Print this Article


දුසිරිතය පිටුදැක සුචරිතයට පණ පෙවීමේ වගකීම

දුසිරිතය පිටුදැක සුචරිතයට පණ පෙවීමේ වගකීම

උක්කාධාරො මනුස්සානං
නිච්චං අපචිතො මයා

මිනිසුන්ට මඟ පෙන්වන්නන්ට මාගේ ගෞරවය හිමි වන්නේ ය. මෙයින් කියැවෙන්නේ බුදුරදුන් විසින් සමාජයට මඟ පෙන්වන සත්පුරුෂයන්, කල්‍යාණ මිත්‍රයන් අගය කළ බව ය.

මිනිසා අඳුරින් ආලෝකයට ගැනීමට, ගත යුතු මඟ පෙන්වා, නිසි මඟට දිරි ගැන්වීමට දැනුවත් මිනිසා ක්‍රියා කළ යුතු ය. එබඳු මිනිසුන්, සත්පුරුෂයන් සමාජයේ දුර්ලභ ය. කල්‍යාණ මිත්‍රයන් ලෙස හැඳින්වෙන්නේ ද එබඳු මිනිසුන් ය. මිනිසුන් අඳුරින් ගලවා ගැනීමට ආලෝකය සපයන්නා තමන්ගේ ගෞරවයට පාත්‍ර වන බව බුදුරදුන් දක්වා ඇත්තේ එහෙයිනි.

එසේ මිනිසුන්ගේ ගමන් මඟට ආලෝකය සපයන්නෝ කල්‍යාණ මිත්‍රයෝ ය. කල්‍යාණ මිත්‍රයා එම ආලෝකය සපයන්නේ දේශනාවෙන් නොව භාවිතාවෙනි. ආදර්ශයෙනි. ඔහුගේ චරිත භාවිතාව කුසල පාක්ෂික හෙයින් සමාජයට ආශීර්වාදයකි.

සමාජයට සිය චරිතාදර්ශය නො සපයන්නා කල්‍යාණ මිත්‍රයකු නොවේ. සමාජය නො මඟට යොමු කිරීමට සිය භාවිතාවෙන් බලපෑම් කරන්නා පාප මිත්‍රයෙකි. පාප මිත්‍ර ආශ්‍රය බුදුරදුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ එහෙයිනි.

බුදු, පසේබුදු, මහරහත්හු කල්‍යාණ මිත්‍රයෝ ය. උන්වහන්සේගේ ජීවිත භාවිතාව සමාජයට ආශීර්වාදයක්, මඟ පෙන්වීමක් වන හෙයිනි. මේ සසුන සම්පූර්ණයෙන් ම පවතින්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය මත යැයි බුදුරදුන් වදාළේ එහෙයිනි.

කල්‍යාණ මිත්‍රයා සිය ආශි‍්‍රතයන් වරදින් වළක්වයි. යහපතෙහි යොදවයි. චරිත භාවිතාවෙන්, ආදර්ශයෙන් ම බලපෑම් කරයි. සමාජයට ඔහුගෙන් කිසිදු අයහපතක් සිදුවන්නේ නැත. සමාජය නිසිමඟ ගැන්වීමට නම් පාලකයා ද කල්‍යාණ මිත්‍රයකු විය යුතු යැයි බුදු රදුන් වදාළේ එහෙයිනි.

පාලකයාට පිරිසුදු චරිත භාවිතාවක් තිබිය යුතු ය. ඔහු පංචශීල භාවිතාවක සිටිය යුතු ය. පංචසීලය, සමාජයේ අවම සදාචාරය වන හෙයිනි. පංච ශීලය තුළින් සදාචාරවත් වූ පාලකයා සිය අනුගාමිකයන්ට, පුරවැසියන්ට විශිෂ්ට ආදර්ශ සපයන්නෙකි. සමාජයේ සදාචාරය තහවුරු කිරීමට අනුබල දෙන්නෙකි. එසේ නොවන්නා පාප මිත්‍රයෙකි. දුරාචාරයට අනුබල දෙන්නෙකි. දුරාචාරය ව්‍යාප්ත කරන්නෙකි. එබඳු සමාජයක පුරවැසියාට කිසිදු රැකවරණයක් නැත.

