Print this Article


නිවන් මඟ දොරටුවයෝනිසෝමනසිකාරය

නිවන් මඟ දොරටුව යෝනිසෝමනසිකාරය

“යෝනිසෝ භික්ඛවේ මනසිකරොතෝ අනුප්පන්නාවේව ආසවා නූප්පජ්ජන්ති උප්පන්නාච ආසවා පහීයන්ති” මහණෙනි යෝනිසෝමනසිකාරයෙන් නූපන් ආස්‍රව නූපදී. උපන් ආස්‍රව ප්‍රහාණය වේ.

“සබ්බාසව“ සූත්‍රයෙහි (ම.නි.1) සඳහන් වන මෙම බුද්ධ දේශනාවෙන් යෝනිසෝමනසිකාරය යනු කුමක් ද කියා ඉතා හොඳින් පැහැදිලි වේ.

එනම් යෝනිසෝමනසිකාරයේ යෙදෙන්නහුට ආස්‍රව නූපදිය යුතු වේ. එසේ ම උපන් ආස්‍රව ප්‍රහාණය විය යුතු වේ. බොහෝවිට “යෝනිසෝමනසිකාරය” යන වචනය විස්තර කර දෙන්නේ නුවණින් විමසා බැලීම වශයෙනි. නමුත් එම විස්තර කිරීම සබ්බාසව සූත්‍රයෙහි ඉහත සඳහන් ප්‍රකාශය හා සැමවිට ම ගැළපේ ද යන්න විමසා බැලිය යුතුය. සාමාන්‍ය ව්‍යවහාරයේ දී නුවණින් විමසීම ලෙස කරනු ලබන්නේ, තම තමාගේ දැනුම අනුව තර්කානුකූල ව කරුණු එකිනෙක ගළපා බැලීමයි. මෙම ධර්ම කරුණු එකිනෙක ගළපා බැලීම ආස්‍රව ක්ෂය වීමක් ලෙස සිතන්නේ නම්, විස්තර කරන්නේ නම් එය මුළුමනින් ම ධර්ම විරෝධී වේ. ධර්ම කරුණු එකිනෙක ගළපා බැලීමෙන් දහම් කරුණුවල නිරවුල් බවක්, දෘෂ්ටිය පිරිසුදුවීමක් (දිට්ඨියා සුප්පටිවිද්ධා) සිදුවන නමුත් ආස්‍රව ක්ෂය වීමක් සිදු නොවේ.

ප්‍රධාන වශයෙන් ආස්‍රව ආකාර තුනක් බොහෝ සූත්‍ර දේශනාවල සඳහන් වේ. එනම් කාම ආස්‍රව, භව ආස්‍රව හා අවිජ්ජා ආස්‍රව වශයෙනි.

මෙයට අමතර ව ‘ජානුස්සෝණී’ සූත්‍රයෙහි (අං.නි.6) දිට්ඨාස්‍රව වශයෙන් තවත් ආකාරයක් ද සඳහන් වේ. ආස්‍රව යනු සංසාරය පුරාවට තමන් වෙතට ගලා එන කෙලෙස් ප්‍රවාහය (කෙලෙස් සැඩපහර) ලෙස සරල ව හඳුන්වාදිය හැකි ය. ඒ අනුව රූප, ශබ්ද, ගඳ සුවඳ, රස, පහස යන පංචකාමයන් පිළිබඳ ව සසර පුරාවට තම සිත තුළ ඇති දැඩි ආශාව, බැඳීම “කාම ආස්‍රව“ වේ.

කාම භව, රූප භව, අරූප භව යන භව පැවැත්මට ඇති දැඩි බැඳියාව භව ආස්‍රව වේ. “භව“ යනු චේතනාත්මක ව නැවත නැවතත් සිත පැවැත්වීමයි. එබැවින් කාම භව යනු පංචකාමයන් තුළ නැවත නැවත සිත පැවැත්වීම නිසා එය කාම ආස්‍රවවලට ම ඇතුළත් කළ හැකි ය.

පංචකාමයෙන් සිත නිදහස් කොටගෙන රූපී ධ්‍යාන සමාධියක් තුළ සිත පැවැත්වීම රූප භවය වන අතර, අරූපී ධ්‍යාන සමාධියක් තුළ සිත පැවැත්වීම අරූපී භවයයි. මෙම රූපී අරූපී භව පැවැත්ම කෙරෙහි ඇති දැඩි බැඳීයාව භව ආස්‍රව වේ. අවිද්‍යාව යනු ඇස, කන ආදි දොරටු සයෙන් ලබා ගන්නා අරමුණු අනිත්‍ය බව තේරුම් නොගැනීමයි. එම නොවැටහීම නිසා ඇති වන දැඩි බැඳීයාම් අවිජ්ජා ආස්‍රව වේ. මේ අනුව ඉතා හොඳින් පැහැදිලි වන්නේ කාම ආස්‍රව, භව ආස්‍රව හා දිට්ඨාස්‍රව යන සියලු ආස්‍රවවලට හේතු වන්නේ අවිජ්ජා ආස්‍රවය බවයි.

