Print this Article


සැලසුමක් ඇතිව මහෙට දවස අරඹමු

සැලසුමක් ඇතිව ම හෙට දවස අරඹමු

අද දවසේ අප ජිවත්වන මේ සමාජය තුළ කාලය ගෙවී යන ආකාරය බැලුවොත් දවසේ පැය විසිහතරෙන් තමන්ට හෝ අනුන්ට හෝ කෙතරම් ඵලදායි වන ආකාරයෙන් ගත වෙනවා ද කියන මේ කරුණ පිළිබඳ අප විසින් විශේෂයෙන් අවධානයට ගත යුතු වෙනවා.

අද සමාජයේ ජිවත් වන වයස අවුරුදු 25ට වැඩි වයසේ සියලු ම දෙනා සියවස් දෙකක් සඳහා තම කාලය වෙන් වී ඇති බව සිත තබා ගතයුතු යි. එනම් 20 වැනි සියවසටත්, 21 වැනි සියවසටත් අප ජිවත්වන කාලය අයත් වෙනවා.

ගත වන හැම ක්ෂණයක් ම ආපසු ගැනීමට පුළුවන්කමක් නැහැ. ඒ නිසා වසරක් ගෙවිලා නව වසරක් ආරම්භ වෙනවා කියා කියනකොට ම, හිතෙනකොට ම නව වර්ෂය සැලසුම් නොකළ හොත් ගෙවී යන වර්ෂයේ අඩුපාඩු එලෙස ම පවතිනු ඇති.

ඒ නිසා ගතවූ කාලය පිළිබඳ ආපසු හැරී බැලීමක් අප විසින් කළ යුතු යි. වසරක ප්‍රබල දුබලකම් මෙනෙහි කිරිම දුෂ්කර කාර්යයක්. මේ නිසා බුදුරජාණන් වහන්සේ ආදර්ශය මගින් දවසක් ගත වී තවත් දවසකට එළඹෙන අවස්ථාවේ ම අප විසින් කාල කළමනාකරණය අවශ්‍යයෙන් ම කළ යුතු බව පෙන්වා දී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ, පෙරයම් කිස, පසුයම් කිස, මැදියම් කිස, පැසුළුයම් කිස හා අලුයම් කිස වශයෙන් දවස කොටස් පහකට බෙදා වෙන් කර ගත්හ. මෙහිදී අලුයම් කිස වෙන් කිර තිබුණේ අරුණ නැඟීමෙන් පසු ආරම්භ වන නව දවස ගත කළ යුතු ආකාරය සැලසුම් කිරිමට යි. මධ්‍යම රාත්‍රියෙන් පසු එළඹෙන පැසුළුයම් කිසට පසුව අරුණ නැඟෙන්නට සූදානම් වන පාන්දර 3.00 පමණ සිට 6.00 පමණ දක්වා වන කාලය යැයි සිතිය හැකි ය.

බුදුරජාණන් වහන්සේ මේ කාලය වෙන් කළේ උන්වහන්සේගේ ලෝකාර්ථචර්යාව එලඹෙන දවස තුළ ගත කළ යුතු අකාරය පිළිබඳ මෙනෙහි කිරීමට යි. එළඹෙන දවස වඩාත් ඵලදායි කර ගැනීමට, තමන් වහන්සේගේ පිහිට අවශ්‍ය අය කවුරුන් දැයි විමසිලිමත් වීම විශේෂ අවස්ථාවක් කොට සැලකෙනවා. එහි දී උන්වහන්සේ එසේ අවශ්‍ය වන අය විමසා බලා හදිසි කටයුත්තක් ලෙස සලකා ඒ ඒ අය ජිවත් වන ප්‍රදේශ, ගෙවල් දොරවල් සොයා දිවා කාලය තුළ වැඩමවා, එවැනි උදවියට පිහිට විම සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් තුළ බුදුබව පිණිස පෙරුම් දම් පිරූ ව්‍යායාමයේ උත්කෘෂ්ඨ ඵලය ලෙස උන්වහන්සේ සිතා බලා එම කටයුතුවල යෙදුණා.

බුදුවරයෙක් ලොව පහළ වන්නේ ඉතා කලාතුරකින් සිදුවන අපූරු සිදුවීමක් ලෙසයි සැලකෙන්නේ. මේ නිසා ම උන්වහන්සේ තමන් වහන්සේගේ චර්යාවෙන් එය සනාථ කළා.

උන්වහන්සේගේ ම වචනයෙන් මිනිසත් බව තරම් වටිනා තවත් භවයක්, උපතක් නැහැ. ඒ නිසා අප ගෙවන සැම තත්පරයක් ම අතිශයින් මෙලොවටත්, පරලොවටත්, තමන්ටත්, අනුන්ටත් හැම විට ම වැඩදායි විය යුතු වෙනවා.

