Print this Article


විඩාබර සසර ගමනේ දුක් ගිනි නිවන සීලය

විඩාබර සසර ගමනේ දුක් ගිනි නිවන සීලය

මේ ජීවිතය සසර ගමනේ එක් නැවතුම්පළක්, එතැනිනුත් සුළු කලකින් සමුගන්නට සිදුවනවා.

එක්තරා නුවණැති දෙවියෙක් දිනක් භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසුවා.

කිංසු යාව ජරා සාධු - කිංසු සාධු පතිට්ඨිතං
කිංසු නරානං රතනං - කිංසු චෝරේහි දාහරන්ති

මේ දෙවියාගේ පළමු ප්‍රශ්නය යි. “භාග්‍යවතුන් වහන්ස, ජරාජීර්ණ වන තෙක් ම අප විසින් පුරුදු කළ යුතු වන්නේ කුමක් ද?

“පින්වත් දෙවිඳ, වයසට යන තෙක් ම පුරුදු කළ යුත්තේ සීලය යි.

භාග්‍යවතුන් වහන්සේ එසේ වදාළේ ඇයි? දෙවියන් අතර සිටියත්, මිනිසුන් අතර සිටියත්, සිල්වත් ජීවිතයක් ගත කරන පුද්ගලයාට සැපය උදාවෙනවා. එහෙත් බොහෝ දෙව් මිනිසුන් තාවකාලික ව කාම සැප සම්පත් හමුවේ සිල්වත් ජීවිතය අත්හරිනවා.

අල්ප ආයුෂ ඇති මිනිස් ලොව උපන් අප ඇතැම්විට වයසට යන තෙක් ම රැකියාව සඳහා වෙහෙසෙනවා. ඇතැම් අය වයසට යන තෙක් ම බාහිර දේ ඉගෙන ගන්නට මහන්සි වෙනවා. දූ දරුවන් වෙනුවෙන් ඇතැම් අය වෙහෙසෙනවා. සිල්වත් ජීවිතයක් වෙනුවෙන් වෙහෙසෙන්නේ මේ ලෝකයේ කොපමණ සුළු පිරිසක් ද?

එදිනෙදා ජීවිතය තුළ පන්සිල් පවා රකින්නට උනන්දු වෙන්නේ ඉතා ම අල්ප පිරිසක්. පොහොය දින බඹසර සීලය සහිත ව උපෝසථය සමාදන්වීමට තරුණ වියේ දී ම පුරුදු වුණොත් ජීවිතයේ සැදෑ සමය වනවිට තමන්ට විශාල පිනක් රැස් වෙනවා. සීලය කියන්නේ ශක්තිමත් පාලමක් වගේ. සිල්වත් කෙනාට ඒ පාලමෙන් සුව සේ ම සුගති ලෝකය වෙත පිය නඟන්නට පුළුවන්. දස දිශාවටම හමා යන ශ්‍රේෂ්ඨ සුවඳ සිල් සුවඳ යි. සිල්වත් කෙනාගේ ගුණ සුවඳ දෙව්ලොව පවා පැතිරෙනවා. සීලය දුර ගමනක් යන කෙනකුට සාගිනි නිවා ගැනීමට ලැබුණු රසවත් බත් මුලක් වගේ.

මේ විඩාබර සසර ගමනේ දුක්ගිනි නිවා සැපය ළඟා කර දෙන්න සීලයට පුළුවන්. සීලය කියන්නේ දස දිශාවේ ගමන් කළ හැකි සුවපහසු වාහනයක්. සිල්වත් පුද්ගලයා සුගතිය කරා සුව සේ ගෙන යන්නේ ඒ වාහනය යි.

සීලය කියන්නේ අද්භූත ඇඳුමක්. ඒ ඇඳුම ඇඟලා ගත් කෙනාට ඕනෑම පිරිසක් මැදට නො බිය ව නො පැකිළව යන්නට පුළුවන්කම තියෙනවා. සීලය කියන්නේ මෙලොව, පරලොව රැකවරණය සලසන උත්තම ආයුධයක්. මේ ලෝකයේ වෙන කිසිම ආයුධයකින් එබඳු ආරක්ෂාවක් ලබන්න බැහැ. සිත කියන්නේ මහා මුහුද නම්, සීලය කියන්නේ වෙරළයි. සිත නමැති මහ මුහුදේ පැන නඟින කෙලෙස් රළ ගෙඩි, සීලය නමැති වෙරළ තිබෙන තාක් කිසිවකුටත් හානියක් වෙන්නේ නැහැ. ඇත්තටම සීලය අම්මා කෙනෙක් වගේ. සියලු ගුණධර්ම වැඩෙන්නේ සීලයෙන් පෝෂණය ලබලා.

එනිසා භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය පිළිපදිමින් අපි ද වියපත් වනතුරු ම දිවි තිබෙන තුරුම සීලය පුරුදු කරමු.

සසරේ කරන ලද පිනක විපාකයක් වශයෙන් මෙසේ මිනිසුන් අතරෙහි ඉපදීමට තරම් අප වාසනාවන්ත වුණා. එහෙත් ඉපදීමත් සමඟ ම වයසට යෑමත්, මරණයට පත්වීමත් සියලු සතුන්ට උරුම යි. ඒ නිසා එය මඟහැර යා නොහැකි ධර්මතාවක්. මෙසේ මියයන සත්ත්වයන් අතරින් ඉතාම ස්වල්ප දෙනකුට පමණයි නැවතත් සුගති ලොවට දොරටු විවර වෙන්නේ.

එනිසා ඉතා දුර්ලභ ව ලැබුණු මිනිසත් බවත්, ඊටත් වඩා දුර්ලභ ව ලැබුණු බුදු සසුනත් මුණගැසුණු මොහොතේ එයින් නිසිපල නෙළා ගන්නට අපි වාසනාවන්ත වෙමු.