සබ්බාසව සූත්‍රයෙහි සඳහන් වන්නේ යෝනිසෝමනසිකාරය ඇති කෙනාට නූපන් ආස්‍රව නූපදින බව හා උපන් ආස්‍රව ප්‍රහාණය වන බවයි. සියලු ආස්‍රවයන්ට හේතුව අවිජ්ජා ආස්‍රව නම්, යෝනිසෝමනසිකාරය ඇති කෙනාට අවිද්‍යාව ප්‍රහාණය විය යුතු ය. එසේම ඒ මොහොතේ අවිද්‍යාවෙන් දුරු වූ කෙනකු විය යුතු ය. අවිද්‍යාව යනුවෙන් විස්තර වන්නේ අනිත්‍ය බව පිළිබඳ නො වැටහීම නිසා යෝනිසෝමනසිකාරය ඇති අවස්ථාව යනු අනිත්‍ය දර්ශනය ඇති අවස්ථාව බව ඉතා හොඳින් පැහැදිලි වේ.

බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම යනු ‘දුක’ පරිපූර්ණ වශයෙන් අවබෝධ කිරීමයි. එම දුක අවබෝධ කිරීම ඤාණයක් ලෙස විස්තර වන්නේ ‘ආසවක්ඛය ඤාණය’ (සියලු ආස්‍රව ක්ෂයවීම පිළිබඳ ඤාණය) ලෙසයි. “දුක” ට හේතුව අවිද්‍යාව බව සූත්‍ර දේශනාවල විවිධාකාරයෙන් විස්තර වේ. මේ නිසා අවිද්‍යාව මුල් කොට ඇති සියලු ආස්‍රව ක්ෂය වීම, දුක පරිපූර්ණ වශයෙන් අවබෝධ වීම බව ඉතා හොඳින් පැහැදිලි වේ.

මනසිකාරය හා යෝනිසෝමනසිකාරය වශයෙන් අවස්ථා දෙකක් සබ්බාසව සුත්‍රයෙහි ම සඳහන් වේ. මනසිකාරය හෙවත් මෙනෙහි කිරීම පුද්ගල මූලික ව සිදු කරනු ලබන ක්‍රියාවකි. එම මනසිකාරය එය උපත ලබන (යෝනි) මූලික ස්ථානයට යොමු වීම යෝනිසෝමනසිකාරය බව අපගේ අදහසයි. යෝනිසෝමනසිකාරය ඇති විට සක්කායදිට්ඨි, සීලබ්බතපරාමාස, විචිකිච්ඡා යන සංයෝජන ප්‍රහාණය වන බව සූත්‍ර දේශනාවෙහි සඳහන් වේ. සංයෝජන යනු සසරට බැඳ තබන සසර බැමි වේ. සසර බැමි බිඳ වැටෙන යම් අස්ථාවක් වේ නම්, එය පුද්ගලයෙක් මූලික ව සිදු කරන ක්‍රියාවක් නොවිය යුතු ය. පුද්ගල මූලික ව සිදු කරන සියලු ක්‍රියා සසරට හේතුවන බැවිනි. මේ නිසා සංයෝජන බිඳ වැටෙන, යෝනිසෝමනසිකාරය ඇති අවස්ථාව නම්, අනිත්‍ය දර්ශනයෙන් යුතු අවස්ථාව බව පැහැදිලි කර ගත හැකි ය. ලෝක ධර්මතාව ය වන අනිත්‍ය බව පිළිබඳ ප්‍රත්‍යක්ෂය ලැබිය හැක්කේ එම අවස්ථාවෙහි ය. ථෙරගාථාවල සඳහන් වන ‘රාජදත්ත’ ථෙර ගාථාවෙහි මේ පිළිබඳ විශේෂ කරුණක් සඳහන් වේ.

රාජදත්ත හිමියන් අමුසොහොනට ගිය විට පණුවන් කන ස්ත්‍රි මළ සිරුරක් දුටු විට පළමුව රාගය ඇති වූ බව පවසයි. නමුත් ඊළඟ මොහොතේ සිහිනුවණ උපන් මට යෝනිසෝමනසිකාරය ඇති වූ බව සඳහන් වේ. රාජදත්ත හිමියන් යෝනිසෝමනසිකාරය “කළ” බවක් නොව සිහිනුවණ නිසා යෝනිසෝමනසිකාරය හට ගත් බව ඉතා පැහැදිලි ව සඳහන් වේ.

