Print this Article


සත් හැවිරිදි වියේ දී ම රහත් වූ සංකිච්ච සාමණේරයන් වහන්සේ

සත් හැවිරිදි වියේ දී ම රහත් වූ සංකිච්ච සාමණේරයන් වහන්සේ

සැවැත්නුවර ජේතවනාරාමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩවසන සමයක එක්තරා බ්‍රාහ්මණ පේ‍්‍රතයන් දෙදෙනකු අරබයා මෙම කතා වස්තුව අර්ථෝත්පත්ති කොට දේශනා කළ සේක.

සංකිච්ච සාමණේරයන් වහන්සේ අපගේ ශාසනයේ සත්හැවිරිදි වියේ දී ම සිවුපිළිසිඹියාපත් රහතන් වහන්සේ කීපදෙනා අතුරින් එක් රහතන් වහන්සේ නමක් විය. සංකිච්ච හෙරණ (සාමණේර) වහන්සේ ධර්ම සේනාධිපති ශාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ගෝල නමෙකි. සැවැත්නුවර පොහොසත් ප්‍රභූ පවුලක උපන් සංකිච්ච හිමිගේ මවු මේ හිමියෝ කුස තුළ සිටිය දී ම තරුණ වියේ හදිසි රෝගයකින් මිය ගියේ ය. ගින්නෙන් දවාලූ මේ මළ මිනියෙහි ගැබ පිහිටි කොටස් නො දැල්වුණු හෙයින් මිනිසුන් හුල්වලින් ඇන එය වෙන් කොට දර දමා ගිනි තබා ගෙවල්වලට පිටත්ව ගියහ. පසුදා උදේ නෑයෝ සෑය නිවන්නට එහි යන්නෙන් රන් පිළිමයක් වැනි දරු තෙමේ අඟුරු උඩ පියුමක් සේ හුන්නේ ය. එහෙත් පෙර දින ගැබ්මසට මිනිස් හුල්වලින් අනිද්දී හුල් පහරක් මේ දරුවාගේ ඇස කොනක වැදී තිබුණි. එනිසා ම මේ කුමරා සංකිච්ච නම් වූහ.

දරුවා ගෙනගිය නෑයෝ නිමිතිකරුවන්ට දැක්වූහ.

“මේ දරුවා ගෙදර සිටියේ නම් හත්මුතු පරපුරක නෑයෝ හිඟනුන් වන්නෝ ය. පැවිදි වන්නේ නම් පන්සියයක් පිරිවර භික්ෂූන් සමඟ තැනින් තැන ඇවිද යන්නේ” යැයි නිමිති ඇසූහ. කෙසේ වෙතත් තම ඥාති දරුවා ඉවතලිය නොහැක්කේ තේරුම් ඇති දවස තෙක් වත් අපි හදන්නෙමු” යැයි ඔවුහු කතිකා කොට ගත්හ. මෙසේ දරුවා වැඩෙද්දී වැඩිහිටි යහළුවෝ සෙල්ලම් පිටියේ දී තමා කුස තුළ සිටිය දී තම මෑණියන් මිය ගිය බවත්, මළ සිරුර දවාලීමේ දී එහි සිටි ඔබ නො දැවී ඉතිරි වුණා යැයි යන බස් අසා සංවේගයට පත්ව මහත් බියකින් බේරී ඇති මම ගෘහයෙහි වාසය නුසුදුසු බවත් මහණවීම සුදුසු බවත් සිතා ඥාතීන්ට ඒ බව දැන්වූහ. ඥාතීන් ද මෙය අසා මහත් සේ සතුටු වී තමන් ළඟින් ම ඇසුරු කරන ශාරිපුත්‍ර තෙරුන් වහන්සේට පැවිදි කිරීම පිණිස දරුවා භාර දුන්හ. දම්සෙනවි සැරියුත් තෙරුන් වහන්සේ කෙස්, ලොම්, නිය, දත්, සම් ආදී කොට ඇති තචපඤ්චක කර්ම ස්ථානය කියවා හිස බාමින් සිටිද්දී ම සත්හැවිරිදි දරුවා සිවුපිළිසිඹියාපත් රහත් බව ලැබීය.

බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ලබා වනයට පිටත්ව යන තිස්නමක් වහන්සේ අවසර ගැනීමට පැමිණි සිටියදී “ඔබලා වැඩිමහල් සහෝදර වූ ශාරිපුත්‍ර තෙරුන් හමුව යන ලෙසට බුදුරජාණන් වහන්සේ වදාළ සේක. වනයට යන මොවුන්හට සොරබිය පැමිණ මහණකම සපුරා ගන්නට නොහැකි බව දැක සංකිච්ච තෙරුන් සමඟින් පිටත්ව යෑමට මඟ සලසන ලෙසින් මෙසේ කළ සේක. සැරියුත් හිමි මේ තෙරුන් වහන්සේ දැක,

“ඔබ වහන්සේ මෙහි ආවේ කිමැ” යි ඇසූහ. “වනයට පිටත්ව යන අපි භාග්‍යවතුන් වහන්සේ අවසර ගනිද්දී ඔබ වහන්සේ ද මුණගැසී කතා කොට යන්න යැයි අපට අනුශාසනා කළෙහි. එහෙයින් අපි මුණගැසී වැඳ පුදා යන්නට ආවෙමු”. යැයි භික්ෂූන් වහන්සේ දැන්වූහ.

අපගේ පියාණන් වූ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් නිකමට මෙහි නො එවන බව සිතූ සැරියුත් මහරහතන් වහන්සේ කාරණය දැක “ඔබලාට සාමණේර නමක් සිටින්නේ දැ”යි ඇසූහ. “නැතැයි” පිළිතුරු දුන්හ. එසේ නම් මේ කුඩා සංකිච්චයන් කැඳවා ගෙන යන්න”යැයි කීහ.

“ස්වාමීනි, අපට හෙරණකුගෙන් වැඩක් නො වන්නේ ය. වනයෙහි විසීමට යන අපට එය කරදරයක් වන්නේ යැයි කියමින් වුවමනාවක් නැතැයි” කීහ.

“ඇවැත්නි, එසේ නොකියන්න. අන් තෙරණුන් මෙන් නොව මේ හෙරණගෙන් ඔබට කවදාමුත් කරදරයක් නොවේ. සමහර විට ඔබ වහන්සේගෙන් ඒ නමට කරදරයක් විය හැකි ය. තවද මා පිය බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ නිකමට මා ළඟට එව්වා නොවේ. ඔබ සමඟ හෙරණකු පිටත්කර යවනු ඇතැයි දැන මෙහි එවූහ. එනිසා මේ කුඩා නම කැටුව යව‘යි ස්ථවිරයන් වහන්සේ කියා සිටියහ. පෙරැත්තය මත එය “යහපතයි” පිළිගෙන හෙරණුන් ද සමඟින් වෙහෙරින් පිටත්ව එකසිය විසි යොදුන් මඟක් ගෙවූහ. ගෙවල් දහසක් පමණ ඇති ගමකට වන් භික්ෂූන් වහන්සේ ගම්වාසීන්ගේ ආරාධනයෙන් ඔවුනගේ උපස්ථාන මත ගම් කෙළවර සාදවා දුන් කුටි තුළ ආරණ්‍යවාසී ව කල් ගෙවූහ.

එහෙයින් පැමිණි කාරණය පලගන්වනු වස් සියල්ලෝ කතිකා කොට උදය පිඬු සිඟා යන වේලාවත්, සවස උපස්ථාන වේලාවත් හැර, වෙන් වෙන් ව කුටි තුළ ම දිවා රෑ නො පමාව කමටහන්හි යෙදමු යි නියම කර ගත්හ. යමකුට අපහසුවක් වී නම් පමණක් ගෙඩිය ගසා රැස්ව ඔහුට උවටැන් කළ යුතු යැයි ද තීරණය කර ගත්හ.