පාලකයා හා නිලධාරියා දුරාචාර භාවිතාවක නිරත වන විට, ආදර්ශවත් විය යුතු පූජ්‍ය, පූජක, ආගමික නායකයන් එබඳු දුරාචාර පාලකයනට සහයෝග ය, අනුබලය සපයන විට රටකට යන කලදසාව සිතා ගත හැකි ය.

"වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව"

යැයි පිරුළු වදන් නිර්මාණය වී ඇත්තේ එහෙයිනි. " සමාජය නිසි මඟ ගැන්වීමට ආලෝකය සපයන්නන් මාගේ ගෞරවයට පාත්‍ර වන්නේ යැ"යි බුදුරදුන් කළ ප්‍රකාශයෙහි වටිනාකම මේ අනුව සිතා ගත හැකි ය.

පාලකයාගේ චරිතාදර්ශය, කල්‍යාණ මිත්‍ර භාවිතාව සමාජයේ යහපතට, ධාර්මිකත්වයට කරන බලපෑම් මේ අනුව වටහා ගත යුතු ය. කිසියම් සමාජයක් පරිහානියට පත් වූයේ නම් ඒ නිසි ආදර්ශයක්, මඟ පෙන්වීමක් නොමැති නිසා ම ය. ස්වකීය ලාභය ම පරමාර්ථ කොට ගෙන කටයුතු කරන දුරාචාර පාලකයන් හා අනුශාසකයන් ඒ වගකීම භාර ගත යුතු බව පැහැදිලි ය.

රටක සමාජයක ආගමිකභාවය, ආගමික සංකල්ප අර්ථවත් වන්නේ රට තුළ සදාචාරය ස්ථාපනය කිරීමෙන් මිස, ගමක් පාසා ආගමික සංකේත පිහිටුවීමෙන් නොවන බව වටහා ගත යුතු ය. ආගමික දේශනා බහුල ව ඇතත් ඉහළ පාලනතලවලින් ආදර්ශයක් නැත්නම් ඒ දේශනා අර්ථවත් වන්නේ නැත. දේශනාව භාවිතය තුළින් ප්‍රදර්ශනය විය යුතු ම ය. දේශනාව හා භාවිතය අතර ඇති ගැටුම විශේෂ වශයෙන් ම සමාජ සදාචාරයට බලපාන හෙයිනි. දේශකයාගේ භාවිතය කෙරෙහි විශේෂයෙන් ශ්‍රාවකයා සැලකිලිමත් වන හෙයිනි.

එහෙයින් ම දේශකයෝ, පාලකයෝ, අනුශාසකයෝ ආදර්ශය ම තම ජීවිතයේ පරමාදර්ශය බවට පත් කර ගත යුත්තෝ ය. එසේ නොවන විට සමාජය අයාලේ ගමන් කිරීම ස්වභාවික ය. සමාජයක් දෙදරා යන්නේ එම ඉහළ ආදර්ශයන් නොමැති වූ විට ය.

සදාචාරය රට තුළ ක්‍රියාත්මක වීමට නම් නීතිය රට තුළ ක්‍රියාත්මක විය යුතු ය. නීතියේ ආධිපත්‍යය තහවුරු විය යුතු ය. නීතියක් නැති රටක සදාචාරය ක්‍රියාත්මක නො වන හෙයිනි. දුරාචාර පාලනය සිදුවිය යුත්තේ නීතිය මඟින් වන හෙයිනි. ප්‍රාණඝාතය, හොරකම, ස්ත්‍රී දූෂණ, බාලාපචාර, මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය නීතිය මඟින් වැළැක්විය යුතු ය. නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන කල්හි, නීතිය දේශපාලනයට යටත් වන කල්හි මහජනයාට යුක්තියට, සාධාරණයට කිසිදු සහයෝගයක් දැක්විය නොහැකි ය. එහෙයින් දුරාචාරය ඉහවහා යන්නේ නීතියේ ආධිපත්‍යය නොමැති විට බව පැහැදිලි විය යුතු ය.

