Print this Article


මවාගත් ලෝකයක මුළාවේ ගිලීම

මවාගත් ලෝකයක මුළාවේ ගිලීම

එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණි රෝහිතස්ස නම් දිව්‍ය පුත්‍රයා

" භාග්‍යවතුන් වහන්ස, යම් තැනක හටගැනීමක් නැති ද (නජායති)? මිය යාමක් නැති ද ( නමීයති)? චුතවීමක් නැති ද (නචවති) ? උපතක් නැතිද (න උප්පජ්ජති) ? එවැනි ලෝකයකට ගමන් කිරීමෙන් යා හැකි ද?" යනුවෙන් විමසයි.

ගමන් කිරීමෙන් එවැනි ලෝකයකට යා නොහැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ විට එය පිළිගත් දිව්‍ය පුත්‍රයා එයට හේතුව ද ප්‍රකාශ කරයි.

" බුදුරජාණන් වහන්ස, බොහෝ කලකට පෙර මම ‘රෝහිතස්ස’ නමින් සෘද්ෂිත් ඍෂිවරයෙක් විය. ඉතා වේගයෙන් ගමන් කරන ඊ තලයක බඳු වේගයක් තිබූ මට ඉතා දුරින් පියවර තැබීමේ හැකියාව ද තිබුණි. මම ආහාර ගැනීමටත්, වැසිකිළි කැසිකිලි සඳහාත් වෙහෙස නිවා ගැනීමට නිදාගන්නා කාලයත් හැර අන් සියලු ම කාල ඇවිදගියත් වසර සියයක් ගමන් කළත් ලෝකයේ කෙළවරකට නොපැමිණි අතර මඟදී ම මරණයට පත් වුණා.

මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ කාරණය, ලෝකය පිළිබඳ ව විශේෂයෙන් සලකා බැලීමට හේතුවන කරුණකි.

එසේ ම සංඥාව හා මනස සහිත (සංඥම්හි සමණකේ) මෙම බඹයක් පමණ වූ ශරීරයේ ම, ලෝකයත්, ලෝකයේ හට ගැනීමත්, ලෝකයේ නැතිවීමත් (නිරෝධය), ලෝකය නැති වන්නා වූ මාර්ගයත් පනවන බව ද දේශනා කොට වදාළා. (රෝහිතස්ස සූත්‍රය අං.නි. 2)

මෙවැනි ම තවත් ඉතා වැදගත් කරුණක් “ලෝක” සූත්‍රයෙහි (අං.නි. 2) සඳහන් වේ. එනම් බුදුරජාණන් වහන්සේ ලෝකය විශේෂයෙන් අවබෝධ කොට (අභිසම්බුද්ධෝ) ඇති නිසා ලෝකයෙන් වෙන් ව වාසය කරයි. (විසංයුත්තෝ) එසේම ලෝකයේ හටගැනීම අවබෝධ කර එය දුරු කර ඇත. (පහීණෝ) ලෝකයේ නැතිවීම (නිරෝධය) අවබෝධ කර, එය අත්දකින ලදී. (සච්ජිකතෝ) ලෝකය නැති වන (නිරතුද්ධවන) මාර්ගය අවබෝධ කර, එය පිළිපදින ලදී. (භාවිතා)

මෙම දේශනාවෙහි සඳහන් ලෝකය නැතිවීම අත්දකින ලද බවත්, එම නැති වන මාර්ගය භාවිත කළ බවත් සඳහන් වීම විමසා බැලීමක් නැති ඕනෑම කෙනකුට ගැටලුවක් විය හැකි ය. හොඳින් විමසා බැලීමේ දී මෙය ආර්ය සත්‍යය සතරට ගළපා දේශනා කොට ඇති බව පැහැදිලි ව තේරුම් ගත හැකි ය.

එමෙන් ම සම්මාදිට්ඨිය (සෝතාපන්න ඵලය) පිළිබඳ ව ඉතා වැදගත් කරුණක් සඳහන් වන “කච්චානගොත්ත’ සූත්‍රයෙහි (සං.නි.2) ලෝකයේ හටගැනීම (ලෝක සමුදය) ඇති සැටියෙන් ම දකින කෙනාට ලෝකය නැත යන අදහසත්, ලෝකය නැතිවීම (නිරෝධය) ඒ අයුරින් ම දකින කෙනාට ලෝකය ඇත යන අදහසත් දුරුවී සම්මා දිට්ඨියට පත්වන බව දේශනා කොට ඇත.

