සමාන අසමාන
වෙනසක අරුමය
ඡන්දයෙන් අගතියට නොයන්න. ද්වේෂයෙන්, බියෙන්, මෝහයෙන්, අගතියට නොයන්න. එසේ සතර
අගතියට නොවැටී යම් කෙනෙක් පාප කර්ම නොකරන්නේ නම්, ඔහුගේ හෝ ඇයගේ හෝ යසස පුරපස සඳ සේ
වැඩෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.
මේ සමාජයේ ආයුෂ අඩු අය වෙති. ආයුෂ වැඩි අය වෙති. බොහෝ ආබාධ, ලෙඩ රෝග ඇත්තෝ වෙති. ඒ
වගේ ම මහත් පිරිවර ඇති - නැති අය වෙති. පහත් කුල - උසස් කුල වෙති. ප්‍රඥාවන්තයෝ
මෙන් ම අඥානයෝ ද වෙති. ඊට හේතු මොනවා දැයි දිනක් සුබ නම් මානවකයෙක් බුදුරජාණන්
වහන්සේගෙන් විමසා සිටියේ ය.
මෙලෙස මෙලොව උපදින සත්ත්වයාට යම් වූ ද, උසස් - පහත් බවක් වේ නම් , එය කර්මයෙන් ම
වන්නේ ය. කර්මය ම සත්ත්වයාගේ උසස් - පහත් බව ඇති කරන්නේ ය යැයි වදාරමින්,
බුදුරජාණන් වහන්සේ කර්මය අනුව සත්ත්වයා දාහතර ආකාරයක් වන බව පෙන්වා වදාළහ.
යම් වූ ද ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ප්‍රාණඝාතය සිදු කරයි නම්, එම අකුසල කර්මයේ
විපාකයෙන් මරණින් මතු අපායෙහි උපත ලබන්නේ ය.
යම් වූ ද කර්ම ශක්තියකින් හෝ මනුෂ්‍යාත්මයක් ලබයි ද ඔහු හෝ ඇය හෝ අල්පායුෂ වන්නේ ය.
යමෙක් ප්‍රාණඝාතයෙන් වළකින්නේ ද, සියලු සත්ත්වයන් කෙරෙහි දයාව, අනුකම්පාව දක්වන්නේ
ද, එහි කුසල බලයෙන් මරණින් මතු දෙව්ලොව උපදින්නේ ය. මනුෂ්‍යාත්මභාවයක් ලබයි ද ඔහු
හෝ ඇය හෝ දීර්ඝායුෂ ලබන්නේ ය.
යමෙක් සත්ත්වයන්ට හිංසා කරයි ද? එම අකුසල කර්මයේ බලයෙන් අපායෙහි ඉපිද දුක් විඳියි.
යම් වූ ද කුසල බල මහිමයකින් මිනිසත් බවක් ලැබූව ද බොහෝ ලෙඩ රෝග ඇත්තෙක් වන්නේ ය.
එලෙස ම සත්ත්වයන්ට හිංසා නො කරයි ද ඒ කුසල කර්මයේ බල මහිමයෙන් මරණින් මතු දෙව්ලොව
උපත ලබන්නේ ය. මනුෂ්‍යාත්ම භාවයක් ලබන්නේ ද, නීරෝගි සම්පත් ඇති ව උපදින්නේ ය.
මෙලොව යමෙක් ක්‍රෝධ කරන්නේ වේ ද? සිත් තැවුලෙන් පෙළෙන්නේ ද, සුළු වරදක් හෝ පෙන්වා
දුන් විටෙක කිපී තරහ උපදවා ගන්නේ ද, කෝපය - ද්වේශය, නො සතුටු බව ප්‍රකාශ කරයි ද ඒ
අකුසල කර්මයේ බලයෙන් මරණින් මතු අපායෙහි පහළ වන්නේ ය. යම් හෙයකින් මිනිස් ලොව ඉපදුණ
ද විරූපී සහ දුර්වර්ණ වූවෙක් වන්නේ ය.
යමෙක් ක්‍රෝධ නො කරන්නේ ද? සිත් තැවුලෙන් යුක්ත නො වේ ද? තමාගේ වැරැද්දක් පෙන්වා
දුන් කල නො කිපෙයි ද? කෝපය - ද්වේශය, නො සතුටු බව ප්‍රකාශ නො කරයි ද? එම කුසල
කර්මයේ බලයෙන් මරණින් මතු හේ දෙව්ලොව උපත ලබන්නේ ය.
යම් වූ ද කුසල බල මහිමයකින් මනුෂ්‍යාත්ම භාවයක් ලබන්නේ ද හේ පියකරු වේ. රූප සම්පන්න
වේ.
තවද යමෙක් ඊර්ෂ්‍යා කරන්නෙක් වේ ද, අන්‍යයන්ගේ ලාභ සත්කාර, ගරු කිරීම්, වැඳීම් -
පිදීම් ආදියට ඊර්ෂ්‍යා කරන්නේ ද, ඒ අකුසල කර්මයේ විපාකයෙන් අපායෙහි උප්පත්තිය
ලබන්නේ ය. මනුෂ්‍යාත්ම භාවයක් ලබන්නේ ද, අල්පේශාක්‍ය වේ. සහපිරිවර නැත්තෙක් වේ.
