සතර සතිපට්ඨානය:
පිය උරුමයෙන් ලැබෙන සුන්දර දායාදය
ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
ඉපදෙමින් මැරෙමින් යන දීර්ඝ සංසාර ගමනේ තමන්ගේ ඉරණමේ ස්වභාවය තේරුම්ගත් තථාගත
ශ්රාවකයාට ඒ දුකින් නිදහස්වීම පිණිස අවශ්‍ය අවබෝධය ලබා ගැනීමට උපකාර වන්නේ සත්තිස්
බෝධිපාක්ෂික ධර්මයෝ යි.
බෝධි යනු අවබෝධය යි. එනම් චතුරාර්ය සත්‍යය අවබෝධය යි. සතර සතිපට්ඨාන, සතර ඍද්ධිපාද,
සතර සම්‍යක්පධාන වීර්යය, පංච ඉන්ද්රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික
මාර්ගය යන මේ ධර්මයන් අවබෝධයට උපකාර කරන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයෝ යි.
බෝධිපාක්ෂික ධර්මයන් ප්‍රගුණ නොකොට අවබෝධයක් අපේක්ෂා කිරීම කිසිදාක සපල නොවන්නකි.
භාග්‍යවතුන් වහන්සේ මනරම් උපමාවකින් අපට ඒ ගැන පෙන්වා දෙන්නේ මේ ආකාරයට යි.
කිකිළියක් බිත්තර දමනවා. මේ කිකිළි ඒ බිත්තර නො රැක, උණුසුම් නො කර, කුකුල් ගඳ නො
ගස්සවා පැටව් බලාපොරොත්තු වෙනවා. ඒක හරියට බෝධිපාක්ෂික ධර්මයන් නො වඩපු කෙනෙක්
චතුරාර්ය සත්‍යය අවබෝධයක් බලාපොරොත්තු වෙනවා හා සමානයි.
කොපමණ බලාපොරොත්තු වුණත්, කොපමණක පැතුවත් කිකිළියට බිත්තර කටුව බිඳගෙන එළියට එන
පැටවු දක්නට නො ලැබෙන්නා සේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නො වඩපු සිතකින් අවබෝධයක්
අත්දකින්න අපහසුයි.
බෝධිපාක්ෂික ධර්මයන්හි මුල් අංගය සතර සතිපට්ඨානය යි.
සතර සතිපට්ඨානයේ අංග හතර නම් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව හා
ධම්මානුපස්සනාව යි.
කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව (ආතාපී), මනා නුවණින් යුතු ව (සම්පජානෝ), සිහියෙන්
යුතු ව (සතිමා), ලෝකය කෙරෙහි ඇලීම් ගැටීම් දුරු කරමින් (විනෙය්ය ලෝකෝ අභිජ්ඣා
දෝමනස්සං ) කය ගැන යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් සිහිය පිහිටුවා ගෙන වාසය කිරීම
කායානුපස්සනාව යි.
කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව මනා නුවණින් යුතු ව, සිහියෙන් යුතු ව ලෝකය කෙරෙහි
ඇලීම් ගැටීම් දුරු කරමින්, ත්‍රිවිධ වේදනාවන් ගැන යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින්
සිහිය පිහිටුවා ගෙන වාසය කිරීම වේදනානුපස්සනාව යි.
කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව මනා නුවණින් යුතු ව, සිහියෙන් යුතු ව ලෝකය කෙරෙහි
ඇලීම් ගැටීම් දුරු කරමින් සිත ගැන යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් සිහිය පිහිටුවාගෙන
වාසය කිරීම චිත්තානුපස්සනාවයි.
කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව මනා නුවණින් යුතු ව, සිහියෙන් යුතු ව ලෝකය කෙරෙහි
ඇලීම් ගැටීම් දුරු කරමින් ධර්මයන් ගැන යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් සිහිය
පිහිටුවා ගෙන වාසය කිරීම ධම්මානුපස්සනාවයි.
නිවන් මගේ හික්මෙන ආර්ය ශ්රාවකයාට සතර සතිපට්ඨානය යනු පිය උරුමයෙන් ලැබුණු ආරක්ෂිත
ස්ථානය යි. එනම් මාරයාට කැමති සේ අරමුණුවලින් ග්‍රහණය කර ගැනීමට නොහැකි වන සේ
ආරක්ෂිත ව සැඟවී සිටිය හැකි ස්ථානය යි.
යමෙක් සතර සතිපට්ඨානයෙන් යුතු ව වාසය කරන විට ඔහු තුළ අකුසල් ඉපදවීමට ඇති අවකාශ
ඇහිරී යනවා. ඔහුට අකුසල් සිතිවිලි උපන්නත් සැණෙකින් ඒ අකුසල් හඳුනාගෙන එය බැහැර
කිරීමට ඔහු වීර්යය ගන්නා නිසා ඒ අකුසල්වලට ඇති පැවැත්ම හීන වී යනවා.