මේ අයුරින් තවත් සූත්‍ර දේශනා ගණනාවකට ලෝකය පිළිබඳ ව අමුතු ආකාරයේ විවරණ බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. මෙම සුත්‍ර දේශනාවලට අනුව සත්‍ය වශයෙන් ලෝකයක් තිබේද? එසේ නැති නම් ලෝකය යනු සිතෙන් මවා ගැනීමක් පමණ ද යන්න විමසා තේරුම් ගැනීමට උත්සාහ කරමු.

ආර්ය සත්‍ය සතරත් ඉහත ලෝක සූත්‍රයෙහි ලෝකය පිළිබඳ අවබෝධයත් එකම අයුරින් ආර්ය සත්‍ය සතරට ගළපා දේශනා කොට ඇති බව විමසා බැලීමේ දී පැහැදිලි වේ.

එනම්, අවබෝධ කළ යුතු “දුක” යන්නත්, අවබෝධ කළ යුතු “ලෝකය” යන්නත් එක ම දෙයක් වේ. තව දුරටත් දුක යනු පංචඋපාදානස්කන්ධය ලෙස දේශනා කොට ඇති බැවින් පංච උපාදානස්කන්ධයත්, ලෝකයත් යනු එකම දෙයක් ආකාර දෙකකින් ප්‍රකාශ කිරීමක් බව පැහැදිලි වේ.

මෙම පංච උපාදානස්කන්ධය හා ලෝකය යන පනවා ගැනීම්වල ඇති සමාන බව හොඳින් විමසා බැලීමෙන් අප තුළ ඇති මුළාව තේරුම් ගත හැකි ය.

පංච උපාදානස්කන්ධය යනු, ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතන හය මුල් කොට සිදුවන සකස් වීමයි. වෙනත් අයුරකින් සඳහන් කරන්නේ නම්, ඇසින් රූපයක් දැකීම යනු පංචඋපාදානස්කන්ධයේ සකස් වීමයි. කනින් ශබ්දයක් ඇසීම, නාසයෙන් ගඳ සුවඳ දැනීම ආදී වශයෙන් ආයතන හයෙහි සිදුවන සකස්වීම පංචඋපාදානස්කන්ධය ම වේ. මෙම සකස් වන පංචඋපාදානස්කන්ධය යනු සකස් වී, ස්ථිර ව පවතින දෙයක් නොව, මොහොතක් පාසා බිඳි බිඳී නැවත සකස්වීමක් බව “මහාහත්ථිපදෝපම” සූත්‍රයෙහි (ම.නි.1) සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් ඉතා හොඳින් පැහැදිලි කර දේශනා කොට ඇත. පංචඋපාදානස්කන්ධය යනු ලෝකය නම්, ලෝකය ද සෑම මොහොතක ම බිඳි බිඳී නැවත සකස් වෙන බව කිවයුතු වේ. කෙසේ නමුත් මෙය නවීන විද්‍යාවට අනුව පවසන අණු පරමාණුවල බිඳීයාම නොවන බව ඉතා හොඳින් තේරුම් ගත යුතු ය.

අප සියලු දෙනා ම ලෝකය පිළිබඳ තොරතුරු ලබා ගන්නේ ඇස, කන ආදි ආයතන මඟිනි. බාහිර ලෝකය තිබුණත් ඇස, කන ආදී ආයතන ක්‍රියා නො කරයි නම්, ලෝකය පිළිබඳ දැනීමක් නැති බව පහසුවෙන් තේරුම් ගත හැකි ය. ඇස කන ආදි කුමන ආයතනයකින් තොරතුරු ලැබුණත් ඒ සියල්ල ම පොදුවේ පඤ්ච උපාදානස්කන්ධ ලෙස හඳුන්වයි. පඤ්චඋපාදානස්කන්ධ මොහොතක් පාසා බිඳී යන බැවින් ලෝකය පිළිබඳ ව අප ලබා ගන්නා තොරතුරු ද මොහොතක් පාසා ම බිඳී යයි.

මේ නිසා දෙව්ලොව, මිනිස් ලොව ආදී වශයෙන් අවකාශ ලෝකයක් පැවතුණත්, එම ලෝකය පිළිබඳ ව අප ලබා ගන්නා තොරතුරු නිත්‍ය වශයෙන් නොපවතී. මේ නිසා සිත තුළ ගොඩනඟා ගන්නා සංස්කාර ලෝකය සත්‍ය වශයෙන් බාහිර ලෝකය ම වේ යන මුළාවට පත්වේ. සත්‍ය වශයෙන් ම ඇස කන ආදී ආයතන මුල් කොට අප බාහිරින් ලබා ගන්නේ සඤ්ඤා පමණි. එම සඤ්ඤා අනුව අපගේ ම අභිමතය පරිදි සංස්කාර ලෝකය ගොඩනඟා ගනී.

