Print this Article


සංවරකම රැක ගන්න සිල් පද සුරකින්න

සංවරකම රැක ගන්න සිල් පද සුරකින්න

සමාජයේ යහපැවැත්මට ධර්මය අත්‍යවශ්‍යය. සමාජගත මිනිසාගේ සංවරය ඇති කරනුයේ ධර්මය විසිනි. ශීලය සමාජයේ සදාචාරයයි. එය සමාජයේ විනයයි.

ඕනෑම සමාජයක යහපැවැත්ම සඳහා මහෝපකාරී වන ප්‍රතිපත්තියක් ලෙස පංචශීලය හඳුන්වාදිය හැකියි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පංචශීල ප්‍රතිපත්තියේ පළමු ශික්ෂාපදය වන්නේ.

“පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි” යන්නයි. පර පණ නැසීමෙන් වැළෙකමි'යි යන්නයි.මනුෂ්‍යයාට පමණක් නොව මෙලොව ජීවත්වන සියලුම සත්ත්වයන්ට ජීවත්වීමේ අයිතිය තිබෙනවා. යමෙක් තමා ඝාතනය කරනවාට අකැමැති ද එසේම අන් සත්ත්වයෝ ද ඝාතනයට අකැමැති බව තමන් සිතිය යුතුයි.

පාණාතිපාතා පහාය
පාණාතිපාතා පටිවිරතො හොති
නහිතදණ්ඩො නහිත සත්ථො
ලජ්ජා දයාපන්නෝ
සබ්බපාණභූත හිතානුකම්පි විහරති

මෙලොව යමෙක් ප්‍රාණඝාතය දුරුකරයි ද බහාලූ දඬු ඇති ව" බහාලූ ආයුධ ඇති ව, ලජ්ජා ඇති ව, දයාපන්න ව සියලු සත්ත්වයන්ට හිතානුකම්පති ව වාසය කරන ලෙස සඳහන් වෙනවා. මගේ ජීවිතය මට පි‍්‍රයයි. මගේ ජීවිතයට මම ආසා කරනවා. මම ජීවත්වෙන්න කැමැතියි. ඒ අයුරින් අනෙකුත් සත්ත්වයෝ ද ඔවුන්ගේ ජීවිතයට පි‍්‍රයයි. ජීවිතයට ආසා කරනවා. ජීවත්වෙන්න කැමැතියි යනාදී වශයෙන් සිතා කටයුතු කිරීම පළමු සිල්පදය සමාදන්වීමෙන් අපේක්ෂා කරනවා.

සෑම මනුෂ්‍යයෙක් ම සැප විඳීමට කැමැතියි. සැපයට ලොල්වීම පෘථග්ජන පුද්ගලයාගේ ස්වභාවය යි. සැප විඳීමට නම් අපට යහපත් ආර්ථිකයක් අවශ්‍යයයි. ආර්ථිකය හීන වූ විට සැප විඳීම ද හීන වනු ඇත.

ගිහි ජීවිතයේ දී පුද්ගල ස්වභාවය අනුව විවිධ මට්ටම් තිබෙනවා. ඒවා එක් එක්කෙනාට ආවේණිකයි. සාමාන්‍ය පුද්ගලයකුට අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ නොහැකියි. තමන්ගේ ජීවිතය ගොඩනඟාගත යුත්තේ ඔහුගේ පවතින ආර්ථික ශක්තියට අනුවයි. එසේ නොවුණහොත් අවසානයේ දී ණය තුරුස් වෙනවා. එහිදී දෙවන සිල්පදය වන “අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යන සිල්පදය හෙවත් නොදුන් දේ ගැනීමෙන් වැළකීම නම් වූ ස්වභාවය ආරක්ෂා කර ගැනීමට අපහසු තත්ත්වයක් ඇතිවිය හැකියි. සමාජය සොර සතුරු බියෙන් පීඩා විඳින තත්ත්වයකට පත්ව සමස්ත සමාජ දේහය ම කඩා වැටෙන තැනකට පත්විය හැකියි.

අපි අපේ පංචේන්ද්‍රියන් පිනවිය යුත්තේ අවම ප්‍රමාණයෙන්. නමුත් සිදුවන්නේ අප පංචේන්ද්‍රියන් අසීමිත ව පිනවීමට උත්සාහ කිරීමයි. එය අපට ඔරොත්තු නොදෙන තත්ත්වයක්. මිනිස්සු තණ්හාවට දාසයෙක් වෙලා. මිනිසකුට ජීවත්වීමට මුදල් අවශ්‍ය යි. මුදල් අවශ්‍ය වුණාට ධනය, මිනිසාගේ ස්වාමියෙක් නොවෙයි. ධනය මිනිසාගේ සේවකයෙක්. පුද්ගල ජීවිතයට මුදල් අවශ්‍ය වුණත් අසීමිත ව ඊට ලොල් වී ක්‍රියාකිරීම පිළිගන්න බැහැ. එය සීමාවක් නැහැ. එවිට නොදුන් දේ ගැනීම හෙවත් සොරකම් කිරීම යන තත්ත්වයට පත්වීම තුළ දෙවන සිල්පදය රැක ගැනීමට නොහැකි ව අවසානයේ දී නීතියේ රැහැනට පවා හසුවිය හැකියි.

ලෝක සම්මත චාරිත්‍රයට අනුකූල ව ආවාහ විවාහ වී අඹුසැමියන් වශයෙන් හැසිරීම “කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යන සිල් පදයේ අදහසයි.

සංස්කෘත සාහිත්‍යයේ විශිෂ්ට කවියකු වන අශ්වඝෝෂ හිමියන් ස්වකීය සෞන්දරනන්ද මහා කාව්‍යයේ එකළොස් වැනි පරිච්ඡේදයේ දී කාම ගින්න ගැන මෙලෙස සඳහන් කර ඇත.

“තෘප්තිර්නාස්තින්ධ නෛරග්නෙර්
නාමිභසා ලවණ මිභසඞ
නාපි කාමෙඞ සතෘෂ්ණස්වි
තස්මාත් කාමාන තෘප්තියේ”

ගින්නට දරවලින් තෘප්තියක් නැහැ. සයුරට ජලයෙන් තෘප්තියක් නැහැ. තෘෂ්ණාධිකයාට කාමයෙන් තෘප්තියක් නැහැ. එනිසා කාමය, තෘප්තිය පිණිස පවතින්නේ නෑ.

කාම මිථ්‍යාචාරය අකුසලය සුළුකොට නොසලකන ලෙස ලෝවැඩ සඟරාවේ සඳහන්ව ඇත්තේ මෙසේය.

අසුකොට ගත නොතබති ආදර ය
වද කොට මැරුවත් නැත එවි චාර ය
ලඝු කොට නොසිතමි පව් පර දාර ය
නිරයට ඇදගෙන යන එම පාර ය

“මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි” ඇත්ත වශයෙන් ම විපතේ උල්පත බොරුකීමයි. එනිසා කුඩා කල සිටම බොරුවෙන් ඈත්ව ජීවත්වීමට හුරුවීමෙන් සමාජ හිතකාමී පුද්ගලයකු විය හැකියි. සමස්ත සමාජයම සුවපත් වේ.

“සුරාමේරය මජ්ඣපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.”

බීමත්කමින් මදයට සහ ප්‍රමාදයට පත්වූ පුද්ගලයා ලැජ්ජා භය නැතිව ප්‍රකෘති තත්ත්වය විකෘති වූ පසු නොකළ හැකි පවක් නැහැ.