වංචනික, දුරාචාර දේශපාලකයා විසින් කරනු ලබන්නේ ආගමික මතවාද පිළිබඳ කතා කරමින් සදාචාරය වළපල්ලට යැවීම ය. එම සත්‍යය වර්තමානය තුළ රටේ පුරවැසියන් අත්දකිමින් සිටී. ඒ ඛේදනීය තත්ත්වය වහා වෙනස් විය යුතු ය. එය වෙනස් කොට නීතියේ ආධිපත්‍යය පිහිටුවීම හරහා සදාචාරමය දේශයක් ගොඩනැඟීමට පුරවැසියා ඥානාන්විත විය යුතු ය. දැනුම්වත් විය යුතු ය.

සදාචාරවත් පාලකයකුගේ ආගමනයත්, රට තුළ නීතියේ ආධිපත්‍යය පිහිටුවීමත් තුළ ධාර්මික සමාජයක්, දැහැමි පාලනයක් ස්ථාපිත වීම ආකස්මික සංසිද්ධියක් නොවනු ඇත.

උක්කාධාරො මනුස්සානං -

නිච්චං අපචිතො මයා

යනුවෙන් බුදුරදුන් වදාළේ ආශි‍්‍රතයන්ට නිවැරැදි මඟ පෙන්වන්නා, කල්‍යාණ මිත්‍රයා තමන්ගේ ප්‍රශංසාවට, ගරුත්වයට ලක්වන බව ය. ඒ කල්‍යාණ මිත්‍රයා සමාජයට නිසි මඟ ආදර්ශයෙන්, චරිත භාවිතාවෙන් පෙන්වන සත්පුරුෂ සාමාජිකයා ය. සමාජයේ සාමාජිකයන්ට එම තත්ත්වයෙහි රැඳී සිටීමට උත්තේජනයක් සපයනු ලබන්නේ ආදර්ශවත්, චරිතවත්, සදාචාරවත් පාලකයා ය. ධර්ම විනයානුගත පැවිද්දා ය. අනුශාසකයා ය.

දුෂ්ට, දුසිරිතවත් පාලකයා, නායකයා, සාමාජිකයා දුරින් ම දුරු කළ යුතු බවත්, සුසිරිතට අනුබල දෙන සදාචාරවත් පුද්ගලයා ඇසුරු කළ යුතු බවත්

න භජෙ පාපකෙ මිත්තෙ
න භජෙ පුරිසාධමෙ
භජෙථ මිත්තෙ කල්‍යාණෙ
භජෙථ පුරිසුත්තමේ

යනුවෙන් ධර්මයේ සඳහන් වන්නේ එහෙයිනි.

එහෙයින් දුසිරිත පිටු දැකීම ද, සුචරිතයට පණ පෙවීම ද පුරවැසියාගේ වගකීම විය යුතු ය. දුසිරිත වපුරන පවිටු පාලකයන් පිටු දැකීම ද, සුචරිතයට පණ පොවන ධාර්මික පාලකයන් පත් කර ගැනීම ද රටත්, රටේ අනාගතයත්, ධර්මයේ ප්‍රතිෂ්ඨාවත් අපේක්ෂා කරන සියල්ලන්ගේ ව්‍යායාමය, අපේක්ෂාව විය යුතු වන්නේ ය. දරුවන්ගේ අනාගතය සුරැකෙන දැනුම් සමාජයක් නිර්මාණය වන්නේ එවිට ය. සියල්ලෝ යහපත දකිත්වා.