Print this Article


වැරදුන තැන් නිවැරැදි කර නව වසරට පිය නඟන්න

වැරදුන තැන් නිවැරැදි කර නව වසරට පිය නඟන්න

කාලය ගෙවී යන්නේ හීයක වේගයෙනි. වසරක් ගෙවී ගොස් තවත් වසරක් ආවා යනු මිනිසාගේ ආයු කාලය වසරකින් අඩුවීමකි. ආයු කාලය අඩු වූවා යනු මරණයට සමීප වීමකි.

ජීවිතය පිළිබඳ ව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ද එය ම වන්නේ ය. සං. නිකාය අච්චෙන්ති සූත්‍රයේ දී බුදු හිමියෝ මෙසේ දේශනා කරති.

“අච්චෙන්ති කාලා හරයන්ති රත්තියෝ

වයෝ ගුණා අනුපුබ්බං ජහන්ති”

දිවා රාත්‍රී ගෙවී යයි. මිනිසාගේ ආයු කාලය ද එසේ ගෙවී යයි. එබැවින් ඉක්මනින් එළඹෙන මරණය ගැන සිතා කුසල් දහම්හි යෙදෙන්න.

කුසලයෙහි යෙදීම වසරකට පමණක් සීමා වූවක් නොවිය යුතු ය. එය ජීවිත කාලයට ම ය. පින් කුසල් ජීවිතයට අත්‍යවශ්‍ය ශක්තියකි.

සැප බලාපොරොත්තු වන අය පින් කුසල් තම ජීවිතයට සමීප කර ගත යුතු ය. සැප යනු පින් කුසල්වලට ව්‍යවහාර කරන යෙදුමක් බැවිනි.

‘සුඛස්ස පුඤ්ඤස්ස අධිවචනං’

යනු එහි බුදු වදනයි.

ප්‍රාර්ථනාවක් සිදු කළ පමණින් එම ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ම ඉටු වේ ද? නැත. අධිෂ්ඨානය, උත්සාහය සහිත මනා වැඩපිළිවෙළක් ඊට අවශ්‍යය. බෝධිසත්ව ආදර්ශය තුළින් එය මනාව තහවුරු වේ.

ලොව්තුරා බුද්ධත්වයට පත් වූ බුදුරජාණන් වහන්සේ ඊට බොහෝ කාලයකට පෙර ප්‍රාර්ථනාවක් කළහ.

‘බුද්ධෝහං බෝධයිස්සාමි’

“මම බුදු බව අවබෝධ කරමි. බුදු බව ලබා ලෝකයාට ඒ අවබෝධය ලබා දෙමි.”

උන්වහන්සේ ප්‍රාර්ථනාවෙන් පමණක් නැවතුණේ නැත. බෝසත්තුමා සසර ඉතා දීර්ඝ කාලයක් පාරමිතා ධර්ම ඇතුළු ව බුද්ධ කාරක ධර්මයන් සම්පූර්ණ කොට බුද්ධත්වයට පත් වූහ. බෝසත්තුමාට තමන් වහන්සේගේ ප්‍රාර්ථනාව ඉටු කර ගැනීම සඳහා අධිෂ්ඨානය, දැඩි කැපවීම, උත්සාහය යනාදී ගුණාංග සපුරා ගන්නට සිදු විය. එහි අවසාන ප්‍රතිඵලය බුද්ධත්වය යි.

සෑම සත්ත්වයකු ම සතුටින් ජීවත්වීමට කැමැති ය. ජීවිතය සැපවත් කර ගැනීමට ප්‍රාර්ථනාව පමණක් ප්‍රමාණවත් නොවන බව පැහැදිලි ය. ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. එම ක්‍රියාපිළිවෙත සාක්ෂාත් කර ගැනීම සඳහා දැඩි අධිෂ්ඨානය ද, දැඩි කැපවීම ද කාලය සහ තම කාර්යයන් කළමනාකරණය කර ගැනීම ද අවශ්‍ය වේ.

