අනුන්ගේ වචනයට සසල නොවන සිත
ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
වචනය වූ කලි සත්වයකුගේ සිත සසල කිරීමට මෙන් ම නිසල කිරීමට ද මහත් වූ සමත්කමක්
දක්වන්නකි. වචනය විවිධාකාර අර්ථ එක් කරමින් අපගේ ජීවිතයට සම්බන්ධ වී තිබේ. අප අන්
අය හා අපගේ අදහස් හුවමාරු කර ගැනීමට වචන භාවිත කරනවා සේ ම, අන් අය ද අප සමඟ ඔවුන්ගේ
අදහස් හුවමාරු කර ගැනීමට වචන භාවිත කරයි.
සත්වයන් අතුරින් මනු සත්වයාට ස්වභාව ධර්මයෙන් ලැබුණු අපූර්වතම දායාදයක් ලෙස ද අපට
වචනය අර්ථ ගැන්විය හැකි යැයි බොහෝ දෙනකුට සිතිය හැකි ය.
එනමුදු එම වදන් බොහොමයකින් වන්නේ අපගේ සිත සසල කිරීමක් ම නොවේ ද? මොහොතක්
සිතන්න.... දිනකට අන් අයගේ වචනවලින් ඔබේ සිත කී වතාවක් නම් සසල වනවා ද? එසේ ම ඔබ
අන් අයගේ සිත් ඔබේ ම වචනයෙන් දිනකට කී වතාවක් සසල කරනවා ද?
තවත් අයකුගේ සිතක් වචනය භාවිත කොට, නිවා සනසා, කුසල රැස් කිරීමට ඇති අනර්ඝතම
අවස්ථාව මඟ හැර දිනක් තුළ දී අප කී දෙනකුගේ සිත්, කී වාරයක් නම් දවා අළු කර දමා
අකුසල රැස් කිරීමට සමත් වී ද?
එක් වදනක් භාවිත කොට සිදු කළ හැකි කුසල කර්ම දිනකට ඔබට කොපමණ නම් මුණගැසෙනවා ද?
එහෙත් වචන මඟින්, වචනයේ ඇති අසංවරකම මඟින් දිනකට කොපමණ නම් අකුසල කර්ම රැස් කරන්නේ
ද?
එසේ ම අප අන් අයගේ වචන නිසා දිනකට මොනතරම් වාර ගණනක් අපගේ සිත් සසල කර ගන්නවා ද?
අපගේ භාග්‍යවත් වූ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ අපට වචන අසන්නට ලැබිය හැකි
ක්‍රම පහක් පිළිබඳ ව දේශනා කොට වදාළා.
එනම්, සුදුසු කාලයේ දී හා අකලට අසන්න ලැබෙන වචන, සත්‍යය හා අසත්‍ය වචන, මොළොක් හා
නපුරු වචන, යහපත ඇති කරවන හා අයහපත ඇති කරවන වචන මෛත්‍රී සිතින් හා ද්වේෂ සිතින්
කියනු ලබන වචන යනුවෙනි.
මේ කවර ආකාරයක වචන අසන්නට ලැබුණ ද අපගේ සිත් සසල කර ගත යුතු නොවේ. මෙවැනි වචන ඇසීම
මට ද, ඔබට ද දුලබ දෙයක් නම් නො වන බව නොරහසකි. අපගේ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන්
වහන්සේට ද පි‍්‍රය වචන මෙන් ම, අපි‍්‍රය වචන ද අසන්නට ලැබුණු බව අපි කවුරුත් දනිමු.
නමුදු ඒ උතුම්, උත්තරීතර බුදු සිත කෙදිනකදීවත් සැලුනේ නම් නැත. මේ උතුම් ගෞතම බුදු
සසුනේ පිහිට ලබන අප ද නො සැලෙන සිත් ඇති කර ගත යුතු ම වේ. එය අපට මෙන් ම සියලු ම
සත්වයන්ගේ හිත සුව පිණිස ම පවතී.
අපගේ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ ද වැඩුණු සිත බොහෝ සෙයින් අගය කොට ඇත.
වැඩුණු සිතක ඇති ලාභ, ප්‍රයෝජන ගැන ද, වැඩුණු සිතක් ඇති පුද්ගලයා කවර ආකාරයක
පුද්ගලයකු ද යන වග ද අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට ඇත.
වැඩුණු සිතක් ඇති පුද්ගලයා මේ මහා පොළොව වැනි ය. කිසිවකුටවත්, මොන ම ක්‍රමයකින්වත්
මහ පොළොව, මහ පොළොවක් නොකරන්නට බැහැ වගේ පෙර කියූ පස් ආකාරයේ වචන කොතරම් අසන්නට
ලැබුණත් ඔහුගේ සිත සසල වෙන්නේ නැහැ.
මේ වචන අහන පුද්ගලයා තුළ කිසිදු වෙනසක් සිදු නො වේ නම් ඔහු ආකාසය වගෙයි.
කිසිවකුටවත් ආකාසයේ සිතුවම් අඳින්න බැහැ වගේ පෙර කියූ පස් ආකාරයේ වචන කොතරම් අසන්නට
ලැබුණත් ඔහුගේ සිත සසල වෙන්නේ නැහැ.
මේ වචනවලින් සිත වෙනස් නො වේ නම් ඔහුගේ සිත ගංගාවක් වගේ. ඇවිළෙන හුළු අත්තකින් කිසි
දිනෙක ගංගාවක ජලය රත් කරන්නට බැහැ වගේ පෙර කියු පස් ආකාරයේ වචන කොතරම් අසන්නට
ලැබුණත් ඔහුගේ සිත සසල වෙන්නේ නැහැ.
හොරුන් පිරිසක් ඇවිත් කියතකින් තමන් ව කෑලි කෑලිවලට කපද්දී පවා අපේ සිත වෙනස් නො වී
තියේ නම් අන්න ඒ කෙනා තමයි බුද්ධ ශාසනයට අයිති. එහෙම නැති කෙනා බුද්ධ ශාසනයට අයිති
කෙනෙක් නොවේ.
මේ උපමා කරුණු පවා නිතර නිතර සිහිපත් කිරීම ද කුසල් දහම් වැඩෙන කරුණක් නිසාවෙන් මෙම
කරුණු නිතර නිතර සිහි කරමින් නො සැලෙන සිත් ඇති කර ගැනීමට අදිටන් කර ගනිමු.
එසේ ම, අප අසන වචන මෙන් ම, අප අනෙකුත් සත්වයන් උදෙසා කියන වචනයෙන් ද හික්මීම,
සංවරකම ඇති කර ගෙන, සේඛ බල ඇති කරගත් පිරිසක් සේ ගෞතම බුදු සසුනේ පිහිට ලබමු. |