Print this Article


ලාමක පාපයක අමිහිර නොවිඳින්න

ලාමක පාපයක අමිහිර නොවිඳින්න

බොරු කියන්නාට කළ නොහැකි අපරාධයක් නැත. අපරාධයක් කොට එසේ කළේ නැතැයි ඔහුට කිව හැකි ය.

ඇති දේ නැති ලෙසත්, නැති දේ ඇති ලෙසත්, වූ දෙය නොවූ ලෙසත්, නොවූ දේ වූ ලෙසත් වචනයෙන් කීම, ශරීර අංග තුළින් හැඟවීමත් බොරුවක් වෙයි.

කියන, අඟවන දේ බොරුවක් වීම,රැවටීමේ සිතිවිල්ල, ඒ සඳහා විවිධ උපායයන් භාවිතය හා අන් අය රැවටීම සිදුව ඇත්නම් එය මුසාවාද කර්ම පථයකි. කීම පමණක් නොව ලියා තැබීම, දැන්වීම්වල, පුවත්පත්වල පළ කිරීම, බිත්තිවල ඇළවීම, රංගනය කිරීම ආදි මේ කවර ආකාරයකට කළ ද එය බොරුවක් නම් මුසාවාද කර්මයට අයත් වේ.

බොරුවෙහි අල්ප සාවද්‍ය හා මහා සාවද්‍ය යැයි කොටස් දෙකක් වෙයි. මවක් දරුවකුට බත් කවන්නට, පාඩම් කරවන්නට බිල්ලෝ එනවා යැයි බොරුවක් කියයි. එයත් බොරුවකි. එය අල්ප සාවද්‍ය වේ. විහිලු කරනවිට, ක්‍රීඩාව සඳහා බොරු කියයි. එසේ කියන දේත් අල්ප සාවද්‍යයකි. කෙනෙක් මුදලක් ඉල්ලයි. ඒ මුදල දෙන්නට අකැමැති වෙයි. තමා අත මුදල් තිබුණ ද අතේ සතයක්වත් නෑ කියයි. එය ද අල්ප සාවද්‍ය වෙයි. අල්ප සාවද්‍ය දෙයට ද විපාක ලැබෙයි. එය ප්‍රවෘත්ති විපාකයි.

මහා සාවද්‍ය යනු රවටනු පිණිස ගොතන බොරුවයි. එය මහා සාවද්‍ය වෙයි. එය කර්ම පථයක් වන බැවින් ප්‍රතිසන්ධි විපාක ලැබෙයි. අනර්ථය පිණිස කියන්නා වූ බොරුවලින් සිදුවන්නා වූ අනර්ථයේ, අලාභයේ ප්‍ර‍මාණයට ද අල්ප සාවද්‍ය මහා සාවද්‍යතාව බෙදෙයි. රවටනු ලබන පුද්ගලයාගේ ගුණ අනුව ද අල්ප සාවද්‍ය මහා සාවද්‍ය, වශයෙන් බෙදෙයි. බොරු කීමේ දී ඇතිවූ ක්ලේශයන් ප්‍ර‍මාණයෙන් ද අල්ප සාවද්‍ය, මහා සාවද්‍ය වශයෙන් බෙදෙයි.

කෙසේ කොයි අයුරින් බොරු කීව ද ඊට ප්‍රතිවිපාක මෙලොව දී ලැබෙයි. පරලොව දී ලැබෙයි. භව සංසාරයේ දී ලැබෙයි. බොරු කියන්නෝ මෙලොව ම ලබති. බොරුකාරයා, බොරුකාරී, බේගල්, ටොම් පචයා, ආදි වශයෙන් නම් පට බැඳ නින්දා ලබයි. අන් අය අවිශ්වාස කරයි. බොරු කියන්නා පහත් ගති ඇත්තෙකි. සමහර විට බොරු කීම නිසා දඬුවම් ද ලබයි. බොරු කියන්නෝ ඒ පවින් මරණින් මතු නරකයෙහි ඉපද අනේක වර්ෂ කෝටි සහස්‍රයෙහි දුක් ලබති. තිරිසන් ව ඉපද බොහෝ දුක් ලබයි.

මිනිස් ලොව උපන් කල්හි ද එක් ජාතියක දී බොරුවලට සියගණන් ජාතිවල දී නො කළ වරදට හසු වී නින්දා ලබයි. දඬුවම් ලබයි. මෝඩයෝ වෙති. දුප්පත් වෙති. ගොත වෙති. ගොළු වෙති. කටගඳ ඇත්තෝ වෙති. අශෝභන දත් ඇත්තෝ වෙති. කල් නො පවත්නා දත් ඇත්තෝ වෙති. මුඛරෝගයෙන් පෙළෙන්නෝ වෙති. විරූප වෙති. අවිශ්වාස කරනු ලබන්නෝ වෙති. අමිහිරි කටහඬ ඇත්තෝ වෙති. අඹුදරුවන් පවා ඔවුන්ගේ කීම නො පිළිගනිති. දරුවන් නැත. විටෙක උපදින දරුවන් ද ගැහැණු දරුවන් වෙයි. ඔවුහු ද අකීකරු වෙති. සියලු ම ශාස්තෘවරු වෙනසක් නැති ව බොරු කීම පාපයක් බව ප්‍ර‍කාශ කරති. ලෝකයේ නුවණැත්තෝ බොරුව පිළිකුල් කරති. බොරු කියන්නා ද පිළිකුල් කරති. අප මහ බෝසතාණන් වහන්සේ අනුන්ට අනර්ථයක් වන්නා වූ බොරුවක් උන් වහන්සේ කිසි දිනෙක නො කී බව දක්වා තිබේ. එයින් පෙනෙන්නේ බොරු කීම අන්පව්වලට වඩා ලාමක පාපයක් වශයෙන් උන් වහන්සේ සැලකූ බව ය. බොරු කීමට බිය නොවන, ලජ්ජා නොවන තැනැත්තා ගුණවතෙක් නො වේ. බොරු කියන්නා කිසිදා නිවන් නොදකියි. ඊට හේතුව නිවන යනු සත්‍ය අවබෝධය යි. සත්‍ය අවබෝධ වන්නට නම් බොරු නොකිව යුතුයි.