Print this Article


ස්වර්ණ මුද්‍රිකා පහකින් පිදුම් ලැබූ අළුදෙණියේ සුබෝධි නාහිමියෝ

ස්වර්ණ මුද්‍රිකා පහකින් පිදුම් ලැබූ අළුදෙණියේ සුබෝධි නාහිමියෝ

කැලණිය විශ්වවිද්‍යාලයේ 147 වන උපාධි ප්‍රධානෝත්සවයේ දී පුරාවිද්‍යා විෂයයන් සඳහා පිරිනැමෙන ස්වර්ණ මුද්‍රිකා (Gold Medals) පහම අළුදෙණියේ සුබෝධි හිමිපාණන් වහන්සේ දිනා ගත්හ.

අභිලේඛන හා නාණක විද්‍යාව විෂයයෙහි විශිෂ්ටතම අධ්‍යයන කුසලතාව වෙනුවෙන් පිරිනමන සෙනරත් පරණවිතාන ස්වර්ණ මුද්‍රිකාව, ප්‍රාග් සහ පූර්ව ඉතිහාසය විෂයයෙහි විශිෂ්ටතම අධ්‍යයන කුසලතාව වෙනුවෙන් පිරිනමන සිරාන් දැරණියගල ස්වර්ණ මුද්‍රිකාව, පරිසර පුරාවිද්‍යාව විෂයයෙහි විශිෂ්ටතම අධ්‍යයන කුසලතාව වෙනුවෙන් පිරිනමන සේනක බණ්ඩාරනායක ස්වර්ණ මුද්‍රිකාව, පුරාවිද්‍යා පර්යේෂණ චින්තනය පිළිබඳ විශිෂ්ටතම අධ්‍යයන කුසලතාව වෙනුවෙන් පිරිනමන ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් ස්වර්ණ මුද්‍රිකාව සහ පුරාවිද්‍යා විෂයයන්හි සමස්තයක් ලෙස දක්වන ලද අධ්‍යයන විශිෂ්ටතාව වෙනුවෙන් පිරිනමන ශ්‍රීමත් කොලින් රෙන්ෆ්රූ ස්වර්ණ මුද්‍රිකාව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය විසින් එසේ උන්වහන්සේ වෙත පිරිනමනු ලැබීය.

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මඟින් ඒ ඒ විෂයයන් සඳහා A+ සාමාර්ථයක් සහිත ව වැඩිම ලකුණු ලබා ගන්නා විද්‍යාර්ථීන් වෙත එම මුල් රන් පදක්කම් සතර පිරිනමන අතර සියලු ම පුරාවිද්‍යා විෂයයන් සඳහා A+ සාමාර්ථයන් ලබා ගනිමින් වැඩිම GPA අගයක් සහිත ව විශිෂ්ටතම අධ්‍යයන කුසලතා දක්වන විද්‍යාර්ථියා වෙත ශ්‍රීමත් කොලින් රෙන්ෆ්රූ ස්වරණ මුද්‍රිකාව පිරිනමනු ලබේ.

උන්වහන්සේ විසින් ඒ අයුරින් සියලු විෂයයන් සඳහා A+  සාමාර්ථ ලබමින් 4.0 උපරිම GPA අගයක් පවත්වා ගනිමින් විශිෂ්ට සාමාර්ථයක් (Distincition pass)  සමඟින් පශ්චාත් උපාධි පාඨමාලාව සම්පූර්ණ කර තිබීම සුවිශේෂී ය.