යමෙක් ඊර්ෂ්‍යා නො කරන්නේ ද, අන්‍යයන්ට ලැබෙන ලාභ - සත්කාර , ගරු - සත්කාර, වැඳීම්
- පිදීම් ආදියෙහි ඊර්ෂ්‍යා නොකරයි ද, එම කුසලයේ බලයෙන් මරණින් මතු දෙව්ලොව පහළ
වන්නේ ය.
මනුෂ්‍යාත්ම භාවයක් ලබන්නේ ද, මහේශාක්‍ය වන්නේ ය. සහපිරිවර ඇති වන්නේ ය.
යම් පුද්ගලයෙක් ශ්‍රමණ, බ්‍රාහ්මණ ආදීන්ට දස දාන වස්තුවෙන් සංග්‍රහ නො කරයි ද, හේ
මරණින් මතු දුගතියෙහි උපත ලබන්නේ ය.
මනුෂ්‍යාත්මභාවයක් ලබන්නේ ද, ඉතා දිළිඳු මෙන් ම අල්පභෝග ඇත්තෙක් වන්නේ ය.
ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට දස දාන වස්තුවෙන් දන් දෙන්නේ ද, එම කුසලානිශංසයෙන් මරණින්
මතු දෙව්ලොව උප්පත්තිය ලබන්නේ ය. මනුෂ්‍යාත්මභාවයක් ලබයි ද මහා භෝග සම්පත් ඇති වේ.
ධනයෙන් යුක්ත වේ.
යමෙක් දරදඬු සිත් ඇත්තේ වේ ද, අතිමානයෙන් යුතු වේ ද, වැඳිය යුතු - පිදිය යුතු
මව්පිය - ගුරුවරු ආදීන්ට වැඳීම් - පිදීම් නො කරයි ද? වැඩිහිටියන් දුටුවිට හුනස්නෙන්
නො නැඟිටියි ද, ආසනයක් දිය යුත්තාට ආසනය නොදෙන්නේ ද, ගරු - සත්තාර කළ යුත්තාට මෙන්
ම පිදිය යුත්තාට, සැලකිය යුත්තාට නො සලකයි ද ඒ අකුසල කර්මයේ බලයෙන් අපායෙහි උපත
ලබන්නේ ය.
මනුෂ්‍යාත්මභාවයක් ලබන්නේ ද, නීච කුල ඇත්තකු වන්නේ ය.
එලෙස ම යමෙක් දරදඬු සිත් නැත්තේ වේ ද, මානයෙන් යුතු නො වේ ද, වැඳිය - පිදිය යුත්තා
වඳියි ද - පුදයි ද, වැඩිහිටියන් දුටු කල හුනස්නෙන් නැඟී සිටී ද, ආසනයක් දිය යුත්තාට
මෙන් ම සත්කාර කළ යුත්තාට සත්කාර කරයි ද, සැලකිය යුත්තාට සලකයි ද ඒ කුසල බල
මහිමයෙන් දෙව්ලොව උප්පත්තියක් ලබන්නේ ය.
එවන් පුද්ගලයා මනුෂ්‍යාත්මභාවයක් ලබන්නේ ද, උසස් කුලයක උප්පත්තියක් ලබන්නේ ය.
එලෙස ම ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් සමීපයට පැමිණ කුසලය - අකුසලය කුමක්ද?
වැරැද්ද - නිවැරැද්ද කුමක්ද? ඇසුරු කළ යුතු, නො කළ යුතු කවුරුන් ද?, බොහෝ කලක් හිත
සුව පිණිස කළ යුතු දෑ මොනවාද? යන්නෙන් නො විමසන්නේ ද? ඒ හේතුවෙන් මරණින් මතු
දුගතියෙහි උප්පත්තිය ලබන්නේ ය. යම් වූ ද කුසල කර්මයක බල මහිමයෙන් මනුෂ්‍යාත්මභාවයක්
ලබන්නේ ද හේ අඥාන වන්නේ ය.
ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඇසුරට පැමිණ කුසල් - අකුසල් මොනවාද? ඇසුරු කළ යුතු, නො කළ යුතු
කවුරුන් ද? වැරැද්ද - නිවැරැද්ද කුමක්ද? බොහෝ කාලයක් හිතසුව පිණිස කළ යුත්තේ
මොනවාද? යන්නෙන් විමසන්නේ වේ ද? හෙතෙම ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දෙව්ලොව උපත
ලබන්නේ ය.
යම් වූ ද කුසල බල මහිමයක හේතුවෙන් මනුෂ්‍යාත්මභාවයක් ලබන්නේ ද හේ ප්‍රඥාවන්තයෙක්
වන්නේ ය.
දීපා පෙරේරා |