සාමණේරයන් වහන්සේ නමකගේ
ජීවිතය අලලා ලියැවුණු නවකතාව:
පුර පෑළවිය සඳ - 15 කොටස
බඩල්ගම
විපුලසිරි හිමි
මෙතෙක් කතාව
දමිත සාමණේරයන් පැවිදි බව ලබා ටික කාලයකි. පැවිදි වුව ද පුංචි දඟකාරකම් මඟහැර ගන්නට
සාමණේරයන්ට තවම අපහසු ය. කුඩා සාමණේරයන්ගේ පුංචි වරදක දී වුව එය විශාල කොට
පෙන්වමින් ලොකු හාමුදුරුවන් වෙතට රැගෙන යන්නේ පන්සලේ ඇබිත්ත මාමා ය. ඔහු සිරිමල් ය.
පන්සලේ ප්‍රධාන දායකයකු වන මුදලාලිට ද දමිත සාමණේරයන් ගැන පැහැදීමක් නැත. ඒ
සාමණේරයෝ ගිහි කල ඉතා දිළිඳු පවුලක වීම නිසා ය. මුදලාලිගේ බසට අවනත ව සාමණේරයන්ට
වැරැදි පිට වැරැදි පැටවීමට සිරිමල් මාමා නිතර උත්සාහ කරයි. ලොකු හාමුදුරුවන්ට පොඩි
හාමුදුරුවන් ගැන නැති වැරැදි කියයි. එහෙත් සිරිමල් මාමා පොඩි හාමුදුරුවන්ට කරන
අකටයුතුකම් නන්ද හිමියන්ට දැක ගන්නට ලැබුණි. නන්ද හිමි සිත දමිත පොඩිහාමුදුරුවන්
ගැන ඇති වූයේ මහා දුකකි. මේ අතර සිරිල් මාමා රෝගී වේ.
නමුත් ඒ නිසා ලෙඩ වූයේ සිරිමල් මාමා ය. කාටත් දැන් හොරා කෑ තැනැත්තා කවුරු දැයි
කියා නම් පැහැදිලි ය.
සවස් වරුවේ බෝ මළුව ඇමදීමට ඉදලක් අතට ගත් නන්ද හිමියන්ට බොහෝ සිතිවිලි මනසට ගලා ආවේ
ය.
සිරිමල් මාමා ලෙඩවී ඇඳට වැටී සිටි මොහොතේ දී දමිත සාමණේරයන් හැසිරුණු ආකාරය
විශ්මයජනක යැයි හිමියන්ට සිතුනි. වැඩිහිටියකු වූ තමන් වහන්සේත් කුමක් කළ යුතු දැයි
සිතාගත නොහැකි ව සිටියදී කුඩා සාමණේර කෙනෙකුන් වූ උන්වහන්සේ එසේ බුද්ධිමත් ව
හැසිරුණේ කෙසේ ද ?
තමන් වහන්සේ ද පැවිදි වූ දා පටන් ම උත්සාහ කරන්නේ ආදර්ශවත් පැවිද්දකු වීමට ය. එදා
සිරිමල් මාමාගේ ගත තැවරී තිබූ අසූචි දුටු විට පිළිකුලක් ඇති වූයේ මන්ද? කායගතාසතිය
සිත තුළ මැනවින් පිහිටා නැති නිසා නොවේ ද ? කරුණාව, මෛත්‍රිය සිත තුළ ම පමණක් පවතී
නම් එය ප්‍රායෝගික කළ නොහැකි නම් ඉන් ඇති ප්‍රතිඵලය කුමක් ද ? ගිලනෙකුට උපස්ථාන කර
ගැනීමට සිත සකසා ගැනීමට නොහැකි වූ මා අනුන්ට උපදෙස් දෙන්නේ කෙසේ ද ?
නන්ද හිමියන් අමදිමින් එකතු කළ කුණු ගොඩ ඉවත් කිරීමට, දමිත සාමණේරයන් පැමිණියේ කූඩය
ද රැගෙන ය.
“ දැන් කොහොමද නන්ද හාමුදුරුවනේ සිරිමල් මාමාට ? “
“ දැන් නම් ටිකක් හොඳයි දමිත. දැන් කෑම එහෙම චුට්ට චුට්ට කනව බොනවා. ඒත් තාම තනිව ම
නැඟිටල ඇවිදින්න කරන්න බෑ.”
“ දැන්ම සිරිමල් මාම ව පන්සලට එක්ක එන්නෙ නැද්ද නන්ද හාමුදුරුවනේ ? “
“ මං හිතන්නෙ දැන් නම් ටිකට් කපයි. සමහර විට හෙට අනිද්දම සිරිමල් මාම පන්සලට
එක්කගෙන එන්න පුලුවන් වෙයි. ඒත්...”
නන්ද හිමියන් කල්පනා කරන්නට විය.
“ ඇයි නන්ද හාමුදුරුවනේ ඒත් කිව්වෙ ?”
“ සිරිමල් මාමාට කාලයක් යනකල් ම ආයෙ ඇවිදින්න කරන්න බැරි වෙයි දමිත. ඇඳේම ඉන්න
වෙයි. කවුද දමිත එතකොට සිරිමල් මාමට සලකන්නෙ. මේ දායකයො කොහෙත්ම කැමති වෙන එකක් නෑ,
එහෙම කෙනෙක් පන්සලේ තියාගන්නවට. “
උදව්වක්, උපකාරයක් බලාපොරොත්තුවෙන්, වාසියක් ලබා ගැනීමට මිනිසුන් ඇසුරු කරනවා විනා
අන්‍යයන්ට බලාපොරොත්තු විරහිත ව සිනා පොදක් දෙන්නෝ පවා මේ කාලයේ දුර්ලභ ය. එබැවින්
පන්සලේ ඔත්පල රෝගියකු සිටිනවා දකින්නට බෞද්ධ යැයි කියාගන්නා ප්‍රධාන දායකයින්
කිසිසේත් ම කැමැති නොවනු ඇත. සිරිමල් මාමා නෑයෙක් ය කියාගෙන ළඟින් ම ඇසුරු කළ දායක
සභාවේ ප්‍රබලයා වූ මුදලාලි මහත්තයා හෝ ලියන මහත්තයා හෝ රෝගියා බැලීමට රෝහලටවත්
නොපැමිණියේ ය.
“ අනේ නන්ද හාමුදුරුවනේ ,
මං බලාගන්නම් සිරිමල් මාමව. මට පුලුවන්.. “
සාමණේරයන්ගේ සිත පිළිබඳ නන්ද හිමියන්ටත් පුදුම ය.
“ ඇත්තට ම දමිත, එදා සිරිමල් මාමා වැටිලා ඉද්දි කොහොමද එච්චර හොඳට සෝදලා කරලා
උපස්ථාන කළේ ? හරියට පුරුදු කාරයෙක් වගේ.”
නන්ද හිමියන් ඇසුවේ අසන්නට දින ගණනාවක් බලා සිටි පැනයකි.
(මතු සම්බන්ධයි) |