Print this Article


බෞද්ධ බලය සංඝ බලයයි

බෞද්ධ බලය සංඝ බලයයි

බුදුරජාණන් වහන්සේ තනිව සලකන විට “පුද්ගලයකු” බවත් “සංඝ” සමාජය ගන්නා විට ඊට වඩා විස්තෘත පොදු ආයතනයක් බවත් බුදුරජාණන් වහන්සේම දක්ඛිණා විභංග සූත්‍රයේ වදාරා ඇත.

මහා ප්‍රජාපතී ගෝතමිය බුදුරජාණන් වහන්සේට පුද්ගලික ව පිදූ, තමන් අතින් ම වියාගෙන ආ නව වස්ත්‍රය වැඩි ආනිසංස සලකා සංඝයාට පුදන ලෙස බුදුරජාණන් වහන්සේ වදාළහ. එය පෞද්ගලික ව පිළිගන්නා ලෙස නොයෙක් කරුණු ඉදිරිපත් කරමින් අනඳ තෙරුන් ඇවිටිලි කරද්දී බුදුන් වදාළේ “නතේවාවාහං ආනන්ද කෙනවි පරියායෙන සංඝගතාය දක්ඛිණා පාටිපුග්ගලිකං දානං මහප්ඵලතරං වදාමි”

අනඳ කිසිම ක්‍රමයකින් පෞද්ගලික ව දීම සාංඝික ව දෙන දීමක් තරම් වැඩි අනිසංසදායක නොවන බව කියමි යි සාංඝිකව සංඝයාට දුන්විට බුදුරදුන්ටත් දුන්නා යනුවෙන් වැඩිදුරටත් උන්වහන්සේ වදාළහ.

සංඝරත්නයේ චිරස්ථිතිය හා පහසු විහරණයත්, මනා පාලනයත් සඳහා විශේෂ ධර්ම කොට්ඨාසයක් “විනය” නමින් දෙසූ බුදුරජාණන් වහන්සේ “සමණුද්දෙස සමණ - උද්දෙස- මහණකමේ ආරම්භක) යන නමින් සාමණේර කොටස ඇති කළහ. සාමණේරයෝ ද සංඝරත්නයට ඇතුළත්ය. ඊට පිළිපන් හෙයිනි. (අභෙදොපචාර වශයෙනි) “සඟින් ඉල්ලා” දානයක් දීමේ දී සාමණේර නමක් යවා එය පිළිගත්තත් සංඝික වන බව ධර්මයේ සඳහන් ය. සිල්වත් උපාසකයකු යැවීමෙන් එසේ නොවේ. එහෙයින් සාමණේරයන් වහන්සේලාට ද සංඝ රත්නයෙහි තැනක් දී ඇති බව දහම අනුව සැලකිය යුත්තේ ය.

බුද්ධ ශාසනයෙහි සිව්වනක් පිරිස අතර “භික්ෂුව“ ප්‍රධාන ය. පුද්ගලික ව වුව ද, භික්ෂුවට කවර හෝ ගිහියකුට වඩා එක්තරා බලයක් තිබෙන බව ප්‍රත්‍යක්ෂ ය. “සංඝ” වශයෙන් එන විට එහි බලය සීමාතික්‍රාන්ත ය.

සංඝාඥාවට සියලුම භික්ෂුහු පෞද්ගලික ව යටත් ය. මහමෙවුනා උයනෙහි සංඝ උපෝසථාගාරය කැප කරද්දී, සංඝගත කරද්දී මහපොළොව කම්පා වූ බව ඉතිහාසගත ය. සංඝභේදය කිරීම භික්ෂුවට පංචානන්තරීය කර්මයෙන් එකකි.

සංඝරත්නය ඉදිරියේ රජවරු නිෂ්ප්‍රභය. රජවරු පවා මහජන ප්‍රසාදය දිනීමට සංඝයාගේ පිහිට පැතුවා පමණක් නොව යුද්ධ සඳහා යාමේ දී සංඝයා ඉදිරිපත් කර ගෙන ගියහ. බෞද්ධ රජවරුන්ගේ යුද්ධ නැවැත්වීමට පමණක් නොව දිනාගත් රටවල් ආපසු දීමට ද සංඝ වචනය ප්‍රබල විය.

එහෙයින් බෞද්ධ බලය යනු සංඝ බලය බව ඉතිහාසගත සිද්ධාන්තයයි. සැදැහැවත් ගිහි බෞද්ධයා සංඝ බලය පිළිගනී.

