Print this Article


පන්සලට ගිය පමණින් ශ්‍රද්ධාව පිහිටන්නේ නෑ

පන්සලට ගිය පමණින් ශ්‍රද්ධාව පිහිටන්නේ නෑ

දසරාජ ධර්ම නම් ජනතා හිතවාදී පාලකයකු විසින් අනුගමනය කළ යුතු දේශපාලන මූලධර්මයකි. දානය, සීලය, පරිත්‍යාගය, ඍජු බව, මෘදු බව, තපස, අක්‍රෝධය, අවිහිංසාව, ඉවසීම, විරුද්ධ නොවීම යනු ඒ ධර්මතා ය. මේ ගුණධර්ම පිරිපුන් පාලකයකු ලද ජනතාව භාග්‍යවන්තයෝ ය

චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඤාණය ඇති කර ගත්තොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නට අපට අවස්ථාව උදාවේ.

එම අවබෝධ ඤාණය තුළින් අප මාර්ගයට පැමිණෙන අතර, එලෙස මාර්ගයට පැමිණි ශ්‍රාවකයා සෝතාපන්න යි. එසේ නම්, ‘සෝවාන් වුණා’ කියන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඤාණයට පැමිණීම යි. වෙනත් විදිහකට කිව්වොත් සම්මා දිට්ඨිය ඇති කර ගත් ශ්‍රාවකයා සෝතාපන්න යි.

සම්මා දිට්ඨිය ඇතිවීම පිණිස කරුණු දෙකක් උපකාරී වෙනවා. ඒ සද්ධර්ම ශ්‍රවණය සහ යෝනිසෝ මනසිකාරය යි. සම්මා දිට්ඨියෙහි පිහිටන්න නම් මුලින් ම ධර්මය ශ්‍රවණය කළ යුතු වෙනවා. එසේ ශ්‍රවණය කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ම මිස වෙන දෙයක් නොවේ. තර්ක විතර්ක, පුද්ගලික මතවාද, ධර්මය වගේ පෙනෙන්නට තිබෙන දේ ශ්‍රවණය කළාට සම්මා දිට්ඨියට පැමිණෙන්නේ නෑ. අප ශ්‍රවණය කළ යුත්තේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරන ශ්‍රී සද්ධර්මය ම පමණයි.

පැහැදිලි ලෙස, පිරිසුදු ලෙස දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය අසා කියවා සිතෙහි පිහිටුවා ගෙන එය තේරුම් ගැනීම පිණිස නුවණ මෙහෙයවීම යෝනිසෝ මනසිකාරය යි. ඒ විදිහට සිත පිහිටුවා ගෙන නුවණ මෙහෙයවන්න බැරි නම් යෝනිසෝ මනසිකාරය නැහැ. ඒ පුද්ගලයාට ශ්‍රී සද්ධර්මය අසන්නට ලැබුණත් සම්මා දිට්ඨිය ඇති කර ගන්නට නොහැකි වෙනවා. කෙනකුට යමක් නුවණින් විමසීමේ හැකියාව තියෙනවා. නමුත් ඔහුට බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමේ අවස්ථාවක් නැහැ. ඒ පුද්ගලයාටත් සම්මා දිට්ඨියට පැමිණීමේ හැකියාව ඇතිවෙන්නේ නැහැ.

සද්ධර්මය ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය යන කරුණු දෙක ම තිබෙනවා නම් පමණක් සම්මා දිට්ඨිය ඇති කර ගැනීමට පුළුවන් වෙනවා. ඒ නිසා අපි ශ්‍රද්ධාව ඇති කර ගන්නට මහන්සි වෙන්න ඕනේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ගැන, ශ්‍රී සද්ධර්මය ගැන, ශ්‍රාවක පිරිස ගැන හොඳින් ඉගෙන ගන්න අවශ්‍යයි. ධර්මය ශ්‍රවණය කරමින් ඒ සියලු කාරණා හිතට ගන්න ඕනේ. එය ඉබේ ඇති වෙන්නේ නැහැ. පෝය දවසට පන්සලට ගිය පමණින්, “අපිත් භාවනා පන්ති යනවා” කියලා භාවනා දිනයට සහභාගි වූ පමණින් නම් ශ්‍රද්ධාව පිහිටන්නේ නැහැ. ඒ සඳහා ඒ කෙනා බුද්ධිමත් විය යුතුයි.

බුද්ධිමත් යන්නෙන් අදහස් වෙන්නේ විභාග පාස් කිරීම නොවෙයි. කියන දේ හොඳින් තේරෙනවා නම් එයා බුද්ධිමතෙක්. ඔහු තුළ ධර්මය පිහිටනවා. ඒ ජීවිතය තුළින් ධර්මය පලා යන්නේ නැහැ.

අප හරි හම්බ කරන දේ සියල්ල අපව දාලා යන දිනයක් උදාවෙනවා. ගේ දොර, ඉඩ කඩම්, කම්බි වැටවල් ගහලා වෙන් කර ගත් මහ පොළොව දාලා යන දිනයක් එනවා. අඹු දරුවන්, නෑ හිතවතුන් දාලා යන්න වෙනවා. නමුත් නිවැරැදි ලෙස හිතේ පිහිටුවා ගන්නා ලද ධර්මය නම් වෙනස් නොවී අපත් සමඟ ම එනවා.