මේ අයුරින්ම “නාගසමාල” හා “භගු” යන ස්වාමීන් වහන්සේ ද ථෙරගාථාවල ප්‍රකාශ කර ඇත්තේ තමන්ට යෝනිසෝමනසිකාරය හටගත් බවයි.

මෙම කරුණු අනුව යෝනිසෝමනසිකාරය නිවනෙහි දොරටුව වශයෙන් හැඳින්වීම සහේතුක බව පැහැදිලි වේ.

ප්‍රඥාව දියුණු කර ගැනීම පිණිස බාහිර වශයෙන් සත්පුරුෂ ඇසුරත්, සද්ධර්ම ශ්‍රවණයත් ලැබිය යුතු අතර ආධ්‍යාත්මික වශයෙන් යෝනිසෝමනසිකාරයත්, ධම්මානුධම්මපටිපදාවත් තිබිය යුතු බව දේශනාවල සඳහන් වේ. (අං.නි. 2) මෙහිදී සත්පුරුෂයාගෙන් සෑමවිට ම ලැබෙන්නේ සද්ධර්මය බැවින්, කරුණු දෙකක් වශයෙන් සඳහන් වුවත් එක් විටම ලැබෙන බව පැහැදිලි වේ. එසේම ධම්මානුධම්මපටිපදාව යනු අනිත්‍ය නම් වූ ධර්මතාවයට අනුකූල ප්‍රතිපදාව යි. යෝනිසෝමනසිකාරය අනිත්‍ය බව අවබෝධය බැවින් කරුණු දෙකක් වශයෙන් සඳහන් වුවත් එකම සිදුවීමක අවස්ථා දෙකක් වෙන් කර දක්වන බව පැහැදිලි වේ.

“නලකලාප” සූත්‍රයෙහි (සං.නි.2) සඳහන් වන්නේ යම් භික්ෂුවක් අවිද්‍යාවෙහි කලකිරීම පිණිස, ඇල්ම දුරු කිරීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ නම් ඔහු ධම්මානුධම්ම ප්‍රතිපදාවට පැමිණි බවයි.

යෝනිසෝමනසිකාරය මෙන්ම අයෝනිසෝමනසිකාරය ද බොහෝ සූත්‍ර දේශනාවල සඳහන් වේ. ඉහත සඳහන් කළ කරුණුවලට අනුව නම් පව් මෙන් ම පින් ද අයෝනිසෝමනසිකාරය නිසා ම සිදුවන බව කිව යුතු වේ. අයෝනිසෝමනසිකාරය නිසා පින් කරනවා යන කීම බොහෝ දෙනකුගේ විවේචනයට හේතු විය හැකි ය. නමුත් පින් රැස් කිරීම සසර වැඩීමට හේතුවන බැවින් එය අවිද්‍යා සහගත රැස් කිරීමක් බව තේරුම්ගත යුතු ය. මේ බව “පරිවීමංසන” සූත්‍රයෙහි (සං.නි. 2) ඉතා පැහැදිලි ව විස්තර වේ. අවිද්‍යා සහගත පුද්ගලයා පුඤ්ඤාභිසංඛාර රැස් කරන විට ඔහුගේ විඤ්ඤාණය ද පිනට නැඹුරු වන බව එම සූත්‍රයෙහි සඳහන් වේ.

ඉහත කරුණු අනුව පැහැදිලි වන්නේ යෝනිසෝමනසිකාරය යනු අනිත්‍ය ධර්මතාව ය තේරුම් ගන්නා මොහොතක මනසෙහි හැසිරීම බව පැහැදිලි වේ. නමුත් යෝනිසෝමනසිකාරය යනු මෙවැනි සීමාසහිත අවස්ථාවකට පමණක් ගළපා බැලිය හැකි දෙයක් නොවන බව බොහෝ දෙනාගේ අදහසයි.

