ක්‍රෝධයේ විපාක දැක පැවිදි වූ අක්කෝසක භාරද්වාජ බ්‍රාහ්මණයා
ඒ දිනවල අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර කලන්දකනිවාප නම් වේළුවනයේ.
එහිදී භාරද්වාජ වංශික බ්‍රාහ්මණයෙක් ගිහි ගෙදරින් නික්ම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙත
පැවිදි වූ බව අක්කෝසක භාරද්වාජ බ්‍රාහ්මණයාට අසන්නට ලැබුණා.
ඔහු ඒ ගැන කිපුණා. අසතුටු වුණා. භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් භාග්‍යවතුන් වහන්සේට
අසභ්‍ය වචනයෙන්, පරුෂ වචනයෙන් ආක්‍රෝශ කරන්නට පටන් ගත්තා. පරිභව කරන්නට පටන් ගත්තා.
එසේ දොස් නඟනවිට අක්කෝසක භාරද්වාජ බමුණාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.
“පින්වත් බ්‍රාහ්මණය, ඔබ මේ ගැන මොකක්ද හිතන්නේ? ඔබ නිවෙසට යාළු මිත්‍රයන්, ලේ
ඥාතීන්, ආගන්තුකයෝ එනවා ද?”
“භවත් ගෞතමයන් වහන්ස, ඔව් මගේ නිවසට එවන්නෝ එනවා.”
“බ්‍රාහ්මණය, ඔබ මේ ගැන මොකක්ද හිතන්නේ? ඉතින් ඔවුන්ට, අනුභව කරන දේ හරි, රස විඳින
දේවලින් හරි සංග්‍රහ කරනවා නේද?”
“භවත් ගෞතමයෙනි, ඔව්. මම ඔවුනට ඇතැම් දිනවල බොන දේ, අනුභව කරන දේ, රස විඳින දේවලින්
හරි සංග්‍රහ කරනවා තමා.’
‘පින්වත් බ්‍රාහ්මණය, ඔවුන් ඔබේ සංග්‍රහය නොපිළිගත්තොත් ඒවා අයිති වන්නේ කාටද?’
‘ ඔවුන් ඒවා පිළිගන්නේ නැති නම් ඒවා ඉතින් අපට නෙව‘
‘පින්වත් බ්‍රාහ්මණය, අන්න ඒවගේ තමයි. කාටවත් ආක්‍රෝශ නො කරන අපට ආක්‍රෝශ කරනවා. කා
සමඟත් නොකිපෙන අප සමඟ කිපෙනවා. කා සමඟත් රණ්ඩුවට නොයන අප සමඟ රණ්ඩුවට එනවා. නමුත්
ඒවා අපි පිළි ගන්නේ නැහැ. පින්වත් බ්‍රාහ්මණය, ඒවා අයිති වන්නේ ඔබටමයි.
‘පින්වත් ගෞතමයන් වහන්ස, රජුන් ඇතුළු ජනතාව මේ ආකාරයටයි දන්නේ. “ශ්‍රමණ ගෞතමයන්
වහන්සේ රහතන් වහන්සේ නමක්” කියලා. ඒ වුණාට භවත් ගෞතමයන් වහන්සේටත් කේන්ති යනවා
නෙව.”
‘බ්‍රාහ්මණය, දමනය වුණ කෙනකුට, යහපත් ජීවිතයක් ඇති කෙනකුට අවබෝධයෙන් යුක්තව දුකෙන්
නිදහස් වූ කෙනකුට, උපශාන්ත කෙනකුට, අකම්පිත සිත් ඇති කෙනකුට ක්‍රෝධයක් කොයින්ද?’
‘යම් කෙනෙක් තමන් ගැන කිපුණ කෙනාට පෙරළා කිපුණොත් ඒකෙන් හානි සිදුවන්නේ තමන්ට ම යි.
නමුත් තමන් ගැන කිපෙන කෙනා දැක කිපෙන්නේ නැති නම් ඔහු තමා ජය ගන්නට දුෂ්කර වූ
යුද්ධය දිනුවා වෙනවා.’
අනෙක් කෙනාට කේන්ති ගිය බව දැනගත් කෙනා සිහියෙන් යුක්තව ඉවසුවොත් ඔහු තමා තමාටත්,
අනුන්ටත් යන දෙපාර්ශ්වයට ම යහපත හදන්නේ. තමන්ටත්, අනුන්ටත් දෙපැත්තට ම යහපත සිදු
කරන කෙනා දැකලා ධර්මයට අදක්ෂ, අඥාන උදවිය හිතන්නේ ඔහු මෝඩයි කියලා.
මෙසේ වදාළ විට අක්කෝසක භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ වදාළා.
“පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි. පින්වත් ගෞතමයන් වහන්ස යටිකුරු වූ දෙයක් උඩ
අතට හැරෙව්වා වාගේයි. වහලා තිබූ දෙයක් ඇරලා පෙන්නුවා වගෙයි. මං මුළා වූ කෙනකුට මඟ
පෙන්වූවා වගේ. ඇස් ඇති කෙනකුට මඟ පෙන්වූවා වගේ. ඇස් ඇති උදවියට රූප දකින්නට අඳුරේ
තෙල් පහනක් දැල්වූවා වගේ. පින්වත් ගෞතමයන් වහන්ස, මේ විදිහට නොයෙක් ආකාරයෙන් ධර්මය
දේශනා කොට වදාළ ඔබ වහන්සේ මම සරණ යනවා. ශ්‍රී සද්ධර්මය සරණ යනවා. භික්ෂු සංඝයාත්
සරණ යනවා. පින්වත් ගෞතමයන් වහන්සේ ළඟ මටත් පැවිදි බව ලැබෙනවා නම්, උපසම්පදාව
ලැබෙනවා නම් කොතරම් දෙයක් ද?"
එසේ කී අක්කෝසක භාරද්වාර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදි වුණා.
උපසම්පදාවත් ලැබුවා.
ඒ අක්කෝසක භාරද්වාජයන් වහන්සේ උපසම්පදාවෙන් ටික කලකට පසුව හුදකලා වුණා. අප්‍රමාදී ව
කෙලෙස් තවන වීර්යය ඇති කර ගත්තා. දහමට දිවි පුදා වාසය කළා.
සැදැහැවතුන් ගිහි ගෙය අත්හැර බුදු සසුනේ උතුම් පැවිද්ද ලබන්නේ යම් අර්ථයක් පිණිස
නම්, ඒ උතුම් අර්ථය සුළු කලක දී ම ලබා ගත්තා. බඹසර ජීවිතයේ කෙළවර වූ උතුම් අරහත්වය
මේ ජීවිතයේ දී ම ලැබුවා. ඉපදීම නැති වුණා. නිවන් මඟ සම්පූර්ණ කළා. ආයෙමත් සසර දුකක්
නැතැයි අවබෝධ කර ගත්තා. ඉතින් ඒ ආයුෂ්මත් භාරද්වාජයන් වහන්සේ රහතන් වහන්සේ නමක් බවට
පත්වුණා.
සංයුක්ත නිකායේ 01 පොත් වහන්සේගේ බ්‍රාහ්මණ සංයුක්තයේ අරහන්තක වර්ගයට අයත් අක්කෝස
සූත්‍රය ඇසුරිනි. |