ආධ්‍යාත්මික පරිවර්තනයක් පිළිබඳ කතිකාවතකට මේ සුදුසු ම කාලය යි
අග්ගමහා පණ්ඩිත,
මහාචාර්ය
අත්තංගනේ රතනපාල නාහිමි
“යථා සංඛාර ඣානස්මිං -
උජ්ක්‍ධිතස්මිං මහාපථෙ
පදුමං තත්ථ ජායේථ -
සුචිගන්ධං මනොරමං
එවං සංඛාර භූතෙසු -
අන්ධභූතෙ පුථුජ්ජනෙ
අතිරොචති පඤ්ඤාය -
සම්මා සම්බුද්ධ සාවකො”
මහමඟ දමන ලද කසළ ගොඩක වුව ද, පිරිසුදු වූ, සුවඳවත් වූ, සිත් ඇදගන්නා සුළු වූ
පියුමක් හට ගන්නේ යම් සේ ද, කසළ වැනි අපිරිසුදු සිත් ඇති, දස අකුසලයෙන්, පඤ්ච
දුශ්චරිතයෙන් කිළිටි වූ සිත් ඇති අන්ධබාල පෘථග්ජනයන්ගෙන් පිරී මේ සමාජයෙහි දස කුසල
භාවිතයෙන් යුත් බුදු මඟ අනුගමනය කරන ශ්‍රාවකයෝ ප්‍රඥාවෙන් බබළන්නාහ.
සමාජය අපිරිසුදු වුව ද පුද්ගලයාට ආධ්‍යාත්ම පාරිශුද්ධියෙන් කටයුතු කළ හැකි ය. එසේ
කළ හැකි වන්නේ ඔහු ධර්මානුගත පෞරුෂයකින් පෝෂණය වුවහොත් පමණි. පුද්ගල පෞරුෂය
ධර්මයෙන් පෝෂණය කර ගත හැකි වන්නේ ශීලයෙන්, ගුණයෙන් යුක්ත වීමෙනි.
ආත්මාර්ථකාමිත්වයෙන් තොරව පරාර්ථකාමී ව කටයුතු කිරීමෙනි. එය සමාජ යහපත, අභිවෘද්ධිය
අපේක්ෂා කරන පුද්ගල චරිතයක අනිවාර්ය ලක්ෂණයකි.
වර්තමාන සමාජය ද කෙලෙස් කසළින් පිරී ඇති හෙයින් කුණු කසළින් පිරි මඩ ගොහොරුවක් වැනි
ය. නුවණැති සමාජය එම තත්ත්වය තේරුම් ගෙන එය පිරිසුදු කිරීමේ ක්‍රියාවලියට, සාමූහික
ප්‍රයත්නයට දායක විය යුතු ය. එම ක්‍රියාවලියේ අනුශාසකයා, මඟ පෙන්වන්නා විය යුත්තේ
භික්ෂූන් වහන්සේ ය. ආගමික නායකයන් ය.
එසේ වුව ද සමස්ත සාමාජිකයන්ගේ අවබෝධයෙන්, ක්‍රියාකාරිත්වයෙන්, තොර ව යහපත් සමාජ
ශෝධනයක්, පරිවර්තනයක් කළ නො හැකි ය. කාලයක් තිස්සේ ආත්මගත වී ඇති දුරාචාරය, දූෂණය,
වංචාව, ආත්මාර්ථය, රැවටීම ආදී දුර්ගුණ හේතුවෙනි. ආගමික නායකයන් මෙන් ම සමාජ,
දේශපාලන නායකයන් ආයතන ප්‍රධානීන්, ගුරුවරාදීන් ආදර්ශයෙන් මඟ පෙන්වීම් කළ යුතු ය.
දේශපාලන ඉතිහාසය තුළ හොරකම, දූෂණය, වංචාව, රැවටීම ආදි රටක ආත්මය, සංස්කෘතිය,
සදාචාරය වනසන ක්‍රියාකාරීත්වයන් පෝෂණයට නායක කාරකාදින් භාවිතාවෙන් ම කළ බලපෑම්
හේතුවෙන් රටේ ඓතිහාසික, පාරම්පරික, සදාචාර, සංස්ෘතික භාවිතාවන් විනාශ වී ගියේ ය.
ඒවා යළි ප්‍රතිෂ්ඨාපනය කළ යුතු ය.
මව්පිය - දූ දරු සම්බන්ධතා බිඳ වැටී ගියේ ය. ස්වාමි- භාර්යා, ගුරු - සිසු සම්බන්ධතා
දුරස් ව මනුෂ්‍ය ධර්මතා සිඳී ගියේ ය. ඒ සියල්ල ප්‍රතිනිර්මාණය කිරීමකින් තොර ව,
රටක් ස්ථාවරත්වයට පත් කළ නො හැකි ය. එහෙයින් වත්මන් සමාජයේ දැනුවතුන් විසින්
පුද්ගලිකවත්, සාමූහිකවත්, දෘඪතර අධිෂ්ඨානයෙන්, කිසිදු ආත්මලාභයකින් තොර ව එබඳු
පිරිසුදු රටක් අපේක්ෂාවෙන් ඉදිරිපත් විය යුතු ය. සමාජීය වශයෙනුත්, සදාචාරමය
වශයෙනුත්, පාරිසරික වශයෙනුත් සමස්ත සමාජ දේහය ම පිරිසුදු කළ යුතු බව රජය ද වටහාගෙන
ඇති බව පෙනේ. අප විසින් කළ යුතු වන්නේ එම කාර්යය සියලු පුරවැසියන් අයත් කාර්යයක් බව
වටහා දෙමින් සහයෝගය දක්වා ක්‍රියාකිරීම ය.