සොරෙක් තවත් සොරකුට කරන අනතුරකට වඩා අනතුරක් අකුසලයට යට වූ සිතෙන් අපට සිදු කරනවා.
අප දීර්ඝ කලක් මේ සසරේ ඇවිද ආවේ මේ සිතට හසු වූ නිසාම යි. නොයෙක් වර සතර අපායට
වැටෙමින් බොහෝ දුක් විඳින්නට සිදුවුණේ මේ සිත නිසා ම යි. සසර ගමනේ අපේ ලොකු ම හතුරා
මේ සිත යි. අපට සසරින් එතෙර වන්නට තියෙන්නේත් මේ සිත දියුණුූ කරලා ම යි. ඒ දුකින්
මිදෙන මාවත කරා සිත පුහුණුූ කරන මාර්ගය සතිපට්ඨානය යි.
භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා මේ තමයි විමුක්තිය පිණිස ඇති ඒකායන මාර්ගය
කියා.
“පින්වත් මහණෙනි, සතර සතිපට්ඨාන යනුවෙන් යම් මේ ධර්මයක් ඇද්ද මෙය වනාහි සත්ත්වයන්ගේ
පිරිසුදු බව පිණිස ද, ශෝක වැලපීම් ඉක්මවා යාම පිණිස ද, කායික, මානසික දුක් දොම්නස්
නැතිවීම පිණිස ද, ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම පිණිස ද, අමා මහ නිවන සාක්ෂාත්
කිරීම පිණිස ද පවතින්නා වූ ඒකායන විමුක්ති මාර්ගය යි.
ඒ වගේම අපගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ විසින් මේ සතර සතිපට්ඨානයන් පුරුදු
කිරීමෙන් කෙනකුට සිදුවන යහපත ගැනත් මේ ආකාරයෙන් පෙන්වා දෙන සේක.
“මහණෙනි, යම් කෙනකුට අනුකම්පා කරයි. යම් කෙනෙක් ඔබට ඇහුම්කන් දිය යුතු යැයි සිතයි ද
මිත්‍රයකු වේවා, ඥාතීහු වෙත්වා, ලේ ඥාතීහු වෙත්වා මහණෙනි, ඔබ විසින් ඔවුන් සතර
සතිපට්ඨානය වැඩීම පිණිස සමාදන් කරවිය යුතු ය. වාසය කරවිය යුත්තු ය. පිහිටුවිය යුතු
ය.”
බුදු සසුනේ පිහිට පතාගෙන එන පැවිදි නවක භික්ෂූන් වහන්සේ සතර සතිපට්ඨානය වැඩීමෙහි
සමාදන් කරවන ලෙස භාග්‍යවතුන් වහන්සේ නිතර භික්ෂූන් වහන්සේට අවවාද කළ සේක. තවද නිවන්
මඟෙහි හික්මෙන භික්ෂූන් වහන්සේත්, නිවන්මඟ හික්මී අවසන් කළ රහතන් වහන්සේත් නිතර සතර
සතිපට්ඨානයෙන් යුතු ව කාලය ගත කරන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් සේක.
මෙසේ බුදු සසුනේ පිළිසරණ පතාගෙන එන ශ්රාවකයාට පිය උරුමයෙන් ලැබෙන ආරක්ෂිත ස්ථානය
බවට සතර සතිපට්ඨානය පත් වෙනවා.
සතිපට්ඨාන සංයුත්තයේ කුසලරාසි සූත්‍රයේ සතර සතිපට්ඨානය ගැන අසිරිමත් විග්‍රහයක් අපට
මුණගැසෙනවා. එහිදී භාග්‍යවතුන් වහන්සේ අකුසල රාශිය ගැනත්, කුසල රාශිය ගැනත් පෙන්වා
දෙන සේක. අකුසල රාශිය නම් පංචනීවරණ යි. කුසල රාශිය නම් සතර සතිපට්ඨානය යි. එසේනම්
යම් කෙනෙක් කුසල් රැසක් තම ජීවිතයට එකතු කර ගනු කැමති නම්, වැඩිය යුත්තේ මේ
සතිපට්ඨානය ම යි.
භාග්‍යවතුන් වහන්සේගේ දායාදය වූ සතර සතිපට්ඨානයෙන් යුතු ව ශ්රාවකයින් වාසය කරන්නේ
නම්, ශාසනය චිරාත් කාලයක් පවතින බවත්, එසේ නො වන්නේ නම් මේ ශාසනය ඉක්මනින් අතුරුදන්
වන බවත් පෙන්වා වදාළා.
එනිසා යම් කෙනෙක් තමාගේ යහපතත්, බුදු සසුනේ චිර පැවැත්මත් පතන්නේ නම් කළ යුතු වන්නේ
මේ සතර සතිපට්ඨානය පුරුදු කිරීම යි. පිය උරුමයෙන් ලැබෙන සුන්දර දායාදය ලබමින් දහම්
මඟේ හැසිරෙන්නට ඔබ සැමය වාසනාව උදාවේවා. |