උදාහරණයක් ලෙස හොඳ අරටුවක් සහිත ගසක් දකින වඩු මහතකු, එම ගස වටිනා ගසක් ලෙස තීරණය කළත් එම දැනුම නැති අයකුට එහි ඇති වටිනාකමක් නැත. “දැක්ම” (ඇසින් දකින) තමාගේ අභිමතය පරිදි තමාට අවශ්‍ය ලෙස ගොඩනඟා ගන්නා බව මෙයින් පැහැදිලි වේ. මේ නිසා ම යමෙක්, යමකට ඇලුම් කරන අතර ම වෙනත් අයෙක් එයට විරුද්ධ ව ද්වේශ කරයි. තමා විසින් ම සකස් කර ගත් මනෝ ලෝකයක අතරමං වන බව මෙයින් පැහැදිලි වේ.

පියවි ඇසට නොපෙනෙන දිව්‍ය ලෝකවල දෙවියන් සම්බන්ධ මනඞකල්පිත සිතුවම්, ප්‍රතිමා මෙම මනෝ ලෝකයට හොඳ ම උදාහරණ වේ. මේ නිසා ලෝකයේ විචිත්‍ර බව, ලෝකයේ සත්‍ය වශයෙන් ම ඇත්තක් නොව, තමාගේ සිත තුළ ඇති රාග, ද්වේශ, මෝහ කෙලෙස් නිසා සිදුවන්නකි. බුදුරජාණන් වහන්සේ ‘නිබ්බේධික” සූත්‍රයෙහි (අං.නි.4) දේශනා කොට වදාළේ “පුද්ගලයාගේ ඇලීම යනු සංකල්පීය දෙයකි. (සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ) ලෝකයේ විසිතුරු බව ම කාමයන් නොවේ. (නතේ කාමා යානි චිත්‍රානිලෝකේ ) වශයෙනි.

මෙම කරුණු ඉතා සැලකිල්ලෙන් විමසා බැලූවිට තේරුම් ගත හැක්කේ, දෙව්ලොව, මිනිස් ලොව ආදි වශයෙන් ලෝක ද, ගස්වැල් සතුන් ද නැතිවා නොවේ. නමුත් මේ සියල්ල ම අප විසින් ලබා ගන්නේ ඇස කන ආදී ආයත හයට ලැබෙන නිමිති ඇසුරු කොට ගෙන වේ. ඒ නිමිති ද වෙනත් අයකු විසින් සකස් කර දෙනවා නොව තමා විසින් ම තම අභිමතය පරිදි සකස් කර ගනී.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අයුරු අනිත්‍ය බව නොදන්නාකම හෙවත් අවිද්‍යාව හේතු කොට ගෙන, මෙම නිමිති සකස් කර ගැනීම සිදුවේ. සමාධිමත් සිතකින් දැකගත යුතු අනිත්‍ය දර්ශනය නොලබන තාක් ‘නිමිති’ සත්‍ය වශයෙන් ම ඇති ලෙස සිතා ගනී.

අනිත්‍ය දර්ශනයට පත් මාර්ගපලලාභී උතුමන් වහන්සේ, නිමිතිවල අනිත්‍ය බව වටහා ගත් නිසා ලෝකයේ (පඤ්චඋපාදනස්කන්ධයේ) නිරෝධය අත්දැකිය හැකි ය. ඉහත ලෝක සූත්‍රයෙහි හා කච්චාන ගොත්ත සුත්‍රයෙහි සඳහන් වන ලෝකයේ හට ගැනීම හා ලෝක නිරෝධය අත්දැකිය හැකි දෙයක් බව මෙයින් පැහැදිලි වේ. එම අත්දැකීම ලබන තාක් අප ලෝකය තුළ මුළාවට පත්වන නමුත්, එය මුළාවක් බව දැන සිටීම ඉතා ම වැදගත් වේ. එම මුළාවෙන් රාග, ද්වේශ ආදී කෙලෙස් ඇති වන බව තේරුම් ගෙන එයින් මිදීමට වෑයම් කිරීම ධර්මානුකූල ජීවිතය ගත කිරීමක් වේ.