මව්පියන්ට සැලකීම, වැඩිහිටියන්ට ගරු කිරීම, දරුවන්ට, කාන්තාවන්ට සැලකීම, ආරක්ෂාව
තහවුරු කිරීම දියුණූු සමාජයක ලක්ෂණයකි. එහෙත් ඒවා බලලෝභී දේශපාලකයන්ගේ දූෂිත
භාවිතාව තුළ විනාශ වී, අක්‍රිය වී අභාග්‍යසම්පන්න තත්ත්වයට පත් වී ඇති බව පෙනේ. එම
තත්ත්වයන් යළි ප්‍රතිනිර්මාණය කළ හැකි ආධ්‍යාත්ම පරිවර්තනයකිනි.
එබඳු ආධ්‍යාත්ම පරිවර්තනයක් පිළිබඳ කතිකාවතකට මේ සුදුසු ම අවස්ථාව යි. එනම්
වර්ෂාරම්භයේ සිදුවන දුරුතු පෝදා උදාව ය. දුරුතු පෝය, ලංකා ශාසන ඉතිහාස වංශ කතාවේ
විශේෂ පෝය දිනයක් වන්නේ එය බුදුරදුන්ගේ ලංකාගමනේ සමාරම්භයක් සනිටුහන් කරන හෙයිනි.
රටක් කෙ තරම් ආර්ථික අතින් සංවර්ධනය වුව ද ආධ්‍යාත්මික දියුණුවක්, විනයක්,
සදාචාරයක්, සංවරයක්, හැඟීම් පාලනයක්, එකිනෙකාට ගරු කිරීමක් රට තුළ නොමැති නම්, ඒ
රටේ සංවර්ධනය යන්න අගය කළ නො හැකි ය. එය දුරාචාර සංවර්ධනය හෝ අපරාධ සංවර්ධනය හෝ විය
හැකි ය. සදාචාරය සංවර්ධනයේ පදනම ලෙස දියුණු ලෝකය සලකන්නේ අගය කරන්නේ එහෙයිනි.
බුදුරදුන් වදාළේ,
“ධම්මං චරෙ සුචරිතං -
නතං දුච්චරිතං චරෙ
ධම්මචාරී සුඛං සෙති -
අසමිං ලොකෙ පරම්භිච” යනුවෙනි.
“ධර්මයෙහි (දස කුසලයෙහි) හැසිරෙන්න. දුසිරිතෙන් ( දස අකුසලයෙන්) වළකින්න. ධර්මයෙහි
හැසිරෙන්නා සුව සේ කටයුතු කරන්නේ ය. යහපත දකින්නේ ය. දුසිරිත කරන්නා එසේ යහපත,
සැනසීම නො ලබන්නේ ය.”
ක්‍රියාව යහපත් වන්නේ නම් ප්‍රතිඵලය ද යහපත් වන බව මෙයින් පැහැදිලි ය. තල වපුරා මුං
බලාපොරොත්තු විය නොහැකි ය. එහෙයින් ස්වකීය චර්යාව ම, භාවිතාව ම නිවැරැදි විය යුතු
ය. පුද්ගලාන්තර සම්බන්ධතා සමාජ සම්බන්ධතා, නිවැරැදි ලෙස පවත්වා ගෙන යා යුතු ය.
එකිනෙකා අතර මෛත්‍රී සහගත කාය කර්ම, මනෝ කර්ම, වචී කර්ම, ඇති කර ගත යුතු ය.
අනෙකාගේ යහපත - දියුණුව කැමැති විය යුතු ය. රටේ යහපත වෙනුවෙන් රජු ධාර්මික ව,
ස්වකීය භාවිතාවෙන් ධර්මය ක්‍රියාත්මක කරන විට එයට අනුග්‍රහය, අනුබලය ලබා දිය යුතු
ය. මෙම ධාර්මික ව්‍යායාමයේ දී මූලිකත්වය, අනුශාසකත්වය, මඟ පෙන්වීම, සමගි සම්පන්න
ආගමික නායකත්වය විසින් සැපයිය යුතු ය. සංඝයාගේ සමඟිය අතිශයින් ම වැදගත් වන්නේ ය.
“සුඛා සංඝස්ස - සාමග්ගි” යනුවෙන් සංඝයාගේ සමගිය සැපයක්, යහපතක් බව දක්වා ඇත්තේ
එහෙයිනි. පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් සංඝයා භේදභින්න වීම සුදුසු නැත. අපේක්ෂා කළ
යුත්තේ සමාජයෙනි. බහුතරයකගේ සුඛවිහරණය යි. යහපත යි.
විරසකකම් දුරලා රටේ බහුජන සමාජයෙහි යහපත වෙනුවෙන් වූ සුවිශාල සමාජ සංශෝධනයකට අවශ්‍ය
වෙනසකට, සමාජ පරිවර්තනයකට අවශ්‍ය චින්තන විප්ලවයක්, ආකල්පමය වෙනසක් ඇති කරලීමට රටට
සැපතක් උදා වු මේ දුරුතු පෝ දිනයෙහි අධිෂ්ඨාන පූර්වක ව ක්‍රියා කිරීමට සියලු දෙනා
උත්සාහවත් විය යුතු වන්නේ ය. සියල්ලෝ යහපත දකිත්වා! |