පැමිණ විහාරස්ථානයක් ආරම්භ
කර ගුරු ආශ්‍රයෙන් ඈත් වුවත් ශාසනික ප්‍රතිපදාව නො පිරිහෙළා සම්පූර්ණ කරමින් සිය
ශ්‍රමණ ජීවිතයේ ගෞරවය ආරක්ෂා කර ගැනීමටත්, ගිහි සමාජය සමඟ උරෙනුර ගැටෙමින් කටයුතු
කළත් කිසිදු චෝදනාවකට ලක් නොවීමටත් වගබලාගත් උන්වහන්සේ සැබැවින් ම ආදර්ශවත් සංඝ
පීතෘවරයන් වහන්සේ නමකි. අපේ ආනන්ද නායක හාමුදුරුවෝ මේ වන විට උගත්, කාර්යශූර ශිෂ්‍ය
පුත්‍රයන් වහන්සේ කිහිප නමක් ඇති දැඩි කොට ශාසනයට දායාද කිරීමට සමත් ව සිටිති. ඒ
අතර ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය
මාදුරුඔයේ ධම්මිස්සර ස්වාමින්ද්‍රයන් වහන්සේ ද වෙති.
අපේ ආනන්ද නායක හාමුදුරුවන් වහන්සේට රතනත්‍රයේ ආශීර්වාදයෙන් තව තවත් ලෝක ශාසනික වැඩ
වඩන්නට නිදුක් නීරෝගී කායික හා මානසික සුවය ලැබේවා'යි ප්‍රාර්ථනා කරමු. |