ජීවිතයක සාර්ථකත්වය සඳහා මඟ පෙන්වන වටිනා කරුණු කිහිපයක් බුදුරජාණන් වහන්සේ අං.නිකාය චතුක්ක නිපාතයේ ප්‍රධාන සූත්‍රයේ දී දේශනා කළහ. ජීවිතය පිරිහීමට ලක් කරන නරක, අයහපත් පුරුදු එනම්, අකුසල් අත්හරින්න. (අකුසලානං ධම්මානං පහානාය) එවැනි අයහපත් පුරුදු, ඇබ්බැහි කිසි දිනක තම ජීවිතයට ළං කර නොගන්න.

ජීවිතය සුවපත් කරන යහපත් පුරුදු එනම් කුසල් ජීවිතයට ළඟා කර ගන්න. (කුසලානං ධම්මානං උප්පාදාය)

එවන් යහපුරුදු ජීවිතය තුළ තව තවත් වඩා වර්ධනය කර ගන්න.

ලෞකික මෙන් ම ලෝකෝත්තර අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන සෑම අයකු විසින් ම සදාචාරාත්මක, ගුණගරුක ජීවිතයක් ගොඩනඟා ගත යුතු වේ. ජීවිත තුළින් සතුට ඈත්වන කරුණු මොනවා ද යන්න පළමු ව සිතා බැලිය යුතු ය. ගෙවී ගිය කාලය තුළ තමා මෙතෙක් අනුගමනය කළ වැරැදි ක්‍රියාමාර්ග තම දියුණුව සඳහා බලපෑ ආකාරය බුද්ධිමත් ව සහ අවංක ව විමසා බැලිය යුතු ය. වැරැදි අඩුපාඩු සිදුවීම මිනිස් ජීවිතයක සාමාන්‍ය දෙයකි. ඒවා සකස් කර ගත්විට ජීවිතය වෙනස් කර ගත හැකි ය. වලාකුළින් මිදුණූ සඳ බබළනවා මෙනි.

මෙහිදී අංගුලිමාල චරිතය අපට මේ බව මනාව පැහැදිලි කර දෙයි.

උත්සාහයෙන් උපයන තම ධනය ආරක්ෂා කර ගෙන, අය වැය සම ව පවත්වා ගනිමින් තම යුතුකම් ද ඉටු කළ යුතු බව දහමේ දැක්වේ. අනවශ්‍ය වියදම් සහ තම අසීමිත ආශාවන් තෘප්තිමත් කර ගැනීම සඳහා කරන වියහියදම්, දරන උත්සාහයන් තුළින් ජීවිතය අඳුරට ඇදී යන බව බුද්ධ දේශනාවයි. ජීවිත ඇවතුම් පැවතුම් සරල සහ චාම් විය යුතු අතර, අපේක්ෂාවන් ද ජීවිතයට දරාගත හැකි විය යුතු බව කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වේ.

ජීවිත ව්‍යසනයට පත් කරන සුරාව, සූදුව, දුරාචාරය සපුරා දුරු කළ යුතු අතර, පව්කාර මිතුරන් දැන හැඳින ඔවුන්ගෙන් දුරස් ව යහපත් කල්‍යාණ මිතුරන් ළං කර ගැනීම යහපත් ජීවිතයක් ගොඩනඟා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ. අපේ ප්‍රාර්ථනාව විය යුත්තේ ද එයයි.

‘මා මේ බාල සමාගමො
සතං සමාගමො හෝතු”

“සසර වසන තුරු බාල ආශ්‍රයක් නොවේවා. සත්පුරුෂ ඇසුරක් මට ලැබේවා යන පැතුමයි.”

මෙම සියලු ප්‍රාර්ථනාවන් ඉටුවී ලැබුවා වූ නව වසර සාමය, සතුට, සපිරි සෞභාග්‍යවත් වසරක් බවට පත් කර ගැනීම සඳහා සෑම දෙනා තුළ ම දැඩි අධිෂ්ඨානය, කැපවීම සහ මනා කළමනාකරණය මෙන් ම සදාචාරාත්මක ජීවිත ඇවතුම් පැවතුම් සකස් විය යුතු ය.

අකුසල් බැහැර කොට කුසල් වර්ධනය කර ගෙන සිත, කය, වචන යන තුන් දොර ම යහපතෙහි යෙදිය යුතු ය.