එක්තරා දුප්පත් මිනිසෙක් එක් දුවකගෙන් උපස්ථාන ලබා එහි කන්නට යමක් නොවූ විට අනෙක් දුව වෙත යන්නට මඟට බටහ. පළමු කී භික්ෂූන් වහන්සේ ද පිණ්ඩපාතයට වැඩ ආපසු එන්නේ අතරමඟ ගඟකින් ස්නානය කොට වේලාව ආසන්න බැවින් එහිම වැඩ සිට පිණ්ඩපාතය වළඳන්නට සූදානම් වන්නේ මඟටවන් දුප්පත් මිනිසා ද උන්වහන්සේ ළඟට පැමිණ පසෙකට වී සිටියේ ය. ඔහුගේ සියලු තොරතුරු අසා භික්ෂූන් වහන්සේ තම පාත්‍රයෙන් මිට මිට දමා බත්පතක් සාදා ඔහුව ද සප්පායම් කළහ. ඔහු බත් කා තෙරුන් වහන්සේ වැඳ ස්වාමීනි, සැමදා මෙසේ රසට දන් ලැබේ දැයි අසා එයට ලොල් ව ස්වාමින් වහන්සේගෙන් ලබා ගත් අවසර ඇති ව උපස්ථාන කරමින් උන්වහන්සේ සමඟ ම විසූහ. ස්වාමින් වහන්සේගේ සිත්ගත් ඔහු ඇසුවොත් යන්න නොලැබෙතැයි සිතා දෙමසක් පමණ ගිය තැන දුව බැලීමට සිත්වී නොකියා ම වෙහෙරින් පිටත්ව මඟට බැස්සේ ය.

මහ වනයක් පසු කර යාමට ඇති ඔහුට එහිදී සොරමුලක් මුණ ගැසුනේ ය. දෙවියන්ට පඬුරක් ගැටගැසූ ඔවුන් මේ වනයට පළමු පිවිසෙන යමෙක් වේ ද ඌ මරා මසින් හා ලෙයින් පිදේනි දෙන්නෙමු වශයෙන් භාරයක් ද විය. සත්වෙනි දින අවසන් කොට තිබුණු මෙම පොරොන්දුවට පළමු කී මඟට වන් මේ උපාසක තැන ගොදුරු විය. ඔහු අල්ලාගත් සොරමුල ගසක බැඳ යකඩ හුල්ගෙන ගිනි දල්වා රත් කරන්නට වන්හ. ඒ කුමකට දැයි විමසන්නේ හුල්වලින් ඇන තෝ මරා මස් හා ලේ ගෙන දෙවියන් පුදන්නට යැයි කීහ.

බියට පත් ඔහු පින්වත්නි, මම හිඟන්නෙක්මි. අනුන්ගේ ඉඳුල් කා ජීවත්වන කාලකණ්ණියකු ගේ මසින් හා ලෙයින් දෙවියන් සතුටු නොවේ. මගේ මස් ලේ අපිරිසුදු ය. මේ අසල රජ කුල, ක්ෂත්‍රිය කුල වංශික, පිරිසක් පැවිදි ව සිටිති. ඔවුනගේ ලේ පිරිසුදු ය. කියා සොරමුල පෙරටු කොට ස්වාමීන් වහන්සේ වසන තැනට මේ දුර්ජනයා පැමිණියේ ය.

එහෙත් එහි කිසිවකු නොදුටු සොර නායකයා කෝ බොල උන්නාන්සේලා? යි උපාසකගෙන් ඇසූහ. ඒ අනුව ගෙඩිය ගසා තිස්එක්නම රැස්වූ විට, ප්‍රධාන තෙරුන් වහන්සේ ගෙඩිය ගැසූයේ කවුරුන්දැයි ඇසූහ. සොර නායකයා ඉදිරිපත් ව සියලු තතු කියූ පසු වැඩිමහල් ප්‍රධානියාගේ යුතුකම තම සහෝදර බාල පිරිස බේරා ගැනීම ය. එනිසා මම මොවුන් සමඟ යන්නෙමි ය. ඔබලා සියලු දෙන අප්‍රමාදයෙන් යුතු ව පැමිණි කාරණය සපල කර ගන්න යැයි ඉල්ලමින් සොරු සමඟ යාමට ඉදිරිපත් වූහ.

එවිට සියල්ලෝ පිළිවෙළින් ඉදිරියට පැමිණ මම යමි. මම යමි, ආදී වශයෙන් බාල සොහොයුරු දක්වා ඉදිරිපත් වූහ. මේ සියල්ලෝ එක මවකගේ එක පියකුගේ දරුවන් නො වූහ. වීතරාගීහු ද නොවෙති. එහෙත් හැම දෙනා ම සෙසු පිරිස වෙනුවෙන් දිවි දෙන්නට තරම් ගුණවත් වූවෝ වූහ.