බෞද්ධයා සංඝයා කෙරෙහි පිළිපැදිය යුතු හැටි නැණවත්, ගුණවත් බෞද්ධයා පව් සිදුකර ගැනීමට කැමති නැත. අපි ඒ බව නොදැන කළැයි කියා පාපයෙන් බේරීමක් නොවේ. නොදැනීම නිසා පවේ බරපතළකම ද වැඩි ය. එම නිසා තමන්ගේ රත්නත්‍රයෙන් එකක් වූ සංඝරත්නය කෙරෙහි පිළිපැදිය යුතු හැටි බෞද්ධයා විසින් මනා ලෙස දත යුත්තේ ය. එහිලා ධර්මානුකූල ව කරුණු ඉගැන්වීම භික්ෂුවට අයත් යුතුකමකි. එය තම වාසියට හෝ වැරැදි වසාගෙන අනුන් රැවටීමට තරම් කූට උපක්‍රමයක් සේ නොවිය යුතු ය. ආගමික පූජක ආයතනවලට දොස් කීම ලෝකයේ අපූර්ව දෙයක් නොවේ.

පොදුවේ දොස් කීම බරපතළ වරදක්, පාපයක්. “බුදුන් අසර්වඥය” “ධර්මය බොරුයැයි” යමෙකු කියතොත් බෞදධයා ඔහුට කිපෙන්නේ ය. ඒ ගැන කම්පා වන්නේ ය. “සංඝයා දුස්සීලයි” කියනවා ඇසෙන විට ඒ තරමට ම බෞද්ධ සිත කම්පා වෙනවා දැයි නොදනිමු. එහෙත් දහම් දත් සැදැහැවත් බෞද්ධයාට නම් එසේ වනු නිසැක ය. ඊට හේතුව “සංඝ” හා “භික්ෂු” යන වචන දෙකේ වෙනස ඔහු දන්නා බැවිනි. “සංඝයා වහන්සේ වැරැදි කරතියි’ යනු ය. එසේම අබෞද්ධ වචනයකි. එහෙත් වැරැදි කරන භික්ෂුවක් හෝ කිහිපනමක් දැක ‘ඇතැම් භික්ෂූන් වහන්සේ වැරැදි කරත්’ යයි කීම අබෞද්ධ වචනයක් නොවිය හැකි ය. ඒ එදා මෙන් අද ද භික්ෂූන් අතින් වැරැදි සිදුවන බැවිනි. බෞද්ධයාට “සංඝරත්නය” මිස “භික්ෂුරත්නයක්” නැත. “හාමුදුරුවෝ” ස්වාමීන්වහන්සේ” යන වචනද පෞද්ගලික වචනයි.

වචනයේ අර්ථය ඉතා බලසම්පන්න එකකි. එය වරදවා නොවෙසෙසා, පාවිච්චි කිරීම බරපතළ පාපයකි. බෞද්ධ වචන ව්‍යවහාර කිරීමේ දී පව් නොසිදුවන ලෙසට පාවිච්චි කරන හැටි ඉගෙනීම බෞද්ධයාගේ යුතුකමකි. “කරන්ට්” වද්දා නොගෙන විදුලි බලය පාවිච්චි කරන්නාක් මෙන් මේ බුද්ධ වචන ව්‍යවහාරය සිදුකළ යුතු ය.

දොස් දැකීමේ දී බැහැර කළ යුත්තේ “සංඝ” යන වචනය මිස “භික්ෂු” යන වචනය නොවේ. රත්නත්‍රය කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවක් පිහිටුවිය හැක්කේ “සංඝරත්නය” පිළිබඳව හරි අවබෝධය ඇති වූ විටය. තමන් සරණ යන සංඝරත්නය නම් “අට්ඨපුරිසපුග්ගල සාවක සංඝ” බව බෞද්ධයා විසින් මනාව වටහාගත යුතු ය. පෘථග්ජන භික්ෂුව සංඝරත්නයට ඇතුළත් බව සැබෑ නමුත් තමන්ගේ ඒකාන්ත ඇදහීම සරණාගමනය ආර්යයන් බව සැලකිය යුත්තේය. එවිට පුහුදුන් භික්ෂුව කෙරෙහි අනුකම්පාව මිස ක්‍රෝධයක් සැදැහැවතාට හට නොගන්නේය.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.