දුල්ලභං ච මනුස්සත්තං

යනුවෙන් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නේ ඒ කරුණයි. ඉතින් ඒ වටිනාකම තේරුම් ගන්නා අප හැමවිට ම සැලසුමක් අනුව අපේ කාලය කළමනාකරණය කර ගත යුතු වෙනවා. එහෙම වුණොත් පමණක් තමන්ගේ අභිවෘද්ධිය මෙලොව හා පරලොව වශයෙන් වඩාත් ඵලදායක ලෙස සැලසුම් කර ගන්න පුළුවන්. ඇත්තෙන් ම රටක් දියුවේ හිණිපෙත්තට ලෞකික වශයෙන් නැඟී පවතිනවා නම් එයින් කියැවෙන්නේ එහි ජනතාව මනා කාල කළමනාකරණයකින්, කෙටි වූ මිනිස් ආයු කාලයෙන් උපරිම වශයෙන් ප්‍රයෝජන ගත හැකි ආකාරයෙන් කාලය සැලසුම් කර ගත්තා කියන එකයි.

අද අප රටේ යම් ආර්ථික පරිහාණියක් පවතිනවා නම්, එයින් අදහස් කරන්නේ අප රටේ ජනතාව දියුණු රටවලට සමාන්තර ව කාලය ප්‍රයෝජනවත් ව ගත නොකරනවා කියන එකයි. අප රටේ කාර්යාලයකට, වැඩපොළකට ගිහින් බැලුවොත් තමන්ගේ රාජකාරි කාලය මොනතරම් නම් අපතේ යවමින් බොහෝ දෙනා ක්‍රියා කරනවා ද යන්න පැහැදිලි කර ගන්නට පුළුවනි.

මේ මිනිස් සත්තවයා තරම් මේ ලෝකධාතුවේ ශක්තිමත් සත්වයෙක් නැහැ. ලොව බුදු වන්නෙත් මනුෂ්‍ය සත්වයෙක් ම යි. අජටාකාශ තරණය කර විශ්මය ජනක නව සොයා ගැනීම් නිෂ්පාදන කරන්නෙත් මනුෂ්‍යයෙක් ම යි. මේ තත්ත්වය තේරුම් කරන බුදුරජාණන් වහන්සේ විසින් කරනු ලබන දේශනාවක් ධම්මපදය නම් මේ හස්තසාර ග්‍රන්ථයෙන් ප්‍රකාශ වෙනවා.

එහි පුප්ඵ වර්ගයට අයත් සිව්වන ගාථා පාඨයෙන් ප්‍රකාශ වන්නේ ඉතා වැදගත් අර්ථයක්. ඒ අනුව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අනුන් කියන වචන, රළුපරළු වචන හෝ බැනුම් ගෙරවුම්, ඒ උදවිය කළ නොකළ දේ, කිසිවිටෙකත් වැඩක් ඇති දේ නොවන නිසා ඒ සම්බන්ධයෙන් අප විමසිලිමත් විය යුතු වන්නේ නැහැ. වැදගත් වන්නේ අනුන් කළ නොකළ දේ හොයනවාට වඩා තමා මොනවාද කළේ, තමා මොනවාද කීවේ කියන කරුණ යි. ඇත්තෙන් ම මුලින් කී ආකාරයෙන් අප හුරු ව සිටින්නේ අනුන් සම්බන්ධ ව සොයා බලන්නට, ඒ අයගේ හරි වැරැදි සොයන්නට, ඒ අය කියන හා නො කියන දේ සොයමින් සමහරවිට වෛරී ව සිතන්නට පුරුදු ඇති කර ගෙන අවැඩදායක ලෙස කාලය කා දැමීමට යි.

බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි එක් මිත්‍යාමත වැළඳගත් පාඨික නම් හදාවඩා ගත් ආජීවක පුතණු කෙනෙක් ආජීවක නිසා මුල දී මිත්‍යාමත වැළඳගෙන ක්‍රියා කළත්, පසුව සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැසි බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදී බුදුරජාණන් වහන්සේ ඇතුළු මහ සඟනට මහා දානයක් දෙන්නට සූදානම් කළා.

ඒ දානය සිදු කෙරුණු අවස්ථාවේ එයින් මහත් සේ උරණ වූ මේ ආජීවකයා ඒ පින්කම සිදු කරන තැනට පැමිණ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට වෛරී ව දොස් පරොස්, රළු වදන් තෙපලමින් නින්දා අපහාස කළ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දන් පිළිගන්වමින් මහත් කම්පනයට පත් ව සිටි මවට පැහැදිලි ව ප්‍රකාශ කළේ

”පින්වතිය, කලබල වන්න එපා. අනුන්ගේ පරුෂ වචන ගැන මෙනෙහි කරන්න එපා. අනුන් කරන නපුරු වැඩ, අවැඩ ගැන කලබල වන්නත් එපා. මේ දක්වා තමන් කළ දේ, නො කළ දේ ගැන පමණක් මෙනෙහි කර වඩාත් වැඩදායක කුමක් දැයි පමණක් සිහියට ගෙන ඒ අනුව ජිවිතය ගොඩනඟා ගන්න ” කියන මේ කරුණයි.

නව වසරක් උදා වී තිබෙන මේ මොහොතේ ගිහිපැවිදි අප කාටත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ ඔවදන අතිශයින් වැදගත් වෙනවා, නව වසරේ කාල කළමනාකරණයට. ඒ තුළින් අපේ බෞද්ධාගමික වත් සිරිත් වැඩි දියුණු කර ගනිමින් ලෞකික මෙන් ම ආධ්‍යාත්මික විමුක්තිය අරමුණු කර ගෙන ජීවිතය ගොඩනඟා ගැනීමට අධිෂ්ඨාන කර ගැනීම අප විසින් සිතට ගත යුතු වෙනවා.