ආසී කුසුම්

සසර යන ගමන එක් වසරක් ගෙවුණා
කාලය දිවිය විය තව වසෙකින් මැකුණා
තාමත් හිතට වද දෙයි ක්ලේශයෙ උකුණා
ලොබ දොස තරග කොට දෙන බිය නොවියැකෙනා
ළා දලු ගොයම පීදී අස්වනු දෙද්දී
උල්පත් දිය පාර බැස මුහුදට යද්දී
අරුණලු දිදී ආ හිරු මල මැලැවෙද්දී
වසරක් මිය ගිහින් වසරක් එළි වෙද්දී
අසිරිය බලන් අරුතක් දෙන සොබා දමේ
සොඳුරු ය එ හැම ඒ හැටියට බලන සමේ
පරණ පිළුණු සිතිවිලි රැඳුණු සිර බිමේ
බළකොටු පවුරු බිඳැ ලමු මේ වසරෙ ඉමේ
සුපහන් සිතිනි නව හිරු සඳු නැඟෙන්නේ
ඒ කිරණින් ය නව සිතිවිලි පිපෙන්නේ
එයිනුයි නව වසෙක අසිරිය පෙනෙන්නේ
වෙනසක් අරන් නව වස මෙහි වරෙන්නේ
සොයුරෙනි සොයුරියනි එනු මැන හැර වෙහෙස
විඳැ විඳැ එක මැ හිරු කිරණෙක රස පහස
පිනි බිඳ සදිසි දිවි විය කොට කැර වෙනස
නව වස මිනිසියාවෙන් කැරලමු වෙසෙස
තිරිකුණාමලේ අනඳ යතිවර |