සාමාන්‍ය ව්‍යවහාරයේ දී නුවණින් විමසා කටයුතු කිරීම යෝනිසෝමනසිකාරය ලෙස හඳුන්වයි. ඒ අනුව හොඳින් විමසා බලා කරන වෙළඳාම, ගනුදෙනු කිරීම ආදිය ද සිදු කරන්නේ යෝනිසෝමනසිකාරයෙන් බව ඇතැම් අය කියති. නමුත් විවිධාකාරයෙන් කරුණු විමසා බැලීම විස්තර කිරීම සඳහා අනුස්සති (සිහිකිරීම) විභක්කේති (විතර්ක කිරීම) ප්‍රපංචේති (ප්‍රපංච) වීමංසති (විමසීම) ආදී වචන රාශියක් ධර්මයෙහි සඳහන් වේ. “මම වෙමි” (අස්මි) යන මූලික අදහස පවා ප්‍රපංචයක් බව ‘යවකලාපි‘ සූත්‍රයෙහි (සං.නි.4) සඳහන් වේ. (අස්වීති භික්ඛවේ පපංචිතවේතං) ප්‍රපංචයක් (කරුණු විස්තර කර ගැනීමක්) සෑම විටකම සිදුවන්නේ අවිද්‍යාව නිසාමය හෙවත් අනිත්‍ය බව නොවැටහීම නිසා ම ය. මම වෙමි යන මූලික අදහස පවා අවිද්‍යා සහගත ප්‍රපංචයක් නම්, එතැන යෝනිසෝමනසිකාරය ඇතැයි කෙසේවත් සඳහන් කළ නොහැකි ය. මම වෙමි යන්න අවිද්‍යා සහගත ප්‍රපංචයක් බැවින් ඒ සෑම තැනක ම පුද්ගල මූලික බව ඇත. පුද්ගල මූලික ව කරන කිසිදු ක්‍රියාවකින් ආස්‍රව ක්ෂයවීමක් සිදු නොවේ. සමහරවිට සූත්‍ර දේශනා කියවීමේ දී යෝනිසෝමනසිකාරය යන්නෙන් අදහස් වන්නේ සාමාන්‍ය විමසා බැලීමක් ලෙස සිතිය හැකි ය. නමුත් එම සූත්‍ර දේශනාව ම නිවන අරමුණු කොට ගැඹුරින් විමසා බැලීමේදී යෝනිසෝමනසිකාරය යනු අවබෝධයට පත්වීමක් හෝ ආස්‍රව ක්ෂයවීමක් ලෙස හඳුනාගත හැකි වේ.

සමාධිමත් සිතකින් අනිත්‍ය බව පිළිබඳ ව විමසා බලමින් සිටින අයකුට අනිත්‍ය බව දකිමින් වාසය කරන බව බොහෝ සූත්‍ර දේශනාවල සඳහන් වේ. නීවරණ ප්‍රහාණය වූ, එකඟ වූ සිතකින් මෙම අනිත්‍ය බව දකිමින් වාසය කිරීම නිසා ආස්‍රව ක්ෂය වීම සිදු වේ.

මෙසේ අනිත්‍ය බව දකිමින් වාසය කරන අවස්ථාව යෝනිසෝමනසිකාරයෙන් යුතු අවස්ථාව ලෙස සඳහන් කළ හැකි වේ. භාවනා කමටහනක් තුළ සිත පවත්වමින් සමාධියක් දියුණු කරන විට, දහම් කරුණක් විමසා බලන විට, එය සිදු කරන්නේ අයෝනිසෝමනසිකාරයෙන් ද යන බව බොහෝ දෙනකුට ගැටලුවක් විය හැකි ය. නමුත් සමාධියක් වඩන විට (විපස්සනාවෙන් බැහැරව)දහම් කරුණක් සිහිකරන විට එය සිදු කරන්නේ අවිද්‍යාවෙන් හෙවත් අනිත්‍ය බව පිළිබඳ වැටහීමකින් තොරව ය. අතීතයේ අෂ්ඨසමාපත්තිලාභී අය පවා අවම වශයෙන් සෝතාපන්න ඵලයට හෝ පත් නොවූයේ එම අවිද්‍යා සහගත බව නිසා නොවේ ද? එබැවින් අවිද්‍යාවත්, අයෝනිසෝමනසිකාරයත් එකම දෙයක් බව විමසා තේරුම් ගන්නේ නම් එම ගැටලුව විසඳා ගත හැකි ය. බොහෝ කලක් යෝනිසෝමනසිකාරය යන්නට අප විසින් ගෙන ඇති අදහස හා තීරණය නිසා මෙවැනි ගැටලු ඇතිවිය හැකි ය. එම නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර දේශනා නිවන අරමුණු කොට විමසා බැලීමෙන්, අප අදහස් කර ගෙන ඇති කරුණුවල සත්‍ය අසත්‍ය බව තේරුම් ගැනීමට උත්සාහ දැරිය යුතු ය. අවිද්‍යාවෙන් දුරුවන නිවැරැදි මඟ හඳුනා ගත හැක්කේ එවිට ය.