Print this Article


දස පාරමිතා

දස පාරමිතා

බෝධිසත්වයන් වහන්සේ සෑම දෙයක් පිළිබඳව ම මධ්‍යස්ථ ස්වභාවයකින් යුක්තව, මැදහත් භාවයකින් යුක්ත ව කටයුතු කර ඇති බව ජාතක පාලියේ මනාව විස්තර කෙරේ.

බෝධිසත්වයන් වහන්සේ දස පාරමිතා, දස උප පාරමිතා, දස පරමත්ථ පාරමිතා සම්පූර්ණ කළ සේක.

බුදුරජාණන් වහන්සේ නමකගෙන් නියත විවරණ ලබා ගත්තාට පසුව බෝධිසත්වයන් වහන්සේ නමක් සම්බුදු බව ලැබෙන තුරු ම ගොලුවකු, බිහිරකු, ඇස් අන්ධ වූවකු ලෙස හෝ උප්පත්තිය ලබන්නේ නැත. එමෙන් ම ප්‍රේත, අසුර ලෝකවල ඉපදෙන්නේ ද නැත.

පාරමිතා යනු පුහුණුවයි. පළපුරුද්දයි. එනම්, නිවන් අවබෝධය පිණිස කරනු ලබන පුහුණුවයි.

බුදු, පසේ බුදු, මහරහත් යන තුන්තරා බෝධියට පත්වීම සඳහා “පාරමිතා“ සම්පූර්ණ කළ යුතු ය. පාරමිතා යනු නො කෙලෙසුන කරුණා, ප්‍රඥා ගුණ පාදක කොට ගත් දාන, සීල ආදී කුසල ධර්මය යි. නැති නම් බෝධිසත්වයන් වහන්සේ නමක විසින් සපුරාලිය යුතු ගුණධර්මයි. මෙම ගුණධර්ම ප්‍රගුණ කිරීම තුළ ඕනෑම කෙනකුට බුදු, පසේ බුදු, මහරහත් තත්වයට පත්විය හැකි ය.

බුද්ධ කාරක ධර්ම නම් දස පාරමිතා ය. මෙහි දී සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා දස පාරමිතා, දස උප පාරමිතා, දස පරමත්ථ පාරමිතා සම්පූර්ණ කළ යුතු ය. පසේ බුදුවරයකු වීම සඳහා දස පාරමිතා, දස උප පාරමිතා සම්පූර්ණ කළ යුතු ය. මහරහතන් වහන්සේ නමක් වීම සඳහා දස පාරමිතා සම්පූර්ණ කළ යුතු ය.

බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරාවට ම පාරමිතා සම්පූර්ණ කළ අතර දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් සුමේධ තාපසතුමා නියත විවරණ ලබාගත් අවස්ථාව සඳහන් වනුයේ මෙසේ ය.

“ දිවකුරු බුදු හිමියන්ගේ නියත විවරණය ද, දස දහසක් දෙවිවරුන්ගේ ප්‍රීති ඝෝෂාව ද ලැබේ. නියත වශයෙන් ම බුදුවරුන්ගේ වචනය ඒකාන්ත ය. ස්ථිර ය. මම ඒකාන්තයෙන් ම බුද්ධත්වයට පත්වන්නෙමි. ඒ කෙසේද යත්, අහස දෙසට විසිකරන ලද ගල්කැටයක් නැවත පහළට වැටෙන්නේ යම් සේ ද, ඉපදුණා වූ සෑම මනුෂ්‍යයකුට ම මරණය ඒකාන්ත වන්නා සේ ම, යම් සේ රාත්‍රිය ගෙවී යන කල්හි පසු දින හිරු නැගෙනවා සේ ම, ගැබ් ගත් මවක් දරුවා ඒකාන්තයෙන් ප්‍රසූත කරනවා මෙන් ම, ඒකාන්තයෙන් ම මම බුද්ධත්වයට පත්වීම ඒකාන්තය යනුවෙනි“.

මෙලෙස අප මහා බෝධි සත්වයන් වහන්සේ පුරන ලද පාරමිතා නම් දානය, සීලය, නෛස්ක්‍රම්‍ය, ප්‍රඥා, වීර්යය, ඛන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රිය හා උපේක්ෂා ය.

දාන පාරමිතාව - නම් පරිත්‍යාගය යි. ප්‍රදානය යි. තමා සන්තක දෙයක් අන් අයට ලබා දීමයි.

බෝසතාණන් වහන්සේ විසින් දාන පාරමිතාව, දාන උප පාරමිතාව, දාන පරමත්ථ පාරමිතාව ආදී වශයෙන් සම්පූර්ණ කරන ලදී. දාන පාරමිතාව යනු තමන් සන්තක දෑ පරිත්‍යාග කිරීමයි.

බෝධිසත්වයන් වහන්සේ විසින් පාරමී පුරන සමයේ දී තමන් වහන්සේ සන්තක ගේ - දොර, ඉඩකඩම්, යාන-වාහන, ආහාරපාන ආදිය පමණක් නොව තමන් වහන්සේ සතු ඇස්, ඉස්, මස්, ලේ දන් දුන්හ. එමෙන් ම තමන් වහන්සේගේ දුවා - දරුවන් පමණක් නොව බිරිඳ ද දන් දුන් බව වෙස්සන්තර ජාතකයේ සඳහන් වේ. එමෙන් ම උන්වහන්සේගේ ඒකායන පරමාර්ථය වූ බුද්ධත්වය සඳහා තමන් වහන්සේගේ ජීවිතය ද දන් දුන්හ.

සීල පාරමිතාව - සීල පාරමිතාව, සීල උප පාරමිතාව, සීල පරමත්ථ පාරමිතාව යනුවෙන් සීල පාරමිතාව ත්‍රිවිධ වේ. දිවිපැවැත්ම උදෙසා පස් පව්, දස අකුසල් මූලික ව තමා සමාදන් වී සිටින සීලය ආරක්ෂා කර ගැනීම සීල පාරමිතාව නම් වේ. උදාහරණයක් ලෙස මෙලොව ජීවිතයේ සිදුකරන කටයුතුවල දී තමාගේ හා තම අඹු - දරුවන්ගේ ජීවිත රැක ගැනීම උදෙසා හෝ මදුරුවන්, විසකුරු සර්පයන්, මීයන් වැනි සතුන් මැරීම වැනි පාපකර්ම පවා සිදු නොකිරීම සීල පාරමිතාවයි. තමාගේ ශරීර අවයව විනාශ වී ගියේ ද සීලය ම ආරක්ෂා කිරීම සීල උප පාරමිතා නම් වේ.

බෝසතාණන් වහන්සේ සීලය සමාදන් ව සිටින අවස්ථාවක වනගත සතුන් ශරීර අවයවයන්හි අනුභව කරද්දී පවා තමන් වහන්සේගේ සීල ප්‍රතිපදාව ආරක්ෂා කළ බව සඳහන් වේ.

සීලය රැක ගැනීම සඳහා තම ජීවිතය පරිත්‍යාග කිරීම සීල පරමත්ථ පාරමිතාවයි.

නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව යනු කාමයන්ගේ ආදීනව දැක එයින් නිදහස් වීම සඳහා කටයුතු කිරීමයි. එනම්, ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉඳුරන්ගෙන් කාමය ආශ්වාද නො කොට බුද්ධත්වය සඳහා ම පාරමිතා දහම් සම්පූර්ණ කිරීමයි.

ප්‍රඥා පාරමිතාව යනු, අවබෝධය පිණිස කටයුතු කිරීමයි. උම්මග්ග ජාතකයේ බෝසතුන්ගේ ප්‍රඥා අවබෝධය පිළිබඳ මනාව පැහැදිලි ය.

වීර්ය පාරමිතාව - යනු අටලෝ දහමට නොසැලී සම සිතින් මුහුණදීමයි.

බෝසතාණන් වහන්සේ වීර්ය පාරමිතාව සම්පූර්ණ කළ බව වණ්ණුපථ ජාතකය වැනි ජාතක කතා තුළින් පැහැදිලි වේ.

ඛන්ති පාරමිතාව යනු වෙනස් නොවීමයි. එනම් බෝධිසත්වයන් වහන්සේ නමක් කිසිම ලෙසකින් තමන්ට ලද දුක්පීඩා ආදීන් නිසා තම අරමුණ වෙනස් නො කළහ.

සත්‍ය පාරමිතාව නම් සත්‍යවාදී වීමයි.

අධිෂ්ඨාන පාරමිතාව නම් කළ යුතු දෙයක් කරමි කියා ද, නො කළ යුතු දෙයක් නො කරමි කියා ද, මතු වෙනස් නො කරන ලෙස සිතීමයි.

මෛත්‍රී පාරමිතාව යනු ජාති, ආගම්, කුල භේදයකින් තොරව සියලු සත්වයන්ට ම සමාන ව පවතින මෛත්‍රිය යි.

උපේක්ෂා නම් නො මනා වස්තූන්ට හා පුද්ගලයන්ට විරුද්ධ නොවීම් වශයෙන් ද ඇලුම් කළ යුතු වස්තූන්ට හා පුද්ගලයන්ට ඇලුම් නො කිරීම් වශයෙන් ද පවතින මධ්‍යස්ථ බවයි.